ඇමරිකානු මැතිවරණය 2020: ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකය වෙනස් කර ඇත්තේ කෙසේද?

US election 2020

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු හුදෙක් ඔහුගේ රටේ නායකයා පමණක් නොවේ, ඔහු බොහෝ විට ලොව බලවත්ම පුද්ගලයා ලෙස පිළිගැනේ. ඔහුගේ තීරණ අප සියලු දෙනාගේ ජීවිතයට වෙනස්කම් ගෙනෙනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉන් වෙනස් නොවේ. ට්‍රම්ප්ගේ තීරණවලින් ලෝකය වෙනස් වී ඇත්තේ කෙසේද?

ලෝකය ඇමරිකාව දකින ආකාරය

ජනාධිපති ට්‍රම්ප් බොහෝ අවස්ථාවල එක්සත් ජනපදය “ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට” ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් ‘පිව්’ පර්යේෂණ මධ්‍යස්ථානය රටවල් දහතුනක් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කළ මත විමසුමකට අනුව ඔහු විදේශයන්හි ඇමරිකානු ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා වැඩි යමක් කර නැත.

බොහෝ යුරෝපීය රටවල ජනතාව ඇමරිකාව දෙස ධනාත්මක දෘෂ්ටියකින් බැලීම, වසර 20 කට පසු ප්‍රතිශතයක් ලෙස අවම මට්ටමක පවතී. එක්සත් රාජධානියේ 41% ක් ඇමරිකානු හිතවාදී මතයක් දරණ අතර ප්‍රංශයේ එය 31% ක් වේ. එය 2003 න් පසු අවම අගය ලෙස වාර්තා වේ. කෙසේනමුත්, ඇමරිකාව අගය කරන ජර්මානුවන් ඇත්තේ 26% ක් පමණි.

මෙම තත්ත්වයට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ කොරෝනාවෛරස් වසංගතයට ඇමරිකාව දැක්වූ ප්‍රතිචාරයයි. ජූලි සහ අගෝස්තු මාසවල සංඛ්‍යාලේඛනවලට අනුව, එක්සත් ජනපදය වෛරසය හොඳින් හසුරුවා ඇති බවට පිළිගන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 15% ක් පමණි.

දේශගුණික විපර්යාස ගැන නොතැකීම

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. විටෙක ඔහු එය “මිල අධික ප්‍රෝඩාවක්” ලෙස හඳුන්වන අතර, තවත් විටෙක “මට ඉතා වැදගත් වන බැරෑරුම් විෂයයක්” යැයි පවසයි.

US election 2020

පැහැදිලි වී ඇති කාරණය නම්, ජනාධිපති ලෙස පත් වී සය මසක් ගතවන විට ඔහු විද්‍යාඥයන් කලකිරීමට පත් කරමින් පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව නිවේදනය කිරීමය. මෙම ගිවිසුමට රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක දෙකකට අඩු සංඛ්‍යාවක පවත්වා ගැනීමට එක් වී කටයුතු කරමින් සිටිති.

චීනයට පසු හරිතාගාර වායු විමෝචනය කරන දෙවෙනි විශාලතම ස්ථානය එක්සත් ජනපදය වන අතර ට්‍රම්ප් නැවත තේරී පත්වුවහොත් ගෝලීය උණුසුම පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇතැයි පර්යේෂකයෝ අනතුරු අඟවති.

පැරිස් ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ “මේ ගිවිසුමෙන් අධික නියාමන සීමාවන් පැනවීම නිසා ඇමරිකානු නිෂ්පාදකයින් කඩා වැටීමට ඉඩ තිබුණා” යනුවෙනි. ගල් අඟුරු, තෙල් සහ ගෑස් නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීම සඳහා අදාළ පරිසර දූෂණ රෙගුලාසි ඉවත් කිරීමට ද ඔහු ක්‍රියා කළ නිසා, මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ තේමා පාඨයක් ලෙස ද හැඳින්විය හැකිය.

