හිර ගෙදරදි අඹරන ගුළි


දැන් සෑම පුවත්පතකම පාහේ පාතාල ලෝකය ගැන සඳහන් වූ විශේෂාංග ලිපි ලියවේ. නමුත්, ත්‍රාසය භීතිය පිරි පාතාල ලෝකයේ කතා සිංහල පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන අනුර හොරේෂස් ය. ඩීමන් ආනන්ද මාරක කතා චක්‍රවර්ති වූ සේද අනුර හොරේෂස් පාතාල කතා චක්‍රවර්ති විය. පාතාල ලෝකය ගැන ඔහු හෙළි කළ තොරතුරු ‘‘ගිනි අවි සහ ගිනි කෙළි” නමින් කෘතියකටද රචනා විය. එම කෘතිය ඇසුරින් චිත්‍රපටයක් ද, ටෙලි නාට්‍යයක් ද බිහිවිය. වසර ගණනාවක සිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අනුර හොරේෂස් දිගු කලකට පසු සිය නිහඬතාව බිඳ දමමින් ‘‘සති අග අරුණින්” ඔබ හමුවට මෙසේ පැමිණේ.

පසුගිය ජූලි 19 සති අග ‘අරුණ’ කලාපයේ පළ වූ ‘මරංචි ගේම්’ නමැති ලිපිය කියැවූ රටේ බන්ධනාගාරවල බොහෝ නිලධාරිහු එහි අඩංගු තොරතුරු රසවිඳ අප වෙත සතුට ප්‍රකාශ කර සිටියහ.

‘බන්ධනාගාරය’ යනු දැවැන්ත තාප්පවලින් වට වූ අද්භූත ලෝකයකි. ලොව පුරා රටවල දසදහස් ගණනින් පිහිටුවා තිබෙන බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදුවන බොහෝ ක්‍රියාදාමයන් බාහිර සමාජයට අනාවරණය වන්නේ අබ ඇට ප්‍රමාණයෙනි. එහෙත් එම ‘අබ ඇට’ අප සමාජය තුළ මහා කම්පනයක් මෙන්ම විස්මයක් ද ඇති කළ අවස්ථා බොහෝය. පසුගිය මාස කීපය පුරා රටේ ජනතාව එවැනි ආන්දෝලනාත්මක අත්දැකිම් රාශියක් අත්විඳිනු ලැබූහ.

ලොව බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදු වූ එබඳු සත්‍ය හා ප්‍රබන්ධ කතා ඇසුරෙන් ලෝක සිනමාවේ විශිෂ්ට නිර්මාණ රාශියක් බිහි වී තිබේ. ඇතැම් චිත්‍රපට බිහි වී ඇත්තේ ලෝක ප්‍රකට ලේඛකයන් විසින් ලියන ලද එවැනි නවකතා ඇසුරෙනි. බන්ධනාගාර ඇසුරු කොට නිෂ්පාදනය කරන ලද එවැනි චිත්‍රපට රාශියක් මම නරඹා ඇත්තෙමි. ඉන් මගේ සිත වඩාත් වසඟ කර ගන්නා ලද්දේ 2002 වර්ෂයේ දී තිරගත වූ ‘The Count oF Monte Cristo’ චිත්‍රපටයයි. මෙය 1844 වර්ෂයේ දී සුප්‍රසිද්ධ ප්‍රංශ ජාතික ලේඛකයකු වන ඇලෙක්සැන්ඩර් ඩූමා විසින් රචිත වික්‍රමාන්විත ග්‍රන්ථයකි.

එබඳු අද්භූත හා අත්දැකීම් ලංකාවේ බන්ධනාගාරවල ඕනෑතරම් ඇත්තේය.

මෙතැන් සිට මෙම කතාවට මා යොදා ගන්නා නම් සහ ගම් සියල්ලක්ම මනඃකල්පිත බවය.

ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කැපී පෙනෙන ස්ථානයක් හිමිකර ගෙන සිටින සෙබස්ටියන් කිසිම සිරගෙදරකින් භාර ගන්නට අකැමැති සිරකරුවෙකි. නමුත් උසාවියකින් දඬුවම් නියම කළ විට ඔහුට රටේ කොතැනක හෝ පිහිටි සිර කඳවුරක ‘නවාතැන්’ සැපයීමට බන්ධනාගාර අධිකාරියට සිදුවේ. මෙය බන්ධනාගාර නිලධාරින් විසින් සලකන ලද්දේ ‘මළ වදයක්’ ලෙසිනි. කොටින්ම කිවහොත් සෙබස්ටියන් යනු බන්ධනාගාර නිලධාරින්ට ‘ඇණයකි.’ කිසියම් බන්ධනාගාරයකට මෙම සිරකරුවා ඇතුළු වුවහොත් කොයියම් හෝ මොහොතක එහි නිලධාරින් දෙතුන් දෙනෙකුගේ වැඩ තහනම් වන බව පාලනාධිකාරිය ඉඳුරා දැන සිටියේය. ඒ, මොන උප්පරවැට්ටියක් හෝ යොදා සිර ගෙදරින් පැන යන්නට මොහු අති දක්ෂයකු වූ බැවිනි.

සෙබස්ටියන් කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන සිරකරුවෙකි. හිටිහැටියේ ඔහුගේ සිරුරේ තැනකින් අස්වාභාවික ආකාරයට රුධිරය වහනයවේ. අඛණ්ඩව රුධිරය වහනය වීම හේතුවෙන් ළඟම පිහිටි රෝහලට මෙම සිරකරුවා ඇතුළත් කරන්නට බන්ධනාගාර අධිකාරියට සිදුවිය. ආරක්ෂාවට නිලධාරීන් දෙදෙනකුද යොදවනු ලැබේ. එසේ රෝහල්ගත කළ සෑම අවස්ථාවකදීම සෙබස්ටියන් බන්ධනාගාර නිලධාරින්ට මොන උප්පරවැට්ටියක් හෝ යොදා පැන ගොස් ඇත. මේ හේතුවෙන් බන්ධනාගාර නිලධාරින් රැසකගේ සේවය අත්හිටුවන්නට පියවර ගෙන තිබේ. එබැවින් සෙබස්ටියන් බන්ධනාගාරගත වීම යනු එහි නිලධාරින් දකින බියකරු සිහිනයක් බඳු වූයේය.

සියලුම සැප පහසුකම් හා ආරක්ෂාව මධ්‍යයේ ගත කරන සිරගත ජීවිතයේ දී නම් දරාපු සිරකරුවන්ට ඇත්තේ ඉතා විවේකීව ඊළඟ අපරාධය සැලසුම් කිරීම යැයි මීට පෙර ලිපියකින් මම පෙන්වා දුන්නෙමි. ඒ ආකාරයට සෙබස්ටියන්ද සිරගේ තුළ සිට අපූරු සැලසුම් ඇන්දේය. සැලසුම් ඇන්දා පමණක් නොව, හෙතෙම පොලිසියේ ඉහළම නිලධාරින්ව ‘ගොනාට ඇන්දුවේ’ යැයි කිවහොත් වඩාත් නිවැරදිය. එය නම් අපූරු ඇන්දවීමකි.

රටේ දිනපතාම වාගේ විවිධාකාරයේ අපරාධ සිදුවේ. මිනීමැරුම්, මත් ද්‍රව්‍ය ජාවාරම්, සොරකම්, කොල්ලකෑම්, බැංකු බිඳීම්, නිදන් ගොඩදැමීම් ඉන් කීපයකි. තවත් සමහර අපරාධ ‘නොවිසඳුන අපරාධ’ වශයෙන් පොලිස් ලේඛනවල පරිච්ඡේද වශයෙන් ලියැ වී තිබේ. මෙම අපරාධකරුවන් අල්ලා ගන්නට පොලිසිය මෙතෙක් පැවැත්වූ පරීක්ෂණ කිසිවක් සාර්ථක වී නැත. එබැවින් එම සිදුවීම් දවසින් දවස යට යමින් පවතී. කෙසේ වෙතත් නොවිසඳුන අපරාධයකට සම්බන්ධ අපරාධකරුවන් අල්ලා ගතහොත් පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට ත්‍යාග මුදල් පවා පිරිනැමේ.

