එස්.එෆ්. ලොක්කා මැරූ සොක්කා කවුද?


‘එස්.එෆ්. ලොක්කා’’ ඒ නම කරළියට පැමිණ දැන් වසර කීපයක් ගත වී තිබේ. අනුරාධපුර, දහයියාගම විසූ ඉරෝන් රණසිංහට එස්.එෆ්. ලොක්කා ලෙස නම් පට බැඳුණේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ සොල්දාදුවෙක් ලෙස රස්සාව කළ බැවිනි.

2007දී ඉරෝන් රණසිංහ යුද හමුදා විශේෂ බළකායට බැඳුණේය. සිය ජීවිතය නොතකා සිය සගයන්ගේ ජීවිත බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රණවිරුවන්ට පිරිනැමෙන රණශූර පදක්කමටද ඔහු සුදුසුකම් ලැබුවේය. පාපන්දු ක්‍රීඩාවට එක්වී පාදයක ආබාධයකට ලක් වූ ඔහු පසුව යුද හමුදා සේවයෙන් පලා ගියේය.

රණවිරු ඉරෝන් රණසිංහ එස්.එෆ්. ලොක්කා වූයේ ඔහු කළ චණ්ඩි වැඩ සමගය. 2015දී ඔහු අනුරාධපුරයම හෙල්ලුවේ රූස්ස ගහක් බඳු බලපුළුවන්කාරයකු එකවරම කපාහෙලූ කෙසෙල් ගසක් ලෙස බිම දැමීමත් සමගය. එස්.එෆ්. ලොක්කා බිම දැම්මේ කලත්තෑවේ මහ නඩුවෙන් පෝරකයට නියම වීම නිසා කලැත්තෑවේ සොයිසා ලෙස ප්‍රකට වූ ඝාතකයාගේ පුතාය. කොළඹ තොටළඟ නාගලගම් වීදියේ උපන් සොයිසා ඇපොතිකරි වෛද්‍යවරයෙක් විය. නීතිවිරෝධී ජාවාරම්වලින් සල්ලි උපයාගත් ඔහු අනුරාධපුර කලැත්තෑවේදී මුදල් සමග මෝටර් රියක් පැහැරගෙන එහි හුන් අය මරා මහා වළක් කපා මෝටර් රිය වළ දැම්මේය. ‘‘කලත්තෑවේ මහා නඩුව’’ යනුවෙන් රට පුරා ප්‍රසිද්ධ වූයේ ඒ සිද්ධියය. මිනීමරු සොයිසාගේ පුතා වසන්ත සොයිසාය.

වසන්ත සොයිසා ගිනස් වාර්තාවලට පවා හිමිකම් කියූ කරාටේ ශූරයකු විය. අනුරාධපුරයට ‘‘නයිට් ක්ලබ්’’ සංස්කෘතිය ගෙන එන්නට මුල පිරූ අය අතර වසන්ත පෙරමුණේ වූයේය. වසන්තගේ පැනරෝමා සමාජ ශාලාවට කඩු පොලු සමග එස්.එෆ්. ලොක්කා සමග හතළිහක් පමණ පිරිසක් වසර කිහිපයකට ඉහතදී කඩා වැදුණහ. ඔවුන් පහරදෙමින් යන අතරේ වසන්තටත් කඩු පහර වැදී මිය ගියේය. මේ ප්‍රහාරය ගැන දෙපාර්ශ්වය එකල කීවේ පරස්පර කතා දෙකකි. එස්.එෆ්. ලොක්කා සමාජ ශාලාවට පැමිණ මුදල් නොගෙවීම නිසා ඇති වූ ගැටුමකින් පසුව ඔහුට එය තහනම් කලාපයක් කළ බව එහි පළිය ගන්නට වසන්ත සොයිසා මැරූ බවත් වසන්තගේ පාර්ශ්වය එදා කියූ කතාවය. එහෙත් එස්.එෆ්. ලොක්කාගේ පාර්ශ්වයෙන් කියවුණේ පූජා නගරයට කැරෝකේ ශාලා අවශ්‍ය නැති බැවින් මේ ප්‍රහාරය එල්ල කළ බවය. කෙසේ නමුදු වසන්ත සොයිසාගේ සමාජ ශාලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එස්.එෆ්. ලොක්කා අනුරාධපුරයේ කොල්ලන් අතර වීරයකු බවට පත්විය.