කෙසේවෙතත්, එක්සත් ජනපදයේ ගල් අඟුරු ආකර කිහිපයක් තවමත් වසා දමා ඇත. ස්භාවික ගෑස් සහ පුනර්ජනනීය බලශක්ති නිපැයුමට රජයේ සහය ලබා දීමට ගත් උත්සාහයන් මෙම තත්ත්වයට හේතු වී ඇත. වසර 130කට වැඩි කාලයක් තුළ පළමු වරට එක්සත් ජනපදයේ ගල් අඟුරුවලට වඩා පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගෙන වැඩි බලශක්තියක් උත්පාදනය කළ හැකි බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීම නිල වශයෙන් බලපැවැත්වෙන්නේ ජනාධිපතිවරණයෙන් පසු දින එනම් නොවැම්බර් 4 දා ය. ජනාධිපතිවරනයේදී තමන් ජයග්‍රහණය කළහොත් නැවත ගිවිසුමට එක්වන බවට ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ.

කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රගතිය අවහිර කිරීම සඳහා බ්‍රසීලයට සහ සෞදි අරාබියට ඇති මාවත සුමට කළ බව සමහර නිරීක්ෂකයින් විශ්වාස කළද, එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත්වීම දැඩි බලපෑමක් ඇති කරයි ද යන්න තවමත් හඳුනාගෙන නොමැත.

සමහරුන්ට පමණක් වැසුණු මායිම්

ජනාධිපති ට්‍රම්ප් සිය ජනාධිපති සමාරම්භක උත්සවයෙන් සතියකට පසුව මුස්ලිම් බහුතරක් වෙසෙන රටවල් හතක සංචාරකයින් සඳහා එක්සත් ජනපද දේශසීමා වසා දැමීය. වර්තමානයේ රටවල් 13ක් දැඩි සංචාරක සීමාවන්ට යටත් වේ.

US election 2020

එක්සත් ජනපදයේ වෙසෙන විදේශයක උපත ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව බැරක් ඔබාමා පාලන කාලයේ අවසන් වසර වන 2016 ට වඩා 2019 දී 3% කින් වැඩි විය. නමුත් එම සංක්‍රමණිකයන් කවුරුන්ද යන්න වෙනස් වී ඇත.

ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙක්සිකෝවේ උපත ලැබූ එක්සත් ජනපද පදිංචිකරුවන්ගේ ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටී ඇති අතර, ලතින් ඇමරිකානු රටවල් සහ කැරිබියන් දූපත්වලින් සංක්‍රමණය වූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

එක්සත් ජනපදය තුළ පුද්ගලයන්ට ස්ථිර පදිංචි වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය ද දැඩි කර තිබේ. විශේෂයෙන් දැනටමත් එහි වෙසෙන අයගේ ඥාතීන් සඳහා වීසා ලබා ගැනීම අපහසු වී තිබේ.

මෙක්සිකෝව දේශ සීමාවේ ඉදිකරන බවට දිවුරුම් දුන් “විශාල, ලස්සන පවුර” නිසැකවම ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියේ සංකේතයක් ලෙස හැඳින්විය හැකිය . ඔක්තෝබර් 19 වන විට එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට සැතපුම් 371 ක් දුරට පවුර ඉදිකර ඇති බවය. මෙහිදී සිදුව ඇත්තේ එම ප්‍රදේශය තුළ තිබූ මාර්ග බාධක වෙනුවට අලුතින් වැටවල් ආදේශ කිරීමය.

කෙසේනමුත්, මෙම ක්‍රියාවලිය ඇමරිකාවට ළඟා වීමට දැඩි අධිෂ්ඨානයක් සහිත පුද්ගලයන් වැළක්වීමට සමත්ව නැත.

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ රඳවාගෙන සිටින සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව වසර 12කට පසු 2019 දී විශාල ලෙස ඉහළ ගොස් තිබේ. වසන්ත කාලය තුළ සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැඩි වීම ද මෙයට හේතුවකි. මෙම පිරිසෙන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් ග්වාතමාලා, හොන්ඩුරාස් සහ එල් සැල්වදෝරයෙන් පැමිණි පවුල් වන අතර, ප්‍රචණ්ඩත්වය හා දුගීබව නිසා වෙනත් ස්ථානයක සරණ පතා ඔවුන් පැමිණ ඇත.

ඇමරිකාවේ නැවත පදිංචි කළ හැකි සංඛ්‍යාව විශාල ලෙස කප්පාදු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. එක්සත් ජනපදය 2016 වර්ෂයේදී සරණාගතයින් 85,000 කට ආසන්න සංඛ්‍යාවක් සිය රට තුළට ගත් අතර එය ඊළඟ වසරේදී 54,000 ට වඩා අඩු විය.

