ගංගාවක දියකඳ බෙදා ගැනීමට දෙරටක් අතර ඇති වූ අරගලයක්


රටවල් අතර ඇති කරගන්නා ඇතැම් එකඟතාවන් සාර්ථක වූවත්, ඇතැම් ඒවා අසාර්ථකව යන්නේ කිසිවෙකුත් නොසිතනා ආකාරයට. ගිවිසුම්ගත වීම ආරම්භයේ දී ඇති උනන්දුව; දේශපාලනික, සමාජයීය, ආර්ථික පෙරළීන් සමග පහව යාමත් සමග ඇතැම් රාජ්‍යයන් තමන් විසින් අනෙක් පාර්ශවයට එකඟ වූ ගිවිසුමික එකඟතාවන් ඉටු නොකර සිටීමට කටයුතු කරනවා. ඇතැම් රාජ්‍යයන් හිතුමනාපයට ගිවිසුමික නියමයන් වෙනස් කර ගැනීමටත්, තනි මතයට තීරණ ක්‍රියාත්මක කරගැනීමටත් උත්සාහ දරනවා. මෙවන් හිතුවක්කාරී තීරණ බොහෝ විට අවසාන වන්නේ යුද්ධවලින්. හන්ගේරියාවත් ස්ලෝවැකියාවත් අන්තර්ජාතික යුක්ති අධිකරණය ඉදිරියට පැමිණෙන්නේ, දෙරට අතර ඇති වී තිබූ හීතල ගින්දර, එම දෙරට මැදින් ගලා ගිය ඩැන්යුබ් ගං දියේ ඇවිලෙමින් තිබුණු මොහොතක. යුද්දයක් අත ළඟම තිබුණු මොහොතක.

ජලය නැතුව ජීවයට පැවැත්මක් නෑ. ඩැන්යුබ් ග‍‍ඟේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් හන්ගේරියාව සහ ස්ලෝවැකියාව අතර ඇති වී තිබූ ගැටලුව යුද්දයක් දක්වා ගමන් කිරීමට පෙර ඉක්මනින්ම විසඳාලීම අන්තර්ජාතික යුක්ති අධිකරණයට අභියෝගයක් වුණත් අන්තර්ජාතික යුක්ති අධිකරණය විසින් එකී අභියෝගය ඉතා සාර්ථකව ජය ගන්නවා.

ඒ 1977 වර්ෂය යි. හන්ගේරියාව සහ චෙකොස්ලෝවැකියාව එකඟතා ගිවිසුමකට එළඹෙනවා ඩැන්යුබ් ගඟ හරහා වේල්ලක් ඉදි කොට ජලාශයක්, ජල විදුලි බලාගාරයක්, සහ ගංවතුර පාලනය සඳහා අවශ්‍ය පද්ධතියක් ඉදි කිරීමට. කෙසේ වෙතත් රටවල් ද්විත්වයෙහිම සිදුවූ දේශපාලනික සහ ආර්ථික වෙනස්කම් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමඟ ඇණහිටිනවා. ඒ 1989 වර්ෂය ආරම්භයේ දීම යි. ඒ වන විට චෙකොස්ලෝවැකියාවේ අනුප්‍රාප්තිකයා වශයෙන් මෙම සම්මුතිය බලගන්වා ගැනීම සඳහා උනන්දුවෙන් පසු වූයේ ස්ලෝවැකියාව යි. මෙම සම්මුතිය අවසන් කිරීම මුලින්ම සිදු කරන්නේ සහ ඒ බවට දැනුම්දීම සිදු කරන්නේ හංගේරියාව විසින්.

ඒ අනුව වර්ෂ 1992 දී රටවල් ‍ද්විත්වයම අන්තර්ජාතික යුක්ති අධිකරණය ඉදිරියට පැමිණෙනවා. ඒ, ‘ඉටුකිරීමේ නොහැකියාව’ මත තමන්ගේ වැඩ කොටස අතහැර, ඒකපාර්ශවිකව සම්මුතිය නතර කිරීම සඳහා හංගේරියාවට හිමිකමක් පවතින්නේදැ යි දැනගැනීම සඳහා. මෙහිදී පැමිණිලිකාර පාර්ශවය ලෙස ස්ලෝවැකියාව විසින් පැමිණිල්ල ඉදිරිපත් කර සිටි අතර, මෙකී ගැටලුව විෂයෙහි විත්තිකාර පාර්ශවය වූයේ හංගේරියාව යි.

