අම්මා එක්ක හිරේ වැටුණු සඳ තරු දැක නැති පොඩිත්තෝ


පුංචි නිකිලාගේ මොන්ටිසෝරිය තිබුණේ උස් තාප්පවලින් වටවය. ඒ තාප්පය නිසා වටාපිටාව නොපෙනුනත්, හිස් අහසේ මැවෙන පුලුන් වලාපෙළ ඇගේ පුංචි හිතට ගෙනාවේ කුතුහලයකි. විටෙක ඒ වලාපෙළ මැදින් පියඹායන කපුටකු, අහස් යානා​වක දසුනක් හැරුණු කොට අලුත් දෙයක් නිකිලා දැක තිබුණේ නැත. ඇය වාගේම තවත් දරුවන් දහ දොළොස් දෙනකුගේ ඉරණම ලියැවි තිබුණේ ඒ අයුරිනි.

මේ කියන්නට යන්නේ අන් තැනක් ගැන නොවේ. අහස උසට තාප්ප ඇත්තේ බන්ධනාගාරවලය. එබැවින් මේ මොන්ටිසෝරිය ඇත්තේ කොහිදැයි දැනටමත් ඔබ අනුමාන කළා වියහැකිය. පුංචි නිකිලා, මයුරා මෙන්ම ‌මේ කියන පැටවුන්ගේ මොන්ටිසෝරිය පිහිටියේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවි අංශයේය. මේ නිසාම මේ පුංචි එවුන්ගේ ලෝකය තැනී ඇත්තේද ඒ විසල් තාප්පයෙන් වට වූ පුංචි ලෝකයේය.

ඔවුනට සම වයසේ පුංචි පැංචන් මෙන් අම්මාගේ තාත්තාගේ අතේ එල්ලි පෙර පාසලට එන්නට භාග්‍යය අහිමිය. අවශ්‍ය වූ විටක අම්මාගේ තාත්තාගේ උණුසුමට මැදිව සුරතල් වන්නටද අවකාශ නැත. ලස්සන මල් ගවුම්, ලස්සන බෑග් සපත්තු ද ඔවුනට නැත. සැබෑවටම රැඳවුම් කාමරයෙන් මේ පුංචි පැටවුන් එළිය​ට එන්නේ මොන්ටිසෝරි යෑමට පමණි. ඒ ඔවුන් හැඳ සිටින ඇඳුමෙන්මය. වෛවාරණ කෑම බීම නැතත් ලැබෙන ආහාර ටිකකින් කුස පුරවා ගන්නා මොවුන් අකුරු අහුලන්නේ ගුරුවරුන් වෙත බැඳී ගිය සැබෑ සෙනෙහසකිනි.

පසුගියදා අපි මෙම පෙර පාසලට ගියත් කොරෝනා නිසා එය තාවකාලිකව වසා දමා තිබුණි.

මේ දරුවන් මෙම බිමේ රැඳී සිටිනුයේ ඔවුන් කළ වැරදි නිසා නොවේ. දැන හෝ නොදැන ඔවුන්ගේ මව්වරුන් කළ වැරදි නිසාය. ඇතැම් දරුවන් බන්ධනාගාර භූමියට එන්නේ උපදින්නටත් පෙරය. දරුවාට වයස පහක් වනතුරු අම්මා සමග රැඳෙන්නට නීතිමය අවසරය දී ඇත්තේ වරදක් කළත් මවකගේ සෙනෙහස දරුවන්ට මහමෙරක් තරම් වන බැවිනි. ඒ ගැන වැලිකඩ බන්ධනාගාරයේ පුනරුත්ථාපන නිලධාරිනි උපුලි ප්‍රේමදාස මෙසේ පැවැසුවාය.

‘‘මේ දරුවන්ටත්, සාමාන්‍ය පෙර පාසලක පරිදි ළදරු පාසල් අධ්‍යාපනය ලබාදෙනවා. උදෑසන සිට දහවල් දොළහ දක්වා ඉගැන්වීම් කටයුතු කරනවා. පෙරපාසල් ගුරුවරුන් ගෙන්වා ගන්නේ සර්ව් කියන ආයතනයෙන්. දරුවන්ට අවුරුදු පහක් වෙනතුරු මෙහි තබාගත හැකියි.’’