2021 දී මෙම සංඛ්‍යාව උපරිම පුද්ගලයින් 15,000 ක් දක්වා අඩු වනු ඇත. 1980 දී සරණාගත වැඩසටහන ආරම්භ කළ තැන් සිට පිළිගනු ලබන අවම පිරිස මෙය වනු ඇත.

ව්‍යාජ පුවත් ඉහළ යාම

“මම හිතන්නේ මම භාවිත කර ඇති සියලුම යෙදුම්වලින් විශිෂ්ඨතම එක වන්නේ ‘ව්‍යාජ’ යන්නයි,” ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 ඔක්තෝබර් මස පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

US election 2020

ජනාධිපතිවරයා නියත වශයෙන්ම “ව්‍යාජ පුවත්” යන යෙදුම නිර්මාණය නොකළද, ඔහු එය ජනප්‍රිය කළ බව පැවසිය හැකිය. ‘ෆැක්ට්බා.සේ’ ආයතනය සිදුකරන ලද අධීක්ෂණයන්ට අනුව දෙසැම්බර් මස සිට මේ දක්වා ඔහු දෙදහස් වාරයක් පමණ ට්වීටර් පණිවිඩ තුළ මෙම වැකිය භාවිත කර ඇත.

අද දින “ව්‍යාජ පුවත්” යැයි ගූගල් සෙවීම් කළහොත් ඔබට ලොව නන් දෙසින් ප්‍රතිඵල බිලියන 1.1 කට වඩා ලැබෙනු ඇත. කාලයාගේ ඇවෑමෙන්, 2016-17 ශීත සෘතුවේ දී එක්සත් ජනපදය තුළ ව්‍යාජ පුවත් ගැන උනන්දුව ඉහළ ගිය ආකාරය ඔබට දැක ගත හැකිය. එමෙන්ම, ජනාධිපති ට්‍රම්ප් “ව්‍යාජ පුවත් සම්මාන” ලෙස හඳුන්වමින්, ඔහු ව්‍යාජ යැයි සැලකූ පුවත් ලැයිස්තුවක් එළිදැක්වූ සතිය තුළ ගූගල් සෙවුම් විශාල ලෙස ඉහළ ගියේය.

2016 වසරේ ධවල මන්දිරය සඳහා වූ තරඟය අතරතුර, “ව්‍යාජ පුවත්” යන්නෙන් අදහස් කළේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනාධිපති ධුරය සඳහා ට්‍රම්ප් අනුමත කිරීම වැනි අසත්‍ය වාර්තාය. නමුත් එය ජනප්‍රිය භාවිතයට පිවිසෙත්ම, එහි අරුත වැරදි තොරතුරුවලට පමණක් සීමා නොවීය.

තමා එකඟ නොවන පුවත් විවේචනය කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා නිතරම “ව්‍යාජ පුවත්” යන්න භාවිත කර ඇත. 2017 පෙබරවාරි මාසයේදී ඔහු එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් “ඇමරිකානු ජනතාවගේ සතුරන්” ලෙස පුවත් ආයතන කීපයක් හංවඩු ගැසීය.

එය තායිලන්තය, පිලිපීනය, සෞදි අරාබිය සහ බහරේනය වැනි රටවල නායකයින් ද නිතර භාවිතයට තෝරාගෙන ඇති යෙදුමක් බවට පත්ව තිබේ. සමහරු විපක්ෂ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මර්දනය කරමින් සහ නඩු පැවරීම සාධාරණීකරණය කිරීම සඳහා “ව්‍යාජ පුවත්” පතුරුවා හැරීම යන චෝදනාව භාවිත කරනු දක්නට ලැබේ.

සිවිල් සමාජ කණ්ඩායම් පවසන්නේ විශ්සවනීය වාර්තාකරණයට එරෙහිව මෙම යෙදුම භාවිත කිරීමෙන් දේශපාලඥයන් මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන බවය.

ඇමරිකාවේ ‘නිමක් නැති යුද්ධ’ සහ මැද පෙරදිග ගනුදෙනු

2019 පෙබරවාරි සිය රාජ්‍ය දේශනයේදී (State of the Union address) ජනාධිපති ට්‍රම්ප් සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමට ප්‍රතිඥා දෙමින් “විශිෂ්ඨ ජාතීන් නිමක් නැති යුද්ධවල සටන් නොකරයි” යනුවෙන් ප්‍රකාශ කළේය.

