මම පළමුවැනියා වුණා කියලා විමල් තරහ වුණේ නෑ


රියර් අද්මිරාල් සරත් වීරසේකර හිටපු හමුදා ප්‍රධානියෙකි. ඔහු නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානියෙකි. මෙකල ඔහු රටේ කතාබහට ලක් වන්නේ දේශපාලනඥයකු ලෙසය. 2010 මහ මැතිවරණයේදී දිගාමඩුල්ලෙන් තරග කර වැඩිම මනාප ලැබීය. අද රටේ දැඩි විවේචනයකට ලක්වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් එකම මන්ත්‍රීවරයා වූයේද සරත් වීරසේකරය. ඔහු 2015 දී පරාජයට පත් විය. මෙවර මහ මැතිවරණයට කොළඹින් තරග කළ ඔහු කොළඹ ලැයිස්තුවේ හැමදාමත් පළමුවැනියා වන විමල් වීරවංශ අභිභවා පළමු තැනට පත් විය. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ධුරයට පත් වූ ඔහු ප්‍රකටව ඇත්තේ පළාත් සභා ක්‍රමයට දැඩිව විරුද්ධ අයකු ලෙසය. මේ එම කාරණා පිළිබඳ ඔහු සමග ‘සති අග අරුණ’ කළ සාකච්ඡාවකි.

රාජ්‍ය ඇමැතිවරයෙක් හැටියට ඔබට ලැබුණෙ ඔබ අකමැති ම විෂයක් නේද…? ඒක හරියට දෛවයේ සරදමක් වගේ…?

වෙන්න පුළුවන්… ඒත් අපි බැඳිලා ඉන්නවා, අපට ලැබෙන අමාත්‍යංශයේ කටයුතු හොයල බලල හරියට වැඩ කරන්න… ඒ නිසා මම ඒ තනතුර භාර ගත්තා… ඇත්තටම හැමෝම දන්නවා, මට ලැබිල තියෙන්නෙ පළාත් සභා හා පළාත් පාලන ආයතන පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරය… ඒ වුණත් මම එදා ඉඳන් ම පළාත් සභා ක්‍රමය විවේචනය කරපු කෙනෙක්… ඉතින් ඒක දෛවයේ සරදමක් ම තමයි… නමුත් මම මේක හොඳ අවස්ථාවක් කරගන්නවා, පළාත් සභා ක්‍රමය පිළිබඳ හොඳ සමාලෝචනයක් කරන්න… ඒකෙන් බලාපොරොත්තු වුණු දේවල් සිද්ධ වුණාද, එහෙමත් නැත්නං ඒක සුදු අලියෙක් විතරක් වුණාද කියන එක හොයල බලන්න පුළුවන්නෙ… ඊට අමතරව පළාත් පාලන ආයතන 341 ඵලදායිතාව ගැනත් එකින් එක වෙන වෙනම හොයල බලන්න උනන්දු වෙනවා… ඒ මගින් හැම පුංචි නගරයක ම මිනිස්සුන්ට ජීවත්වෙන්න හිතකර වන, කැළි කසළවලින් තොර සුන්දර නගරයක් කරවන්නත් බලාපොරොත්තු වෙනවා…

ඇයි ඔබ ඔය තරමට ම ‘පළාත් සභා ක්‍රමයත්’ එක්ක විරුද්ධ…?

මෙහෙමයි… මේ රට කෑලි 9 කට බෙදාගෙන පාලනය කරන්න තරම් විශාල රටක් නෙවෙයි… ෆෙඩරල් ක්‍රමයට බෙදාගෙන පාලනය කරන ඇමරිකාවෙ ප්‍රාන්ත 50 ක් තියෙනවා… ඒකෙන් කුඩා ම ප්‍රාන්තයත් ලංකාවට වඩා ලොකුයි… ඉන්දියාවත් එහෙමයි… ඉතිං මගේ මතය නං, ලංකාව වගේ පුංචි රටකට බලය බෙදා හැරුණු පළාත් සභා ක්‍රමය කොහෙත්ම ගැළපෙන්නෙ නෑ…

ඇත්තටම කිව්වොත් පළාත් සභා ක්‍රමයත්, ඊට මූලික වුණු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් කියන්නෙ ඉන්දියාවේ ඕනෑකමට අප මත පැටවුණු ‘කුරුසයක්‘ වගේ දෙයක්… මම හිතන්නෙ ඒ ‘කුරුසය‘ තවදුරටත් කරගහගෙන යන්න ඕන නෑ කියලා…

ඔබ ඔය කියන්නෙ 13 වැනි සංශෝධනයත් අහෝසි විය යුතුයි කියල ද…?