මේ සියලුම තත්ත්වයන් කෙරෙහි සෙබස්ටියන් පසුවන්නේ දැඩි අවධානයෙනි. උදාහරණයක් වශයෙන් වේවැල්දෙණියේ ‘ඉනෝකා’ (ව්‍යාජ නාමයකි) ජුවලරි සාප්පුව කඩා රුපියල් කෝටියකට අධික රත්තරන් භාණ්ඩ පැහැර ගෙන ගොස් මාස දෙකක් ඉක්ම යමින් තිබෙන බවක් සෙබස්ටියන්ට පෙනේ.

සෙබස්ටියන් අත සාමාන්‍ය එක්ස්සයිස් පොතක් තිබේ. එහි, රටේ වූ අපරාධ, එම ප්‍රදේශ, දින වකවානු හා එම ප්‍රදේශ භාර පොලිසියේ ඉහළම නිලධාරින්ගේ ජංගම දුරකතන අංක සියල්ලක්ම සඳහන් ය. විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින කාමරයේ සෙබස්ටියන් ඉතා සැනසිල්ලේ බිම පැදුරේ වැතිර තමන් අතේ තිබෙන එක්ස්සයිස් පොත පරීක්ෂා කරමින් මාසයක් දෙකක් ඉක්ම ගියද පොලිසියට විසඳා ගන්නට නොහැකි වූ අපරාධ මොනවාදැයි පරීක්ෂා කරයි. මෙබඳු කාමරයක සමහර විට මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් ද රඳවා සිටින අතර ‘කන්ඩෙම් ෂෙල්’ වශයෙන් හඳුන්වන මෙවැනි මැදිරියක රැඳවිය හැක්කේ එවැනි විශේෂ ගණයේ සිරකරුවන් හත් දෙනෙක් පමණී.

එක්ස්සයිස් පොත පරීක්ෂා කරගෙන යද්දී වේවැල්දෙණියේ රන් භාණ්ඩ කොල්ලය කෙරෙහි සෙබස්ටියන්ගේ අවධානය යොමු වෙයි. මෙම අපරාධය කළ කොල්ලකරුවන් කිසිවෙක් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව සෙබස්ටියන් දන්නේ එදිනෙදා කියවන්නට ලැබෙන පුවත්පත් හරහාය. ගම්පහ පළාත භාර ඉහළ පොලිස් නිලධාරියාට සෙබස්ටියන් සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගන්නේ ඉන් අනතුරුවය.

“සර්.. මම බන්ධනාගාරේ ‘කන්ඩෙම් ෂෙල්’ එකේ වහල ඉන්න හිරකාරයෙක්. නම සෙබස්ටියන්. මම දන්නවා සර් වේවැල්දෙණියේ ජුවලරි ෂොප් එකට රොබරිය දුන්න උන්ව..මට පුළුවනි උන් රොත්තම සර්ට අල්ලලා දෙන්ඩ. හැබැයි මේ රහස් ෆෝන් එකෙන් කියන්ඩ බෑ සර්..”

සැබවින්ම මෙවැනි ආරංචියක් ඉහළ පොලිස් නිලධාරියකුට ලද වහාම එම නිලධාරියා ක්‍රියාත්මක වන්නේ තවත් නොවිසඳුන අපරාධයක් විසඳාගත හැකි වනු ඇතැයි යන දැඩි විශ්වාසයෙනි. මන්ද රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් සැබෑ තොරතුරු දැන සිටින්නේ එබඳුම අපරාධකරුවන් බව පොලිසිය අත්දැකීමෙන් දන්නා බැවින්ය.

“තමුන්ව මට කොහොමද හම්බ වෙන්ඩ පුළුවන්..”

“සර්.. ‘විසිට්’ එකක් එන විදිහට මාව බලන්ඩ එන්ඩකෝ..” සෙබස්ටියන් පවසයි.

බන්ධනාගාර ‘විසිට්’ යනු සමහර අපරාධකරුවන්ට තරු පන්තියේ ආහාර වේල් ප්‍රදානය කරන හෝරාවකි. එවැනි මධුර ආහාර වේලකට සෙබස්ටියන් ඉව අල්ලමින් සිටින මොහොතකි මේ.

“ මොනවද තමුන්ට විසිට් එකට ගේන්ඩ ඕනේ..”