මුදල් ගෙවා කුඩා දරුවන් ඉගෙනුම ලබන පෙර පාසල් තරම් මෙකී පෙර පාසල් වර්ණවත් නොවුණද හැකි උපරිමයෙන් ළදරු පාසල තුළ දරුවන්ට හිතකර පරිසරයක් ඇති කිරීමට බන්ධනාගාර නිලධාරින් උත්සාහ ගන්නා බව එහි පුනරුත්ථාපන නිලධාරිනියක වන සුමුදු පට්ටිආරච්චි කීවාය. ඇය කීවාක් මෙන් දරුවන් ආසකරන සත්ව රූපවලින් පන්ති කාමරය වර්ණවත් වී ඇත්තේය. දරුවන්ගේ කුරුටු චිත්‍රයක්ද ඒ අතරතුර නැතුවාම නොවේ. අනිත් දරුවන්ට මෙන්ම මේ දරුවන්ද චිත්‍ර අඳින්නට හපනුන්ය. එහෙත් ඔවුන් චිත්‍රයට නගන්නේ තමන් දකින සීමිත දේවල් පමණි.

‘මේ දරුවන්ගේ චිත්‍රවල විශේෂත්වයක් තිබෙනවා. මේ අය වැඩිපුරම අඳින්නේ කූඹි, මල් සහ කාක් රූප තමයි. බල්ලෝ පූසොත් අඳිනවා. ඊට වඩා දෙයක් මේ දරුවන් දකින්නේ නැහැ.’

ඔවුන් බන්ධනාගාර තුළම සිටිනා බැවින් මෙම දරුවන්ට ඉන් එපිට ලෝකයත් සමග ගනුදෙනුවක් නැත. ඔවුන් සෑම දිනකම උ​දේ සිට රාත්‍රිය වනතුරු දකින්නේ එකම පරිසරයයි.

‘බන්ධනාගාර ඇතුළේ සතුන්ට කියලා ඉන්නේ බල්ලෝ, පූසෝ කාක්කෝ විතරයි. ඉපදුන දවසේ ඉඳලා ඉන්න දරුවෝ සහ අත දරුවෝ විදිහට අම්මලාත් සමග බන්ධනාගාරයට එන දරුවෝ දැකලා තිබෙන්නේ මේ සත්තු ටික විතරයි. අපි අලියා, ජිරාෆ්, මුවා මේ හැම සතෙක්ම පින්තූරවලින් තමයි මේ දරුවන්ට පෙන්වන්නේ. ඒ දරුවෝ මේ වනතුරුම ඒ සත්තු දැකලා තිබෙන්නේ පින්තූරවලින් විතරයි. මොවුන්ට දකින්න අපි මල් වවලා ති​බෙනවා. ඒ හින්දා ඒ දරුවෝ මල් චිත්‍රයට නගන්න හරිම කැමැතියි.’

එසේ කියන්නේ පුනරුත්ථාපන නිලධාරිනි උපුලිය.

අඩියක්වත් තමන්ට කියා හිමි නැති අයකුට වුවද ඉහළ අහ​සේ හිමිකම ලැබෙන්නේ ඉපදුණ දා සිටය. අහසේ තරු බලන්න සඳ එළියේ සිරි විඳින්නට කාගෙන්වත් තහනමක් නැත. එහෙත් මේ දරුවන්ට රාත්‍රි අහසේ තරුවක හැඩවැඩ බලන්නට, හඳ හාමිගෙන් කිරි පැණි ඉල්ලා හඬන්නට අවසර නැත. ඔවුන් සඳ එළියේ කවි සින්දු කියා නැතුවා මෙන්ම, ඉඳහිටක හෝ සඳ එළිය දුටුවා නම් ඒ හිරගෙදර කවුළුවකින් පෙරී එන සඳ එළිය පමණි.

‘මේ දරුවන්ට අම්මලා ඉන්න සිරකුටිවලින් පිටත ඉන්න ලැබෙන්නේ උදේ හයේ ඉඳලා සවස පහ වෙනකන් විතරයි. අපි හවස පහවෙනකොට අම්මලාත් සමග මේ දරුවන්ව ඔවුන්ට හිමි වාට්ටුවට දාලා ලොක් කරනවා. ඉතින් මේ දරුවෝ කවදාවත් රෑට එළිය දකින්න ඇවිත් නැහැ. රෑ අහසේ තරුවක් දැකලා නැහැ. පින්තූරවලින් තමයි සඳ තරු දැකලා තියෙන්නේ.’

බස් රථයක කෝච්චියක ගමනක් බිමනක් නොගිය දරුවන් මේ කාලයේ සොයා ගැනීමට බැරි තරම්ය. මේ ඇතැම් දරුවන් බස් රථයක ගමනක් ගොස් නැත. ඔවුන් කෝච්චිය කවදාවත් දැක නැත. බස් රථයක් දකින්නේද අහම්බෙනි. ඒත් බන්ධනාගාර ගේට්ටුව ළඟට එන බසය පමණි.

​‘මේ දරුවෝ බස් එකක් දකින්නේ ගේට්ටුව ළඟදී, නැත්නම් අම්මා සමගින් උසාවි යද්දි. මේ එක තාප්පයකින් අනෙක් පැත්තේ කෝච්චි පාර තියෙනවා. දරුවන්ටත් නිතරම ​කෝච්චි යන හඬ ඇහෙනවා. ඒත් කවදාවත් කෝච්චියක් දැකලා නැහැ. අපි පෙන්වන රූපවලින් තමයි කෝච්චිය දකින්නේ.’

