ගොඩ්සිලා සහ විලෝපිතයා

ජපානයේ පුරාණෝක්තියක් පදනම් කරගෙන හොලිවුඩය නිපදවූ ගොඩ්සිලා නම් චිත්‍රපටය මීට වසර පහළොවකට පමණ පෙර අතිශය ජනාදරයට පත් විය. එය ඇණකොණ්ඩා, ජුරාසික්පාක් වර්ගයේ චිත්‍රපටයකි.
කටුසු පවුලට අයත් ඩයිනෝසරයකු බඳු යෝධ උරගයකු හිටි අඩියේ මුහුදෙන් මතුව ඇවිත් නූතන බටහිර ශිෂ්ටාචාරයේ ප්‍රමුඛ නගරය වූ ලොස් ඇන්ජලීස් වනසයි. මහා ගොඩනැගිලි ගිනි පෙට්ටි සේ පොඩි කොට චප්පා කෙරෙයි. ඇමරිකාව තමන් සතු සියලු ආයුධවලින් ගැහුවත් මේ යෝධ උරගයා මෙල්ල නොවේ. ලොස් ඇන්ජලීස් නුවර බෲක්ලින් පාලම හරහා යන විට එහි හිරවෙන ගොඩ්සිලාට ඇමරිකාව අවි ප්‍රහාර එල්ල කොට අවසන් ගමන් යවයි.
මහා දියුණු නූතන ශිෂ්ටාචාර වනසන භයංකාර සතෙකු සේ ගොඩ්සිලා හොලිවුඩය හැඳින්වුවද, ජපානයේ පුරාණෝක්තිවල එන්නේ ගොඩ්සිලා භූත දෙවියකු වශයෙනි. ජපානයේ කතාවට අනුව ගොඩ්සිලාට මුහුණු දෙකකි. එකක් මිනිස් වර්ගයාට සෙත සෑදීමටය. අනෙක අධර්මයේ යෙදෙන තැනැත්තන් විනාශ කිරීමටය. ඒ අනුව යුක්තිගරුක ලෙස ජීවත් වී ගොඩ්සිලා නම් භූත දෙවියන්ට පුද පූජා කරන ජනයාට ඉමහත් සෙත සෑදේ.
නූතන බටහිර ශිෂ්ටාචාරය වනසන චප්ප කරන දරුණු උරගයකු සේ ජපානයේ ජනයාට සෙත සාදන අධර්මය පිටුදකින ගොඩ්සිලා හොලිවුඩය නිරූපණය කළේ ඇයි? එය සිදු වූයේ 1980 ගණන්වල සිට ආරම්භ වූ ආසියාවේ නැගීමට කාලානුරූපවය. මකරා චීන්නුගේ ධර්මයේ ලකුණක් වුවත් යුරෝපයට එය පෙනෙන්නේ කටින් ගිනිදැල් විහිදා අළු කරන සතෙකු වශයෙනි. දැන් බටහිර චිත්‍රපටවල ආක්‍රමණිකයා පෙන්වන්නේ චීනෙකු සේය. පිටසක්වළින් එන අද්භූත අමුත්තාට බටහිර චිත්‍රපටවල දෙන්නේ චීනකුගේ මුහුණය. රූපයය.
මේ බටහිරට යුරෝපයට නැගී එන ආසියාව පෙනෙන හැටිය. වර්ධනය වෙන ආසියානු ආර්ථිකය, වෙළෙඳාම හමුවේ බටහිරට ඇතිව තිබෙන කම්පනීය මානසික චිත්‍රයය.
ලංකාවට ආ ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මෙසේ කීවේය. ‘‘චීන ණය කියන්නේ රටවල් ගිලගන්නා විලෝපිකයෙක්.’’
දශක ගණනාවක් චීනයේ වෙළෙඳ ආක්‍රමණය මුහුණ දීමේ අභියෝගයට මුහුණ දී හෙම්බත්ව සිටින රාජ්‍ය ලේකම්වරයකුගේ මනෝභාවයත් එබඳු වීම පුදුමයක් නොවේ. සිනමා, කලා ආදියෙන් චීනය ගැන එබඳු රූපයක් ලෝකය තුළ තහවුරු කරන්නට ප්‍රයත්න දැරූ බටහිර රටවල්වල රාජ්‍ය නායකයන් කෙළින්ම චීනය ගැන වෛරය තම මුවින් වදාරණ තැනට පැමිණ සිටිති.
කවුරුත් කියන හැටියට අපට වැදගත් වන්නේ ඇමරිකාව චීනය දකින ආකාරය නොව මේ දෙගොල්ලන් මැද්දේ ලංකාවේ අනාගතය ගොඩනැගීමය.
මේ දෙන්නාගෙන් එකකුට යටත් වෙනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැති බව ඇතැමකුගේ අදහසයි. එය එක මකරෙක් අපිව පාලනය කිරීම හොඳය. එවිට අනෙක් මකරා අපව මරාගෙන කන්නට එන්නේ නැත යන සිතුවිල්ලට සමානය. මෙබඳු යටත් සිතුවිලි අපට කලින් කලට පහළ වේ. එල්ටීටීඊය ලොව දරුණුම ප්‍රබලම ත්‍රස්ත සංවිධානය වූ කාලයේ මුළු රටම සිතුවේ ඉන්දියාවද ඩයස්පෝරාවද උදව් කරන තුරු අපට රටෙන් කෑල්ලක් දෙනවා හැර වෙනත් විසඳුමක් නැතිය කියාය. ලෝකය පිළිගත් දේශපාලන න්‍යාය ශාස්ත්‍ර, විදේශ රාජ්‍යතාන්ත්‍රික හැදෑරීම් කළ සියලු වියතුන් එදා කීවේ යුද්ධයෙන් මෙය දිනීමට බැරි බවය. එහෙත් ඒ හැදෑරීම්වලින් ඉගැන්වීම්වලින් එළියට ගොස් අප කටයුතු කළෙමු. දැන් අර පරණ න්‍යාය කවුරුත් තකන්නේ නැත.
දැන් වුවමනා කරන්නේ මේ මකරුන් දෙදෙනාටම යටත් නොවී ඉන්නට සමත් රාජ්‍ය නායක ධෛර්යයකි. එම්.සී.සී. ගිවිසුම හීනෙන්වත් අත්සන් නොතබන බව ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර තිබේ. ඇමරිකා රාජ්‍ය ලේකම්ද කියන්නේ එය එපා නම් අපට වෙන අවස්ථා තිබෙනවා කියාය. ඒ ඇමරිකාව පියවරක් පස්සට ගැනීමකි.
මේ මොහොතේ වැදගත්ම සිතුවිල්ල අප පුංචියට නොසිතීමය. අපට චීනය, ඇමරිකාව කොතරම් වැදගත් ද යත්, ඒ රටවලට අපත් එතරම්ය.

The post ගොඩ්සිලා සහ විලෝපිතයා appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

38 Views