“අවුරුද්දක් විතර මේක ඇතුළේ සර්.. රෝස් කරපු කුකුළෙක් එක්ක බුරියානි එකක් කාපු කාලයක් මතක නෑ සර්. පිටි හැන්දක් දාලා තේ උගුරක් බොන්ඩත් ආසයි සර්. ඔය පිටි පැකට් දෙක තුනක්, සීනි කිලෝ දෙකක්, ඇපල් ගෙඩි හත අටක්, මුද්දරස්පලම් ග්‍රෑම් පන්සීයක් විතර ගේන්ඩ සර්.. සිගරැට් පැකට් දෙක තුනක් ගෙනාවොත් අපේ සුපිරින්ටැන්ඩන් මහත්තයට කතා කරලා ෂේප් එකේ ඒකත් මට ගන්ඩ පුළුවන් වෙයි සර්..”

ඉහළ පොලිස් නිලධාරියාට සෙබස්ටියන් ඉදිරිපත් කළ ‘විසිට්’ ආහාර වේල සුළුපටු එකක් නොවේ. එය රුපියල් හාර පන්දහසක් වැය වන ‘විසිට්’ එකකි. නමුත් මෙම ඉල්ලීම ඉවත දමන්නට පොලිස් නිලධාරියාට කිසිසේත් නොසිතේ.

“හොඳයි..එහෙමනං මම මේ සෙනසුරාදා එන්නං තමුන්ව මුණ ගැහෙන්න.”

උසස් පොලිස් නිලධාරියා සෙබස්ටියන්ට එසේ පොරොන්දු වන්නේ ඔහු ගහන ‘ගැටේ’ ගැන අබමල් රේණුවක තරමින්වත් සැකයක් නොසිතමින් ය. එම පිළිතුර සෙබස්ටියන්ගේ කනට මීපැණි වත්කළා හා සමානය. ඔහු සිරගෙදර වාට්ටුවල සිටින සෙසු සිරකරුවන් සමග ඔට්ටු අල්ලන්ට පටන් ගන්නේ ඉන් අනතුරුවය.

“මචාං..ඔන්න බලපං..ලබන සෙනසුරාදා මට විසිට් එකක් එනවා..දන්නවද කවුද කියලා?” අහංකාර බැල්මකින් මුහුණ පුරවා ගෙන සෙබස්ටියන් අසයි. සෙසු සිරකරුවෝ සෙබස්ටියන් දෙස බලා සිටින්නේ ඇස්වලින් පමණක් නොවේ. කටවල් ද ඇරගෙනය.

“ගම්පහ ඒරියල් එකේ ඔක්කෝම පොලිසිවල ලොක්කා එන්නේ..අරිද. නිකං නෙමෙයි. රොස් චිකන්, බුරියානි, සිගරට්, ඇපල්..අරවද මේවද ඔක්කොම පොදි බැඳ`ගෙන එන්නේ.. මොකටද..මාව බලන්ඩ..”

ඒ සමග සෙසු සිරකරුවන් නගන්නේ මහා ඔලොක්කු සිනහවකි.

“මං බොරුනං කියන්නේ..අරී..කීයක් ඔට්ටුද..?” සෙබස්ටියන් අසයි.

“මගේ ඊෂිකෑෂ් එකවුන්ට්වල තියෙනවා රුපියල් ලක්ෂයක්. මේ තියෙන්නේ ඒ සිම්.”

මෙසේ කියමින් සෙබස්ටියන් තමන් අත තිබෙන සිම්පත් හතරක් සිරකරුවෙක් අතට දෙයි.

එක සිම්පතකට ඊෂිකෑස් ක්‍රමයට රුපියල් විසිපන්දහසක් බැර කළ හැකිය. ඒ අනුව මෙම සිම්පත් හතරේ රුපියල් ලක්ෂයක් ඉඳුරා තැන්පත් වී තිබෙන බව සිරකරුවෝ දනිති.

මෙම ඔට්ටුවට කැමැති සිරකරුවෝ පිරිස අතරේ වෙති. ඒ අනුව ඔවුන්ද තමන්ගේ ඊෂිකෑස් තැන්පත් වූ සිම්පත් සෙබස්ටියන්ගේ සිම්පත් භාරගත් සිරකරුවා අතට පත් කරති. දැන් ඔට්ටුව සම්පූර්ණය.