කෝච්චිවල ශබ්දය ඇසෙද්දී කෝච්චියක් දකින්නට ඒ පුංචි හිත්වලට ද ආසාවක් නැත්තේ නොවේ. ඒත් කාගේ දෝ වරදකට, පුංචි පැටවුන්ට වන්දි ගෙවන්නට සිදුව ඇත.

ළදරු පාසල් ගුරුවරියක් තම ළදරු පාසලට එන දරුවන්ගේ ගෙවල්වල සිදුවන බොහෝ දේ දන්නීය. ඒ කුඩා දරුවන් සුරතල්කමට ගෙදර සියලු විස්තර මොන්ටිසෝරි ටීචර්ට කියනා බැවිනි. මේ දරුවෝද සිටිනා තැන වෙනස් වුවද ඔවුන්ද ගිරවුන් මෙන් බො​​හෝ දේ පවසති. ඇතැම් විට රහස් කතාද කියන්නේය.

‘මේ ළමයි අපේ ඔෆිස් එකට එනවා. ඇවිල්ලා අපේ මේසෙ උඩින් වාඩි වෙනවා. ඊට පස්සේ අපේ අතේ තියෙන ඔරලෝසු ගලවලා එයාලගේ අතේ බැඳ ගන්නවා. පෑන අරගෙන අපේ අත්වලයි එයාලගේ අත්වලයි එක එක දේවල් අදිනවා. ඊට පස්සේ අම්මලා කතා කරපු දේවල් තොරතෝංචියක් නැතිව කියවනවා. ඇතැම් විට නොකියවිය යුතු දේවල් පවා කටකාරකමට කියනවා. සමහර වෙලාවට බතුයි සම්බෝලයි කෑවේ කියනවා. තවත් වෙලාවක ටිපිටිප් කෑවා කියනවා. අලුත් ඇඳුම් හම්බ වුණාම ඒවා ඇඳන් ඇවිත් පෙන්නනවා. ඇතැම් දරුවෝ අම්මලට වඩා අපිට සමීපයි.’

මේ දරුවෝද අනෙක් දරුවන් මෙන් කවි සින්දු කතන්දර දන්නේය. නමුත් අනෙක් දරුවන් නොදන්නා වාග් මාලාවක් මේ දරුවන්ට තිබේ. ඒ කෑම පෝලිම, රෝල ගන්නවා. අන්ලොක් වැනි වදන්ය.

‘මේ දරුවෝ අම්මලා එක්ක ඉන්නේ වෙනම වාට්ටුවල. නමුත් මෙයාලට නිතරම ඇහෙන වචන තමයි මේවා. අම්මලා කෑම පෝලිමේ ඉන්නවා. රෝල ගන්නවා කියන්නේ දවසට තුන් පාරක් මේ අම්මලාව ගණන් කරනවා. එතකොට අම්මලා එකයි දෙකයි තුනයි කියලා ගණන් කරනවා. ඒක තමයි රෝල ගන්නවා කියන්නේ. අන්ලොක් කියන්නේ හවසට කූඩුවට දාලා උදේට එළියට ගන්න එකට. මේ දරුවන්ට නිතරම ඇහෙන්නේ මේ වචනයි.’

කුඩා දරුවෝ පැණිරස කෑමට බීමට රුචිකත්වයක් දක්වයි. වෙනම පරිසරයක සිටියද මේ පැටවුන්ද එසේය. නමුත් අනෙක් දරුවන්ට මෙන්ම මොවුන්ට හිතෙන හිතෙන ‌වේලාවට මුළුතැන්ගෙය අවුස්සා පැණි රස කෑමක් රස විඳින්නට ඉඩ නැත. ඔවුනට හිමි වන්නේ ළදරු පාසලෙන් ලබාදෙන කෑම වේල හා බන්ධනාගාරයෙන් ලබාදෙන කෑමවේල පමණි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශ‌යේ සහකාර බන්ධනාගාර අධිකාරි යූ.එල්.ඊ.ඒ. ඕවිටවත්ත ඒ ගැන මෙසේ කීවේය.

‘මේ දරුවන්ට අපි ත්‍රිපෝෂ හා කිරිපිටි ලබා දෙනවා. ඊට අමතරව ළදරු පාසලේදී සර්ව් ආයතනය විසින් උදෑසන දහයට පමණ පෝෂණීය ආහාර වේලක් ලබාදීමට කටයුතු කරනවා. විවිධ පිරිස් මේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා. නමුත් මේ දිනවල ආධාර ලෙස ආහාර ද්‍රව්‍ය අපි ලබාගන්නේ නැහැ. තුවා, පොත්පත් ආදි උපකරණ දරුවන්ට ලබාදෙන්න පුළුවන්. බන්ධනාගාර කොමසාරිස්තුමාගෙන් අවසර ලබාගෙන ඒ පරිත්‍යාග කළ හැකියි.’