US election 2020

කෙසේනමුත්, ඉලක්කම්වලින් පිළිඹිබු වන්නේ වෙනස් කතාවකි. එම දේශනයෙන් මාස කීපයකට පසු තෙල් ආකර ආරක්ෂා කිරීම සඳහා හමුදා සෙබළුන් 500 ක් පමණ සිරියාවේ රඳවා තැබීමට ට්‍රම්ප් තීරණය කළේය. කෙසේනමුත්, ඇමරිකාව මින් පෙර ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා සිරියාවේ කළ හමුදා රඳවා තැබීම් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ යම් දුරකට අඩු වී තිබේ. එහෙත්, ඔහු බලයට පත්වූ දිනය වන විට ඒ සෑම ස්ථානයකම සිටි ඇමරිකානු හමුදා තවමත් එම ස්ථානවලම රැදී සිටිති.

කෙසේනමුත්, හමුදා නොමැතිව මැද පෙරදිගට බලපෑම් එල්ල කිරීමට ක්‍රම තිබේ. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ විරෝධය නොතකා 2018 දී ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ටෙල් අවිව් සිට ජෙරුසලමට ගෙනයාමටත් එම නගරය ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමටත් ජනාධිපති ට්‍රම්ප් ක්‍රියා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ඊශ්‍රායලය සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ ගිවිසුම් අත්සන් කළ විට පසුගිය මාසයේදී ඔහු “නව මැද පෙරදිග උදාව” ගැන ප්‍රශංසා කළේය. එම පියවරට ඇමෙරිකාවේ සහයෝගය ලැබිණි.

වචන පසෙක තබා මේ දෙස බැලුවහොත්, මෙය සමහර විට ට්‍රම්ප් පරිපාලනයේ වඩාත්ම වැදගත් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය විය හැකිය. 1948 දී නිදහස ප්‍රකාශයට පත් කළ දා සිට ඊශ්‍රායලය පිළිගත් මැද පෙරදිග තුන්වන හා සිව්වන රටවල් බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය පත් විය.

වෙළෙඳ ගනුදෙනුවේ කලාව

ජනාධිපති ට්‍රම්ප් ඔහු තැරැව්කරුවකු ලෙස ක්‍රියා නොකළ ගනුදෙනුවලට නිග්‍රහ කරනු දැකිය හැකිය. ඔහු සිය ධුරයේ පළමු දිනයේ දී ජනාධිපති ඔබාමා අනුමත කරන ලද, රටවල් 12 ක වෙළෙඳ ගනුදෙනුවක් වන ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය “භයානක” යැයි හංවඩු ගැසීමෙන් පසු එය අතහැර දැමීය.

US election 2020

මෙම වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් වීම බොහෝ දුරට චීනයට වාසි සැලසීය. ඔවුන් එම වෙළෙඳ ගිවිසුම දුටුවේ ආසියානු පැසිෆික් කලාපයේ සිය බලපෑම මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙසය. කෙසේනමුත්, එක්සත් ජනපදය තුළ ගිවිසුම මගින් ඇමරිකානු රැකියා අඩපණ වනු ඇතැයි සිතූ විවේචකයෝ එයින් ඉවත්වීම ගැන ප්‍රසාදය පළ කළහ.

ට්‍රම්ප් කැනඩාව සහ මෙක්සිකෝව සමඟ උතුරු ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කළ අතර එය “සමහර විට මෙතෙක් සිදුකර ඇති නරකම වෙළෙඳ ගනුදෙනුව” ලෙස ඔහු හැඳින්වීය. එය ප්‍රතිස්ථාපනය කිරීමේ දී බොහෝ වෙනස්කම් සිදුනොවුණු නමුත්, මෝටර් රථ අමතර කොටස් ලබා ගැනීම සහ කම්කරු සම්බන්ධ නීති දැඩි කෙරිණි.

ඇමරිකාව ලෝකය සමඟ වෙළෙඳාමෙන් ප්‍රතිලාභ ලබන ආකාරය ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. එහි ප්‍රතිඵලය වූයේ චීනය සමඟ ඉතා අමිහිරි වෙළෙඳ යුද්ධයකට එළඹීමය. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක එකිනෙකාගේ භාණ්ඩ සඳහා ඩොලර් බිලියන සිය ගණනක බදු පනවා ගත්හ.

එය එක්සත් ජනපද සෝයා බෝංචි ගොවීන්ට සහ තාක්ෂණික හා මෝටර් රථ කර්මාන්තවලට හිසරදයක් වී තිබේ. විවිධ ව්‍යාපාර ඔවුන්ගේ නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවලට ගෙන යාම නිසා චීනයට ද බලපෑම් එල්ල විය.