මේ ප්‍රහාරයට එස්.එෆ්. ලොක්කා සමග ගිය තිස් දෙනකුමට මිනීමැරුම් චෝදනා ගොනු කෙරුණු අතර වසර දෙකකට පසුව ලොක්කා ඇප මත මුදා හැරීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරයෙන් එළියට ආවේය.

බන්ධනාගාරගත කෙරුණු​ මොහොතේ එස්.එෆ්. ලොක්කා ආන්දෝලනාත්මක වීඩියෝ පටයක්ද සමාජ ජාලයට මුදාහරිමින් කරාටේ වසන්තගේ ඝාතනය සාධාරණීකරණය කළේය.

අනුරාධපුර පූජා නගරයේ රාත්‍රි සමාජ ශාලා ඇරඹීමට එරහිව තමන් සමග ගිය තරුණ පිරිසක් සමග ඇති වූ ගැටුමකින් මෙය වූ බවද එස්.එෆ්. ලොක්කා මෙම වීඩියෝ පටයෙන් කියන්නට හැදුවේය.

‘‘එල්ලුම් ගහට ගියත් අපි බය නැහැ. ක්ලබ් එකක් අනුරාධපුරයට අහිමි වුණා. මං හිතනවා ආයෙත් ක්ලබ් අනුරාධපුර අරින එකක් නැති වෙයි කියලා. ඇරලා තිබ්බත් ආයෙත් ඔය විදිහට අපි වැඩ කරගෙන යනවා’‘ යැයි වීඩියෝ පටයේ සඳහන්ය.

අනුරාධපුරයේ තරුණ ප්‍රජාව දිනාගන්නට ලොක්කා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආධාර උපකාර කළේය. තරුණයන් සමග එක්ව කරන සටන්වල පෙරමුණේ උන්නේය. තමන් අනුරාධපුර බොදු උරුමය රකින්නකු ලෙසින් ඔහු සමාජයේ පෙනී සිටියේය. ඒ නිසා ඔහුට ආදරය කළමෙන්ම තවමත් ආදරය කරන පිරිස්ද ඔහු වටා සිටියහ.

එදා 2015 ඝාතනය කළ පසුත් ඔහු තැබූ ෆේස්බුක් සටහනක මෙසේ සටහන් විය.

‘‘දිගු නිහැඬියාවක භූමිකම්පාව අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා. අපට හා සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න. comming soon ලොකු මල්ලි’’ ලෙස එම සටහනේ විය. හිරගෙදරින් ඇප මත මුදා හැරුණු පසු යළි ගමට පැමිණි එස්.එෆ්. ලොක්කා ඇඟේ හයිය මෙන්ම තමා වටා වූ තරුණ කැලගේ බලය පෙන්වා අනුරාධපුරේ දේශපාලකයන්ද තමා වෙත නම්මවා ගත්තේය.

එතැන් සිට එම දේශපාලනඥයා සහාය දෙන ඡන්දවලට එස්.එෆ්. ලොක්කාත් බැහැල වැඩ කළේය. මේ අතරේ මහා මැතිවරණය ආවේය. ඔහු පෙර කී දේශපාලනඥයා වෙනුවෙන් වැඩ කළේය.මහා මැතිවරණය පැවැත්වූයේ ඉකුත් පස් වැනිදාය. එදින රටේ සෙසු ප්‍රදේශවල මෙන් අනුරාධපුරයේ ආරක්ෂාවට පොලිසියේ සිය ගණන් යොදවා තිබිණි.

අනුරාධපුරයේ ජනතාවත් මෙදින ඡන්දය භාවිත කරන්නට උනන්දුවෙන් සිටියහ.

ඡන්ද උණුසුම අතරේ අනුරාධපුරයේ එක් තැනක අමුතු මෙහෙයුමක් සූදානම් වෙමින් තිබුණේය. ඉලක්කය එස්.එෆ්. ලොක්කාය.

එස්.එෆ්. ලොක්කා සොයා යන ඝාතකයන් දෙදෙනකු ඡන්ද උණුසුම මැද ඉලක්කයට ඉව අල්ලමින් සිටියහ.