‘මේ දරුවෝ අයිස් ක්‍රීම් තමයි නිතර ඉල්ලන්නේ. ඊට අමතරව චොකලට් කන්න ආසයි. මේ කෑම වර්ග ලබාදෙන අය ඉන්නවා. සමහර වෙලාවට අපි ඒවා තියාගෙන ඉඳලා ඔවුන්ට ලබා​දෙනවා.’ පුනරුත්ථාපන නිලධාරිනි සුමුදු කීවාය.

දඬුවම් නියම වූ මව්වරුන්ට දරුවන් සමග සිටීමට ‌මෙහි වෙනමම සිරමැදිරි ලබා දී තිබේ. එහි විදුලිපංකා මෙන්ම රූපවාහිනියක්ද තිබේ. ඔවුන්ට කුඩා ළමා උයනක්ද ඇත. බන්ධනාගාර පරිපාලනය දරුවන්ට ලබාදීමට හැකි දේ ලබා දීමට පියවර ගෙන ඇති අතර දරුවන් වෙනුවෙන් ආගමික සංස්කෘතික හා ළමා දින වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමටද ඔවුහු කටයුතු කරති. මෙහි දරුවන් සිටින අම්මලා සියල්ලෝම වාගේ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිරදඬුවම් නියමවූවන්ය. ඔවුන් මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නියැළුණු අය මෙන්ම ඒවා පරිහරණය කරන්නියෝද වීම කනගාටුදායකය.

දරුවන් සිටින විට යහපත් සිරමැදිරිය ඔවුනට ලැබෙන බැවින් ඇතැමුන් දරුවන්ද රැගෙන මෙහි ඒමට පියවර ගත් අවස්ථාද ඇති බව දැගන්නට ලැබුණි. එහෙත් මෙම දරුවන් මෙහි තබාගැනීමට හැකි වන්නේ වයස අවුරුදු පහ සම්පූර්ණ වනතෙක් පමණි. ඉන්පසුව උසාවි නියෝග මගින් මොවුන් ළමා නිවාසයකට හෝ වෙනත් භාරකරුවකු වෙත ලබාදිය යුතුය.

‘මේ දරුවෝ වයස අවුරුදු පහෙන් පසුව මෙතැනින් යවනවා. සමහර දරුවන්ව අම්මගෙන් වෙන්කරලා යවද්දි දැනෙන්නේ පුදුමාකාර දුකක්. එක දරුවෙක් මෙතැන ඉපදිලා හැදිලා වැඩිලා ඔහුගේ භාරකාරත්වය ළඟට ගියා. සතියක් වෙනකම් මේ දරුවෝ ගෙදර ඉඳලා තිබෙන්නේ හැංගිලා වාගේ. පිරිමි කට්ටිය දකිද්දී ඒ දරුවා බය වෙනවා. මොකද බොහෝ විට පිරිමි කියා මේ දරුවෝ දකින්නේ මෙහේ නිලධාරීන් හා දරුවාව බලන්න එන තාත්තා​ හෝ වෙනත් ඥාතියෙක් විතරයි. ශබ්දවලට මේ කියන දරුවා ලොකු බයකින් තමයි ඉඳලා තියෙන්නේ. පාසල් ගියාම ටීචර්ට ලොකු මැඩම් කියලයි කතා කරල තියෙන්නේ ඒ මෙහේ රැඳවියන් කතා කරන ආකාරයට තමයි ළමයි පාසල් ගිහිල්ලා කතා කරන්නේ. ඒ දරුවට සමාජගත වෙන්න බොහෝ කාලයක් ගිහින් තියෙනවා.’

මෙය දරුවන්ගේ පසින් ඔවුනට තම ළමා ලෝකය අහිමි වීමකි. මෙසේ දරුවන් සමග දිවයින පුරා බන්ධනාගාරවල සිටින සුළු වැරදි ඇති මව්වරුන් ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.

එය දරුවන්ගේ ලෝකය යම් තරමකට ​හෝ ඔවුනට යළි හිමි වීමක් වනු ඇත. අහසේ සඳ තරු නොදුටු දරුවකුට සංවේදීකම, ආදරය ​ගැන පොතපතෙන් පින්තූරයෙන් කියාදීමට වඩා ඒවා සොබාදහමෙන් දැනෙන්නට හැරීම අවැසිය. එය මිනිසත් සමාජයක යුතුකමක් මෙන්ම වගකීමද වෙයි.

The post අම්මා එක්ක හිරේ වැටුණු සඳ තරු දැක නැති පොඩිත්තෝ appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views