ද්විපාර්ශවික සම්මුතියකට එළඹෙන ලද යම් පාර්ශවයක් විසින් එකී සම්මුතික නියමයන් මඟින් බැඳී සිටින්නේ ද යන්න මෙම නඩුවෙහි දී විසඳිය යුතු ප්‍රශ්නයක් වුණා. ඒ සම්බන්ධව අන්තර්ජාතික යුක්ති අධිකරණයේ තීරණය වූයේ හංගේරියාව මෙම ද්විපාර්ශවික සම්මුතිය මඟින් බැඳී සිටින බවත්, එහි ගිවිසුමික නියමයන් නොකර හැරීම සඳහා හංගේරියාවට නෛතික වශයෙන් කිසිදු හැකියාවක් නොපවතින බවත්. වර්ෂ 1991 නොවැම්බර් මස චෙකොස්ලෝවැකියාව විසින් ගෙනෙන ලද Variant C ලෙස හඳුන්වන ලද විකල්ප විධිවිධාන පිළිබඳ යෝජනාවලිය, හංගේරියාව විසින් ඒක පාර්ශවික වශයෙන් සම්මුතිය අවසන් කිරීම විෂයෙහි ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතින බවට හඳුනාගත්තා. නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවක් පැන නොනැගුණේ වර්ෂ 1992 මැයි 19 වන දින හංගේරියාව විසින් ඒකපාර්ශවිකව අවසන් කරන ලදැ යි පවසන ලද මව් සම්මුතිය සත්‍ය වශයෙන්ම නීත්‍යනුකූලව එසේ අවසන් වී නොමැති බව හඳුනාගැනීම නිසාවෙනුයි.

අන්තර්ජාතික යුක්ති අධිකරණයේ ස්ථාවරය වූයේ චෙකොස්ලෝවැකියාව විසින් හංගේරියාව සමග වර්ෂ 1977 දී එළඹෙන ලද සම්මුතියට චෙකොස්ලෝවැකියාවේ අනුප්‍රාප්තිකයා වශයෙන් ස්ලෝවැකියාව පාර්ශවකරුවකු වන බව යි. එසේම පාර්ශවයන්ගේ හොඳහිත පළුදු වීම වැළැක්වීම සඳහා මෙම ගැටලුව සාමදාන කිරීමේ අදහසින් යුක්තව අන්තර්ජාතික යුක්ති අධිකරණය විසින් පාර්ශවකරුවන් වෙත දන්වා සිටින ලද්දේ 1977 වර්ෂයේ දී එළඹෙන ලද සම්මුතියෙහි පරමාර්ථයන් සාක්ෂාත් කරගැනීම සඳහා, පවතින තත්ත්වය යටතේ ගත හැකි ක්‍රියාමාර්ගයක් කවරේ ද යන්න පිළිබඳව සද්භාවයෙන් යුතුව සාකච්ඡා කරන ලෙස යි. මෙය දෙපාර්ශවය විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු යමක් ලෙස යි අන්තර්ජාතික යුක්ති අධිකරණය දන්වා සිටියේ. එසේම, එක් එක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා එකිනෙකාට සිදු වූ හානිය, හානිපූර්ණය මඟින් පියවාලන ලෙසත් අන්තර්ජාතික යුක්ති අධිකරණය මඟින් දෙපාර්ශවයට දැනුම් දෙනු ලැබුවා.

එසේම මෙහිදී අවධාරණය කළ තවත් වැදගත් කරුණක් පවතිනවා. ඒ, පරිසරයේ තුලිතතාව. අන්තර්ජාතික යුක්ති අධිකරණයේ ස්ථාවර‍ය වුණේ ආර්ථිකමය අරමුණු සහිතව අරඹන ලද ඕනෑම ව්‍යාපෘතියක්, අලුතෙන්ම හඳුනාගන්නා ලද පාරිසරික නියමයන්ට අනුගත විය යුතු බව. ගබ්සිකෝවෝ බලාගාරය හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම් කවරේදැ යි හඳුනාගත යුතු බව එහිදී අවධාරණයට ලක් කෙරුණා. පැරණි ඩැන්යුබ් ගං පතුලට නිකුත් කරන ජල පරිමාව සහ ගංගාවේ අතු ශාඛා‍වන් වෙත නිකුත් කරන ජල පරිමාව පිළිබඳ සෑහීමකට පත්විය හැකි විසඳුමකට එළඹීය යුතු බවත් අන්තර්ජාතික යුක්ති අධිකරණය දෙපාර්ශවයට දන්වා සිටියා.