එස්.එෆ්. ලොක්කාගේ කණ්ඩායම් මැතිවරණයට කලින් දින රාත්‍රියේත් තම බලය පෙන්වා තිබුණේ අනුරාධපුර අලුත් බස් නැවතුම අසලය. එහිදී ඇති වූ ගැටුමට මුල්වූයේත් එස්.එෆ්. ලොක්කා බව ගම්මු කියන කතාවය. මැතිවරණයදා උදෑසනම ලොක්කා මෝටර් රථයේ නැගී පිටව යන්නේ පෙම්වතියත් කැටුවය. අනුරාධපුරයට පැමිණි විට ශාරීරික ව්‍යායාම් සඳහා ශාරීරික සුවතා මධ්‍යස්ථානයට යාම ලොක්කාගේ කාල සටහනේ වූ එක් පුරුද්දකි. පෙම්වතිය වූ නිල්මිණී නදීෂා කැටුව ව්‍යායාම් කරන්නට ගිය ලොක්කා අනුරාධපුර කාර්මික පෙදෙසේ වූ නිවස බලා යන්නට පිටත් වූයේ පැය කිහිපයකට පසුවය. යන්නට පෙර ඒ අසල වෙළෙඳසලින් එළවළුත් මිලදී ගත්තේය.

අනුරාධපුරයම හොල්ලගෙන සිටි ලොක්කා බලාපොරොත්තු නොවූ ඉලක්කයක් ඔවුන් සමගම හඹා ගියේය. ලොක්කාගේ මෝටර් රථය ඉදිරියට ඇදෙමින් තිබිණි. වේලාව දහවල් 11.45ට පමණය.

දහයියාගම දුම්රිය හරස් මාර්ගයට ළඟාවත්ම ලොක්කාගේ වාහනයේ වේගය අඩුවන්නට විය.

එසැණින් මෝටර් රථය හඹා ආ යතුරුපැදියක සිටි සම්පූර්ණ මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් ලොක්කාගේ වාහනය අසලටම පැමිණියහ. තත්පරයක් යන්නට පෙර පසුපස අසුනේ හුන් පුද්ගලයා ඉවතට ඇදගත් ටී 56 ගිනි අවියකින් උණ්ඩ හත අටක් ලොක්කාගේ සිරුරට කිදා බැස්සුවේය. තවත් උණ්ඩ හත අටක් සිරුර ළඟින්ම පිටතට ගියේය. යාබද අසුනේ වූ ලොක්කාගේ පෙම්වතිය වූ තිළිණි නදීෂාට සීරීමක්වත් නොවන්නට තරම් වෙඩික්කරු පරිස්සම් විය. තත්පර ගණනාවකින් ඉලක්කය සපුරා ගත් ඝාතකයන් පලායද්දී එහි එක්වූ පිරිස් ලොක්කා ඉවතට ගත්හ. ඒ වන විටත් ලොක්කා අවසන් හුස්ම හෙළා අවසන්ය. සුළු මොහොතකින් ලොක්කාගේ වාහනය ගිනි ජාලාවකින් වැසී ගියේ වෙඩි ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස එංජිම ගිනි ගැනීම නිසාය.

අනුරාධපුරයම හෙල්ලූ එස්.එෆ්. ලොක්කා අහවර කරන්නට ගත වූයේ තත්පර ගණනකි. ඡන්දය දවසේ ආරක්ෂක රැකවල් දැඩි කර ඇති මොහොතක ඝාතකයන් තම ඉලක්කය හඹාගියේ දැඩි විශ්වාසයක් ඇත්තවුන් මෙන්ය.

ඝාතකයනක් මහා මැතිවරණය පැවැති දින මේ ඝාතනයට තෝරා ගත්තේ ඇයි දැයි විමර්ශන නිලධාරීන්ටද ප්‍රශ්නාර්ථයකි.

ඇතැම් විට කලින් දින බස් නැවතුමේ ලොක්කාගේ කණ්ඩයම ඇති කරගත් ආරෝව නිසා මෙය සිදුවූවා විය හැකිය. එසේ නැතිනම් මහා මැතිවරණය දින මුළු රටේම අවධානය වෙනතක තිබුණු බැවින් එදින නිශ්ශබ්දව තම ඉලක්කය ගැනීමට ඝාතකයන් කල්පනා කළා හැකිය.

