විශ්වවිද්‍යාල තුළ පහසුකම් වැඩි කිරීමට අගමැති උපදෙස්

මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවාගත් සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාල තුළ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

විශ්වවිද්‍යාලවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදි.

මෙම වසරේ දී විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41,000ක් බඳවාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දී තිබේ. සිසුන් 10,588 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවාගෙන ඇති අතර මෙතරම් සිසුන් සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බදවාගත් පළමු අවස්ථාව මෙය බව ද සභාපතිවරයා සඳහන් කරන ලදි. වෛද්‍ය පීඨවලට පමණක් සිසුන් 479 දෙනෙකු බඳවාගෙන ඇති බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එහිදි පවසා තිබේ.

කෙසේවෙතත් පවතින තත්ත්වය තුළ රුපියල් බිලියන 05ක පමණ අමතර මුදලක් විශ්වවිද්‍යාල පද්ධතියේ භෞතික හා මානව සම්පත් කළමනාකරණයට අවශ්‍යව පවතින බව ද ඔහු එහිදි පෙන්වාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර සිටියි. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැනට ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයක් යටතේ විශ්වවිද්‍යාල පද්ධතියට මුදාහරින ලෙස උපදෙස් ලබා දී තිබේ.

මෙහිදි එම සාකච්ඡාවට එක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට නොහැකි වූ විශිෂ්ට සාමාර්ත ලබාගත් දරුවන් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 Views