කුල භේදය නිසා පීඩා විඳින ඉන්දියාවේ දාලිත්වරුන්


මීට දශක කිහිපයකට පෙර අප රට තුළ කුල භේදය තදින්ම දක්නට ලැබුණා. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය අඩුවෙමින් පවතින්නේ නූතන පරම්පරාවේ සැලකිය යුතු පිරිසක් කුල භේදය පිළිබඳව තැකීමක් නොකරන නිසා යි. එම නිසා අද වන විට ලාංකීය සමාජය තුළ කිසිම කුලයකට අයත් මිනිසුන්ව පහත් කොට සැලකීම සිදු නොවුණත්, උතුරුකරය තුළ තවමත් කුල භේදය තදින් දක්නට ලැබෙනවා.

ලංකාවේ බොහෝ ප්‍රදේශවල කුල භේදය දක්නට නොලැබුණත්, අප අසල්වැසි ඉන්දියාව තුළ තවමත් එය තදින්ම ක්‍රියාත්මක වනවා. එම නිසා පහත්යැ යි සම්මත කුලවලට අයත් වන ඉන්දියානුවන් විවිධ තාඩන පීඩනවලට ලක්වන ආකාරය පිළිබඳව නිතරම අසන්නට ලැබෙනවා. එලෙස සුලභවම කුලවතුන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වන්නේ දාලිත් නම් කුලයට අයත් ජනයා යි. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම පාහේ දාලිත්වරුන් කීපදෙනෙකුට හෝ මරණය උරුම වනවා.

ඉන්දියාවේ කුල බෙදීම  

අතීතයේ භාරත ජන සමාජය තුළ බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය,  වෛශ්‍ය, ශුද්‍ර, සහ පංචම වශයෙන් කුල හතරක් තිබුණු බව ඔබ අසා ඇති. එම කුල වර්ග අතුරින් පහත්ම කුලය ලෙසින් සැලකුණේ පංචම කුල යි. ඒ අනුව එම කුලයේ මිනිසුන්ට පැවරුණු රාජකාරිය වුණේ කසල ශෝධක කටයුතු ආදිය යි. පහත්යැ යි සැලකූ කුලවලට අයත් වුණු ඉතාම පහත් පහත් තත්ත්වයේ කුලයන් කිහිපයක් තිබුණා. එවැනි කුලවල ජනයා එකල ජන සමාජයෙන් කොන් කර තිබුණා. ඉන්දියාවේ අදටත් එවැනි පහත් කුලවලට අයත් ජනතාව ජීවත් වනවා. දාලිත්වරුන් ලෙසින් හඳුන්වනු ලබන එම ජනතාව සමග උසස් කුලවල අය කිසිදු සබඳතාවයක් පවත්වන්නේ නැහැ. ඒ ඔවුන්ව ඉන්දීය ජන සමාජය තුළ පහත් කොට සැලකීම නිසා යි.

දාලිත්වරුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රාන්ත 

ඉන්දියාව තුළ අවසන් වරට ජන සංගණනයක් පැවැත්වුණේ 2011 වසරේ දී යි. එම කාල සමය වන විට එරට සිටි දාලිත්වරුන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 167ක් ලෙසින් සටහන් වුණා. නමුත් පසුගිය වසර 9 තුළ ඉන්දියාවේ දාලිත් ජනගහනය මිලියන 200 ඉක්මවා ගියා. 2011 වසරේ දී කළ ජන සංගණනයට අනුව වැඩිම දාලිත්වරුන් ප්‍රමාණයක් ජීවත් වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුළ යි. පහත දක්වා ඇත්තේ 2011 වසර වන විට වැඩිම දාලිත් ජනගහනයක් වාර්තා වුණු ඉන්දියාවේ ප්‍රාන්ත පිළිබඳව යි.