2019 වර්ෂයේ දී චීනය සහ එක්සත් ජනපදය අතර භාණ්ඩ වෙළෙඳාමේ හිඟය 2016 මට්ටමට වඩා තරමක් අඩු විය. ට්‍රම්ප්ගේ තීරුබදු වළක්වා ගැනීමට උත්සාහ කරමින් ඇමරිකානු සමාගම් ආනයනය අඩු කළහ.

කෙසේවෙතත්, කොරෝනාවෛරස වසංගතය පැවතියත් 2020 දී දැඩි බලපෑම් එල්ල වන ප්‍රවණතාවන් ඇතිව තිබේ. ඇමරිකාව තවමත් අපනයනය කරනවාට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කිරීමට ක්‍රියා කරයි.

චීනය සමඟ ගැටුම්

ප්‍රතිපත්තිමය පසුබෑමක් ලෙස හඳුන්වන ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩයට පාදක වූ දුරකථන ඇමතුම කෙතරම් ආකර්ෂණයක් දිනා ගත්තේද යත් එම ගැටලුකාරී ඇමතුම වෙනුවෙන් විකිපීඩියා පිටුවක් ද ඇත.

US election 2020

2016 දෙසැම්බර් 2 වෙනි දින ට්‍රම්ප් (එවිට ඔහු ජනාධිපති ධුරයට පත් වී තිබිණි) තායිවානයේ ජනාධිපතිවරයා සමඟ සෘජුව දුරකථනය ඔස්සේ කථා කරමින් අතිශය අසාමාන්‍ය පියවරක් අනුගමනය කළේය. 1979 දී තායිවානය සමග සබඳතා නිල වශයෙන් කපා දැමීමේ පූර්වාදර්ශය බිඳ දැමීම ඔහු මෙමගින් සිදු කළේය.

එවක බීබීසී චීන සේවයේ කතුවරිය වූ කැරී ග්‍රේසි අනාවැකි පළ කළේ මෙම පියවර හේතුවෙන් බීජිං පාලනය “තැතිගැන්මට සහ කෝපයට” පත් වනු ඇති බවය. චීනය විසින් තායිවානය සිය රටේ පළාතක් ලෙස සලකන අතර එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන නොමැත.

ට්‍රම්ප්ගේ නිර්භීත පියවරත් සමග මහා භූදේශපාලනික ප්‍රතිවාදීන් අතර ගැටුම ඇමරිකාවෙන් ආරම්භ වූ අතර, වසර ගණනාවකට පසු ඔවුන් අතර සම්බන්ධතා අවම මට්ටමකට වැටී ඇත.

දකුණු චීන මුහුදට චීනය භෞමික හිමිකම් කීම නීති විරෝධී යැයි ප්‍රකාශ කිරීම, චීන භාණ්ඩ සඳහා අධික තීරුබදු පැනවීම, ජනප්‍රිය ඇප් වන ටික්ටොක් සහ වීචැට් බාගත කිරීම තහනම් කිරීම සහ චීන දුරකථන දැවැන්තයා වන හුආවී ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමරිකාව පියවර ගත්තේය.

එහෙත්, මෙම නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම ට්‍රම්ප් යටතේ ආරම්භ නොවූ අතර එයට අර්ධ වශයෙන් චීනයේ ක්‍රියාකාරිත්වය ද වගකිව යුතුය. ෂී ජින් පිං ජනාධිපති 2013 සිට බලයේ සිටින අතර, හොංකොං හි අතිශය මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතියක් පැනවීම සහ චීනයේ මුස්ලිම් සුළුතර උයිගර්වරුන් සමූහ වශයෙන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් කොවිඩ් -19 “චීන වෛරසය” ලෙස නම් කර ඇති අතර, ඔහු තමන් වසංගතය හසුරවන ආකාරය වෙනතකට යොමු කිරීමට උනන්දු වී තිබේ. කෙසේනමුත්, එක්සත් ජනපද නායකත්වයේ වෙනසක් සිදුවීමෙන් ද මෙම තත්ත්වයේ වැඩි වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය. ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජනාධිපති ෂී ජින් පිං මැරයකු ලෙස හැඳින්වූ අතර චීන නායකයාට “ඔහුගේ ශරීරයේ [ප්‍රජාතන්ත්‍රවාදී] අස්ථියක් නොමැති” බව කියා සිටියේය.