‘‘අයියා ජිම් එකට ගිහින් කාර් එකෙන් මාත් එක්ක යන ගමන් මේක වුණේ. වෙනදා වගේ අයියා කාර් එක වේගයෙන් පැදෙව්වා. රේල් ගෙට්ටුව ළඟදි කාර් එකේ වේගය අඩු කරනවාත් එක්ක ඩෝං, ඩොං ගාලා ශබ්දයක් ඇසුණා. මම ඒ ​වේලාවේ හිතුවේ රතිඤ්ඤා​ වෙන්න ඇති කියලා’’ තිළිණි නදීෂා සිද්ධිය වූ හැටි කියන කතාවය. අයියා ඔළුව කෙළින් කරලා වෙඩි තැබූ අය දිහා බැලුවා. වෙඩි වැදුණට පස්සේ විනාඩි පහක් විතර අයියා හොඳට හිටියා. පස්සේ තමයි අයියා පැත්තට ඇදවැටුණේ.’’

ස්කූටි යතුරු පැදියක් ඔවුන් පසුපසින් හඹා ආ බව එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියටද මතකය. පොලිස් විමර්ශනවලට අනුව සී.සී.ටී.වී. කැමරා දර්ශනවලද ප්‍රහාරයට පැමිණි යතුරුපැදියක් සටහන්ව තිබෙන්නේය.

සැකකරන යතුරුපැදියේ අංක තහඩු තාම හඳුනාගන්න අමාරුය. ජිම් එක ළඟ ඉඳන්ම මේ ස්කුටි බයික් එකෙන් එළවාගෙන ගිහින් තියෙනවා. හොඳට ප්ලෑන් කරලා කරපු එකක් කියලා විමර්ශනවලින් තහවුරු වෙනවා’’ යැයි විමර්ශන කණ්ඩායම් කියන කතාවය.

පොලිස් කණ්ඩායම් දෙකක් මේ ඝාතනය ගැන සීසීටීවී හා අනෙකුත් සාක්ෂි ඔස්සේ විමර්ශනය කරති. එස්.එෆ්. ලොක්කා කලින් දින රාත්‍රියේ තමන්ට ඇති මරණ තර්ජනයක් ගැන පෙම්වතිය හමුවී පවසා ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ‘‘නංගි මට පොඩි සීන් එකක් තියෙනවා. ඒ හින්දා ඉක්මනින් යන්න ඕන.’’ කියමින් එස්.එෆ්. ලොක්කා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය. නමුත් එම තර්ජනය කුමක්දැයි තවමත් හෙළි වී නැත.

ඇතැම් විට කලින් බස් නැවතුමේ ඇති වූ ආරෝවත් මෙම ඝාතනයට හේතුවූවා විය හැකිය.

එහෙත් මේ ඝාතනය පෙර දින සිද්ධියට වඩා හොඳට සැලසුම් සහගතව කළ ප්‍රහාරයක් බව හෙළි වන්නේ ඔහුට වෙඩි තැබීමට යොදා ගත් ස්ථානය ගැන කල්පනා කර බලන විටය. ඔහුට වෙඩි තැබුවේ දුම්රිය හරස් මාර්ගයක් අසලදීය. එම ස්ථානයේදී ඕනෑම වාහනයක වේගය බාල වේ.

එවැනි ස්ථානයකදී වෙඩි තබා කරන ඝාතනයක් මින් පෙර දැක තිබුණේ දෙමළ චිත්‍රපටවලය. ඝාතකයන් මේ ස්ථානය තෝරා ගත්තේ හොඳින් කල්පනා කර බලා ඇති බව පැහැදිලිය. මක්නිසාදයත් අවි පුහුණුව ලද අරෝහ පරිණාහ දේහධාරී එස්.එෆ්. ලොක්කා සමග මුහුණට මුහුණ සටනක් තමන්ට අවාසි බව ඝාතකයන් දැනගෙන සිටි බැවිනි. කෙසේ නමුදු මේ ඝාතනයේ සැකකරුවන් තවමත් සිටින්නේ නිදැල්ලේය. මැතිවරණය ප්‍රතිඵල නිකුත් වෙනවාත් සමග එස්.එෆ්. ලොක්කාගේ ඝාතනයත් යටයාවිද. එය කිව හැක්කේ ඉදිරි දින දෙක තුනේ වන දේ බලාය.

The post එස්.එෆ්. ලොක්කා මැරූ සොක්කා කවුද? appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

43 Views