1) උත්තර් ප්‍රදේශ්- 35,148,377

2) බටහිර බෙංගාලය- 18,452,555

3) බිහාර්- 13,048,608

4) ආන්ද්‍රා ප්‍රදේශ්- 12,339,496

5) තමිල්නාඩු- 11,857,504

ඉන්දීය සමාජය තුළ දාලිත්වරුන් පීඩා විඳින හැටි 

ඉන්දියාව තුළ ඉතා පහත්යැ යි සැලකෙන දාලිත්වරුන් ගෙවන්නේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්. සාමාන්‍යයෙන් දාලිත්වරයෙකු ඇල්ලූ උපකරණයක් පරිහරණය කිරීමට පවා කුලයෙන් උසස් අය මැලිකමක් දක්වනවා. ඔවුන් විශ්වාස කරන්නේ දාලිත්වරයෙකු භාවිතා කළ උපකරණයක් පරිහරණය කළ විට පවා අශුද්ධ භාවයට පත්වන බව යි. එසේම සමහර අවස්ථාවල හෝටල්වලින් ආහාරගන්නා දාලිත්වරුන්ට  තමන් පරිහරණය කළ පිඟන් කෝප්ප පවා සෝදා පිරිසිදු කරදීමට සිදුවනවා.

නිතරම හිරිහැරවලට ලක් වන දාලිත්වරුන්ට බොහෝ විට නීතියෙන් පිළිසරණක් ලැබෙන්නේ නැහැ. කුලවතුන් දාලිත් ජනයාට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා අතරට මිනී මැරුම්, තුවාල සිදුකිරීම්, පහරදීම්, දේපළ ගිනිතැබීම්, සහ විවිධ හිංසන ක්‍රියාවන් ඇතුළත් වනවා. කුලවතුන් දාලිත් වැසියෙකු ස්පර්ශ කිරීමට පවා අකමැති වුණත්, ඔවුන් දාලිත් තරුණියන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමට පසුබට වන්නේ නැහැ. සෑම සතියකටම වරක් අවම වශයෙන් දාලිත් තරුණියන් 20ක් වත් කුලවතුන්ගේ ගොදුරු බවට පත්වනවා. පසුගිය කාල සමයේ දී එවැනි සිදුවීම් පිළිබඳව නිතරම මාධ්‍යය තුළින් අසන්නට ලැබුණා.

දාලිත්වරුන්ට සිදුවන සමාජ අසාධාරණකම් නිසා ඔවුන්ට රජයේ රැකියාවලින් වෙනම ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. රජය මැතිවරණවල දී ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමේ අරමුණෙන් එවැනි දෙයක් කළ බවට නිගමනයකට එළඹිය හැකියි. රජයෙන් දාලිත්වරුන්ට එවැනි සහනයක් ලැබුණත් ඔවුන්ට සිදුවන සමාජ අසාධාරණකම්වලට නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන් නිතරම කුලවතුන් සමග ගැටුම් ඇතිකර ගන්නවා.

ඉන්දියාවේ කුල ගැටුම් 

දශක ගණනාවක සිට ඉන්දියාව තුළ සිදුවන කුල ගැටුම් නිසා දාලිත්වරුන් විශාල ලෙස පීඩාවට පත්වනවා. මීට එරෙහිව දාලිත්වරුන් පවත්වන විරෝධතා ආදියට නිතරම උසස් කුලවලට අයත් කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීම ඉන්දියාවේ කුල ගැටුම්වලට හේතුවක් වනවා. දාලිත් තරුණියන්ට කුලවත් පුද්ගලයන් විසින් හිරිහැර සිදු කරන ආකාරයටම දාලිත්වරුන් විසින් කුලවත් තරුණියන්ට ලිංගික අඩන්තේට්ටම් කරන ආකාරය පිළිබඳව පසුගිය කාල සමයේ දී අසන්නට ලැබුණා. එවැනි අවස්ථාවල දී දෙපාර්ශවයේ කොටස් අතර ගැටුම් ඇති වන ආකාරය දක්නට ලැබෙනවා. එවැනි ගැටුම්වල දී බොහෝ විට නීතියෙන් දඬුවම් හිමිවන්නේ දාලිත් ජනයාට යි. පසුගිය දශකය තුළ එවැනි ගැටුම්වලින් දාලිත්වරුන් රැසකට ජීවිතය අහිමි වුණා.

ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තැනූ නීතිය පිළිබඳ අමාත්‍ය අම්බෙඩ්කාර් දාලිත්වරයෙක්. ඔහු දාලිත්වරුන්ගේ විමුක්ති සටනේ නියමුවෙකු ද වුණා. අම්බේඩ්කාර් බුද්ධාගම පිළිබඳව ඇති වුණු පැහැදීම නිසා 1950 දශකයේ දී බුදු දහම වැළඳගත්තා. එදා අම්බෙඩ්කාර් සමග දාලිත්වරුන් විශාල පිරිසක් බුද්ධාගමට එක් වුණා. කෙසේ නමුත් වර්තමානය වන විටත් දාලිත් බෞද්ධයන් සහ උසස් කුලවල හින්දූන් අතර සුලභවම ගැටුම් ඇතිවන ආකාරය පිළිබඳව අසන්නට ලැබෙනවා.

ජනාධිපති ධුරයට පත්වුණු දාලිත්වරුන් දෙදෙනා 

ඉන්දියානු සමාජය තුළ කිසිදු පිළිගැනීමක් හිමි නොවන දාලිත්වරුන්ට රජයේ ඉහළ තනතුරු ලබාගැනීම සඳහා තිබෙන අවස්ථාව අඩු යි. නමුත් එම සීමා මායිම් අභිබවා ඉදිරියට ගිය දාලිත්වරුන් දෙදෙනෙකු සිය රටේ ජනාධිපති තනතුරට පත් වුණා. පහත දක්වා තිබෙන්නේ ඔවුන් දෙදෙනා පිළිබඳව යි.

රාමන් නාරායනන් 

1976-1978 කාල සමයේ චීනයේ ඉන්දියානු තානාපතිවරයා ලෙසින් කටයුතු කළ නාරායනන් 1980-1984 කාල සමය තුළ ඇමරිකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස රාජකාරියෙහි නිරත වුණා. ඉන් පසුව ඉන්දිරා ගාන්ධි විසින් කළ ආරාධනයක් නිසා දේශපාලනයට පිවිසි නාරායනන් 1984-1992 කාල පරාසය තුළ ලෝක් සභාව නියෝජනය කළා. එලෙස ලෝක් සභාව වසර 8ක් නියෝජනය කළ නාරායනන් 1992-1997 අතර කාලයේ දී ඉන්දියාවේ උප ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළා. උප ජනාධිපති තනතුරේ වසර 5ක් රාජකාරි කළ නාරායනන් ඉන්දියාවේ 10 වැනි ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේ 1997 වසරේ ජූලි 25 වැනිදා යි. එය දාලිත්වරුන් ලැබූ විශාලම ජයග්‍රහණයක් ලෙසින් සැලකිය හැකියි. ඉන් අනතුරුව ජනාධිපති ධූරයේ කටයුතු කළ නාරායනන්ගේ ධූර කාලය  අවසන් වුණේ 2002 වසරේ ජූලි 25 වැනිදා යි.

රාම් නාත් කෝවින්ද් 

ඉන්දියාවේ වර්තමාන ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කරන රාම් නාත් කෝවින්ද් ද දාලිත්වරයෙකු වනවා. 1994-2006 කාල සමය තුළ ඉන්දීය රාජ්‍ය සභාව නියෝජනය කළ කෝවින්ද් 2015 වසරේ අගෝස්තු 16 වැනිදා බිහාරයේ ආණ්ඩුකාරවරයා ලෙසින් රාජකාරි කටයුතු ආරම්භ කළා. 2017 වසරේ ජූනි 20 වැනිදා වන තුරු එම තනතුරේ රාජකාරි කළ කෝවින්ද් ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2017 වසරේ ජූලි 25 වැනිදා යි.

The post කුල භේදය නිසා පීඩා විඳින ඉන්දියාවේ දාලිත්වරුන් appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

107 Views