ඉරානය සමග යුද්ධයකට අරඇඳීම

“අපට අයත් ඕනෑම ස්ථානයක දී අහිමි වූ ජීවිතවලට හෝ සිදු වූ හානිවලට ඉරානය පූර්ණ වගකීම දැරිය යුතුයි. ඔවුන්ට ඉතා විශාල වශයෙන් විඳවන්න වෙයි! මෙය අනතුරු ඇඟවීමක් නොවේ, මෙය තර්ජනයක්” යැයි ට්‍රම්ප් 2019 අලුත් අවුරුදු දිනයේදී ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය. . “සුභ නව වසරක්!”

US election 2020

දින කීපයකට පසු, මැද පෙරදිග තුළ ඉරානයේ හමුදා මෙහෙයුම් මෙහෙයවූ පුද්ගලයා මෙන්ම ඉරානයේ බලවත්ම ජෙනරාල්වරයා වූ ඛාසෙම් සුලෙයිමානි ඝාතනය කිරීමට එක්සත් ජනපදය ක්‍රියා කළේය. ඉරානය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට දුසිමකට වැඩි බැලිස්ටික් මිසයිල ප්‍රමාණයක් එල්ල කරමිනි. එක්සත් ජනපද හමුදා සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, දෙරට යුද්ධයක් අභියස සිටින බව විශ්ලේෂකයෝ පැවසූහ.

යුද්ධයක් හට නොගත්තද අහිංසක සිවිල් වැසියන් මියගියහ. ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු එහි හමුදාව යුක්‍රේන මගී ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළුවේ අත්වැරදීමකිනි. යානයේ සිටි මගීන් 176 දෙනෙක් මරුමුවට පත් වූහ.

මෙම තත්ත්වය උදා වූයේ කෙසේද? අවිශ්වාසයට එරෙහිව සිදුකරන ලද වැරදි ගණනය කිරීම් මාලාවක් මෙම තත්ත්වයට හේතු විය.

ඉරානයේ එක්සත් ජනපද හිතෛෂී ෂා රජුගේ පාලනය පෙරලා දැමීමත් සමග 1979 සිට එක්සත් ජනපදය හා ඉරානය අතර ගැටුම් හට ගැනිණි. එකල ඇමරිකානුවන් 52 දෙනෙකු ඉරානයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය තුළ ප්‍රාණ ඇපයට ද ගෙන තිබිණි. 2015 දී එළඹුණ න්‍යෂ්ටික ගිවිසුමක් 2018 මැයි මාසයේදී ට්‍රම්ප් අත්හැර දැමීමත් සමග නොසන්සුන්තාවක් ඇතිවිය. ඉරානයට එරෙහිව පැනවුණු ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීම සඳහා එරට සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කිරීමට එකඟ වී තිබිණි.

US election 2020

ට්‍රම්ප් ඉරානයට වෙනත් සම්බාධක පැනවූ අතර, ධවල මන්දිරය එය හැඳින්වූයේ “මෙතෙක් පනවා ඇති දරුණුම සම්බාධක” ලෙසය. ඉරානයේ නායකයින්ට ඔහුගේ අභිමතය පරිදි ගනුදෙනුවලට එළඹීමට බල කිරීම සඳහා මෙම නව සම්බාධක නිර්මාණය කර තිබිණි.

කෙසේනමුත්, ටෙහෙරානය ඊට හිස නැමීම ප්‍රතික්ෂේප කළේය. සම්බාධක හේතුවෙන් ඉරානයේ ආර්ථිකය දැඩි අවපාතයකට ඇද වැටුණු අතර 2019 ඔක්තෝබර් වන විට ආහාර පිරිවැය පෙර වසරට සාපේක්ෂව 61% කින් ද දුම්කොළ මිල 80% කින් ද ඉහළ ගොස් තිබිණි.

දුක් විඳින ඉරාන වැසියන් මසකට පසුව පුළුල් විරෝධතාවල යෙදුණහ.

කොරෝනාවෛරස් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වීමත් සමග රටවල් දෙකෙහිම දේශපාලන අවධානය වෙනතකට යොමු වී ඔවුන් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අවම වූවත්, දෙරට අතර බොහෝ අර්බුදකාරී තැන් දැකිය හැකිය.

BBC Sinhala

The post ඇමරිකානු මැතිවරණය 2020: ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකය වෙනස් කර ඇත්තේ කෙසේද? appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

71 Views