මෙම නඩුව සම්බන්ධයෙන් අන්තර්ජාතික යුක්ති අධිකරණයේ සංයුතිය පහත පරිදි වුණා. මෙහි සභාපති ලෙස ෂ්වීබල් විනිසුරුවරයා කටයුතු කළ අතර, උප සභාපති ධූරය‍ හෙබවූයේ කීර්තිමත් ශ්‍රී ලාංකික සී. ජී. වීරමන්ත්‍රී විනිසුරුවරයා යි. ඊට අමතරව විනිශ්චයකාර ඔඩා, බෙජූයි, ගිලෝම්, රැන්යෙවා, හර්චෙ, ෂි, ෆ්ලයිෂර්, කොරොමා, වියශෙටින්, පරා-අරන්ගුරෙන්, කූයිමන්ස්, ජිජෙක්; ඇඩ් හොක් අධිකරණ විනිසුරු ස්කුබිශේව්ස්කි; රෙජිස්ට්‍රාර්වරයා වූයේ වැලෙන්ෂියා ඔස්පිනා.

මෙහිදී අන්තර්ජාතික යුක්ති අධිකරණයේ උප සභාපති ධූරය‍ හෙබවූ වීරමන්ත්‍රී විනිසුරුවරයා ඉතා අගනා ප්‍රකාශයක් සිදු කරනවා. ‘ආර්ථික වර්ධනය උදෙසා ක්‍රියාත්මක කරවන ව්‍යාපෘති සඳහා වන තරඟකාරී ඉල්ලීම් හමුවේ පාරිසරික ආරක්ෂණය පිළිබඳව ද සලකා බැලිය යුතු බවත්, ඒ අනුව ඕනෑම ව්‍යාපෘතියක් සඳහා අදාළ ව්‍යාපෘතිය මඟින් පරිසරයට සිදු වන බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක් ලබා ගත යුතු බවත්’ ඔහු විසින් දක්වා සිටිනවා. ඒ අනුව තමන් අතින් සිදුවන පාරිසරික හානි සඳහා රාජ්‍යයන්ට අන්තර්ජාතික ප්‍රජාව කෙරෙහි ඇති නෛතික බැඳීම පිළිබඳව ද මෙහිදී වීරමන්ත්‍රී විනිසුරුවරයා අවධාරණය කර තිබෙනවා.

එසේම තම තීන්දුව ලබා දීමේදී වීරමන්ත්‍රී විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ පුරාණ වාරි තාක්ෂණය පිළිබඳව මනා පැහැදිලි කිරීමක් දෙපාර්ශවය වෙතම සිදු කර තිබෙනවා. අහසින් වැටෙන අවසාන දිය බිඳ දක්වා පාවිච්චි කර මිස මුහුදට නොයැවිය යුතු බවට මහා පරාක්‍රමබාහු රජතුමන් කරන ලදැ යි කියවෙන ප්‍රකාශයේ සංක්ෂිප්තයක් ද ඔහු දක්වා තිබෙනවා. අතීත ලංකාව තුළ කැපීමට තහනම් කරන ලද වනාන්නතර තිබූ බවත්, දඩබිම් වෙනම සකසා තිබූ බවත්, වාරි තාක්ෂණය මත පදනම් වූ කෘෂිකර්මාන්තය පවා දියුණු කරන ලද්දේ පරිසරයට හානියක් නොවන අයුරින් බවත් ඔහු දීර්ඝවත්, විස්තරාත්මකවත් දක්වා තිබෙනවා.

අවසානාත්මකව, දෙපාර්ශවය එකිනෙකාට එරෙහිව යොමු කළ වන්දි ආයාචනයන් දෙපාර්ශවය විසින්ම පූරණය කළ යුතු බව අන්තර්ජාතික යුක්ති අධිකරණය විසින් තීරණය කෙරෙනවා. ඇතිවීමට ගිය විශාල අර්බුදයක් මෙවන් විවරණ දැක්වීම් මඟින් සමනය කිරීමට අන්තර්ජාතික යුක්ති අධිකරණය සමත් වුවත්, ඩැන්යුබ් ග‍ඟේ ජලය බෙදා ගන්නේ කොයි ආකාරයට ද යන්න පිළිබඳ විශේෂ දැක්වීමක් මෙහිදී සිදු කර නොමැති බවයි පෙනී යන්නේ.

The post ගංගාවක දියකඳ බෙදා ගැනීමට දෙරටක් අතර ඇති වූ අරගලයක් appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

48 Views