සෙනසුරාදා පළාත භාර උසස් පොලිස් නිලධාරියා බන්ධනාගාරය වෙත පැමිණෙන්නේ සෙබස්ටියන්ගේ ප්‍රණීත ‘විසිට්’ එකත් රැගෙනය. පළාතේ උසස් පොලිස් නිලධාරියාට බන්ධනාගාරයේ නිලධාරින් දක්වන්නේ ඉහළ ගෞරවයකි.

“කාවද සර්ට බලන්ඩ ඕනේ..”

බන්ධනාගාරයේ උසස් නිලධාරියා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට සිය කාර්යාලයේ සුදුසු අසුන් පැනවීමෙන් පසු විමසීමක් කරයි. මෙවැනි බොහෝ අවස්ථාවල දී පොලිස් නිලධාරියා ඇත්ත කතාව බන්ධනාගාරයේ උසස් නිලධාරියාට පවසන්නේ නැත. සමහර විට පරීක්ෂණවලට බාධාවක් වෙතැයි යන සැකයෙන් විය හැක. නමුත් ඇත්ත කතාව පැවසුවා නම් උසස් පොලිස් නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කර දෙන්නට බන්ධනාගාරයේ නිලධාරියා පසුබට නොවනු ඇත.

“අපේ ගමේ කොල්ලෙක් ‘කන්ඩෙම් ෂෙල්’ එකේ වහලා ඉන්නවා. නම සෙබස්ටියන්. මට පැය භාගයක් විතර මිනිහා එක්ක කතා කරන්න තැනක් හදලා දෙන්ඩ පුළුවන්නං හොඳයි. මේ විසිට් එකත් එයාට.” උසස් පොලිස් නිලධාරියාගේ ඉල්ලීම ඒ ආකාරයටම ඉටු කරමින් දෙදෙනාට කැමැති තරමක් වේලා කතා කරන්නට බන්ධනාගාරයේ උසස් නිලධාරියා ස්ථානයක් සකස් කර දෙන්නේය.

උසස් පොලිස් නිලධාරියා සමග රහස් සාකච්ඡාවකට එක්වන සෙබස්ටියන් පරණ පත්‍රවල පළ වී තිබූ මෙම සිද්ධියට අදාළ තොරතුරු උසස් පොලිස් නිලධාරියාට පවසයි. ඒ හැර ඔහු දන්නා වෙනත් ‘මඟුලක්’ නැත. ඔහුට අවශ්‍ය වූයේ රසවත් ආහාර සමග සිරගෙදරට තහනම් භාණ්ඩයක් වන සිගරට් පැකට් කීපයක් ගෙන්වා ගැනීමයි. සෙබස්ටියන් එම උපාය හරහා සිය මනදොළ සපුරා ගත්තේය. කෙසේ වෙතත් සෙබස්ටියන් දුන් සමහර අතීත තොරතුරු පොලිස් නිලධාරියාට අමතක වී තිබෙන්නටත් පිළිවන. ඒ අතරේ සෙබස්ටියන් සූක්ෂම ආකාරයට උසස් පොලිස් නිලධාරියා තවත් ගැටයකට අසු කරයි. ඒ, ප්‍රදේශයේ සිදුවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරමිනි.

“සර්ට හරියටම මම මැසේජ් එක දෙන්නං මුන් කුඩු ගේනකොටම. නාකොටික් එකෙං වගේ පැනලා බෙල්ලෙන්ම අල්ල ගන්ඩ සර්..”

සෙබස්ටියන් සමග කළ සාකච්ඡාවෙන් පසු උසස් පොලිස් නිලධාරියා නික්ම යන්නේ තවත් මෙහෙයුමකට ඔහුගේ සහය ලැබෙන බවට විශ්වාසයක් නගා ගෙනය.

උසස් පොලිස් නිලධාරියා සමග කළ සාකච්ඡාවෙන් ඉක්බිති සෙබස්ටියන් සිර මැදිරිය බලා ගමන් කරන්නේ රෝස් චිකන්, බුරියානි ඇතුළු තවත් ආහාර සෙසු සිරකරුවන් සමග බෙදාහදා ගෙන රස විඳීමේ අපේක්ෂාව ඇතිවය. එපමණක් ද නොව, ඇල්ලූ ඔට්ටුවට අනුව පැය භාගයක් තුළ තමන් ලක්ෂපතියෙක් විණැයි යන උද්දාමයෙන් යුතුවය.

මෙසේ දින දෙකක් පමණ නිහඬව ගෙවී යන්නට ඉඩ හරින සෙබස්ටියන් අනතුරුව තම බන්ධනාගාරය පිහිටි ප්‍රදේශයේ හෝ ඒ අවට සිල්ලරට හෙරොයින් ජාවාරම් කරන පුද්ගලයකුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගනී. පිටත සිටින ​ෙහරොයින් ජාවාරමුන්ගේ ජංගම දුරකතන අංක බන්ධනාගාරයෙන් සොයා ගැනීම කිසිසේත්ම අපහසු නොවේ.

“අපි ‘නාකොටික්’ (මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන්) එ්කෙන් කතා කරන්නේ. උඹ ඩ්‍රග්ස් බිස්නස් කරන බව අපි දන්නවා. අපි එනවා අල්ලන්ඩ හොඳේ. කොහේ හංගලා තිබුණත් කමක් නෑ.. අපි ඒවා හොයා ගන්නවා විතරක් නෙමෙයි..උඹේ හතරහන්දිත් කඩලයි ගෙනියන්නේ.. තේරුණාද..?

සිල්ලර හෙරොයින් වෙළෙන්දා ‘නහයෙන් හඬන්නට’ පටන් ගනී.

“හරි..මට පොඩි හදිස්සියක් තියෙනවා. මේ නොම්මරේට 25000ක් ඊෂිකෑෂ් දාපං..නැත්තං අපි පනිනවා..” නාකොටික් වෙස්ගත් සෙබස්ටියන් නියෝග කරයි. සිල්ලර හෙරොයින් වෙළෙන්දා ඒ මොහොතේම සෙබස්ටියන්ගේ ජංගම දුරකතනයට රුපියල් 25000ක් යොමු කරනු ලැබේ. අදාළ මුදල ලැබුණ විගසම යළිත් සෙබස්ටියන්ගෙන් හෙරොයින් වෙළෙන්දාට දුරකතන ඇමතුමක් ලැබේ.

“අපි හරියටම හැන්දෑවේ 6ත් 7ත් අතරේ ඔය පැත්තට ඇවිත් යන්ඩ එනවා. උඹ දාපු 25000ත් හම්බ වුණා. බඩු ටික ෂේප් එකේ හංගලා තියපං. ප්‍රශ්නයක් වෙන්නේ නෑ..”

හෙරොයින් වෙළෙන්දාගේ බිය සැක තුනී කළ සෙබස්ටියන් අනතුරුව අමතන්නේ තමාව මුණ ගැසෙන්නට කද මල්ලකුත් රැගෙන පැමිණි උසස් පොලිස් නිලධාරියාටය.

“සර්..අද හැන්දෑවේ හරියටම 6ත් 7ත් අතරේ මහර, බෝලවත්තේ නොම්මර 32/4 ගෙදර ඉන්න ‘කොණ්ඩ’ නුවන්ට කුඩු තොගයක් බානවා. ‘නාකොටික්’ එක දාලා අල්ල ගන්ඩ සර්..”

සෙබස්ටියන්ගේ ‘වැදගත්’ ඔත්තුව අනුව උසස් පොලිස් නිලධාරියා අදාළ ස්ථානයට පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ද සමග කඩා පනින නමුත් ‘කොණ්ඩ’ නුවන්ගේ නිවසින් හෝ ඒ අවටින් හෙරොයින් ඇබින්දක්වත් හමු නොවේ. සෙබස්ටියන් පොලිස් ලොක්කාව ද රැවටුවේය. අනතුරුව හෙරොයින් වෙළෙන්ඳාවද රවටා මුදලක් කඩා ගත්තේය. නමුත් මොවුන් දෙදෙනාම රැවටුනේ සිරගෙදර සිටිමින් සෙබස්ටියන් විසින් ඇඹරූ ‘ගුළියකට’ බව දෙදෙනාම නොදනිති.

The post හිර ගෙදරදි අඹරන ගුළි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views