ඇත්තෙන් ම මට නං 13 ගැන කිසිම පැහැදීමක් නෑ…

ඒ කියන්නෙ අවුරුදු දෙකක් තිස්සෙ පමා වෙන ‘පළාත් සභා ඡන්දය‘ පැවැත්වීම කෙරෙහිත්, කිසිම උනන්දුවක් නැතුව ඇති…?

දැන් දැන් අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න දෙපාර්ශ්වයේ ම මන්ත්‍රීවරුනුත් කියනවා , පළාත් සභා ඡන්දය තියමු කියලා… මම දන්නෙ නැහැ, ‘පළාත් සභා‘ ගැන ඒ අයට තියන තක්සේරුවෙ තරම… නමුත්, පළාත් සභා සම්බන්ධයෙන් නුදුරු අනාගතේ මම දෙන්න හදන ‘සමාලෝචනය‘ පළාත් සභා ගැන නොදන්නා අයට ‘හුඟක් දේවල්‘ තේරුම් කරයි කියල හිතනවා… අනෙක් අතට අවුරුදු 2 ක් තිස්සෙ පළාත් සභා ඡන්දය නොපැවැත්වුණා කියලා, කිසිම අඩුවක් පාඩුවක් වෙලා නෑනෙ…

13 වැනි සංශෝධනය මගින් ගෙනා ‘පළාත් සභා‘ ක්‍රමයටත් මුලින්ම විරුද්ධ වුණේ ජ.වි.පෙ. අය… ඔවුන් දැනුත් ඉන්නෙ, ඔබ වගේ ම ‘13 අහෝසි කළ යුතුයි‘ කියන ස්ථාවරයේ ම ද…? ඔබ ඇත්තට ම මෑතක ජ.වි.පෙ. එක්ක මේ ගැන කතා කළේ නැද්ද…?

ඇත්තටම මට ඔවුන් එක්ක ‘මේ ගැන‘ කතා කරන්න බැරි වුණා… මං හිතනවා, අදත් ඔවුන් ඉන්නෙ එදා හිටපු මතයෙමයි කියලා… මොකද, එහෙම නොවුණොත් ඒ අය මතවාදීමය වශයෙන් විශාල ‘ප්‍රතිවිරෝධතාවක‘ට යනවා… මට මතක හැටියට පළාත් සභාක්‍රමය ක්‍රියාත්මක වුණායින් පස්සෙ, ‘පළාත් සභාව සුදු අලියෙක්‘ය කියන ‘ප්‍රවාදය‘ ගොඩනැගුවෙත් ඔවුන්…

ඔබ හිතන හැටියට, එහෙම ලේසියෙන් 13 ‘ආපස්සට හරවන්න‘ පුළුවන් ද…? එහෙම කළොත්, ඒ පිටුපස තිබුණු ‘දේශපාලන ඉල්ලීම්‘වලට මොකද වෙන්නෙ…?

මං කලිනුත් කිව්වා වගේ, පළාත් සභා කියන්නෙ ඉන්දියාවෙ වුවමනාවට වුණු දෙයක් මිසක්, ලංකාවෙ මිනිස්සුන්ට ඕනෑ වුණු නිසා අපි විසින් හදාගත්තු දෙයක් නෙවෙයි… ඕනෑනම් පරිපාලනමය වශයෙන් අපට වැදගත්වුණු ගම්සභා ක්‍රමය වගේ ක්‍රම යළි ප්‍රතිෂ්ඨාපනය කරගන්න පුළුවන්…

නමුත් පළාත් සභා වගේ ‘යටි උගුල්‘ආයතන ගැන වද වෙන්න අවශ්‍ය නෑ… යම් විදියකට අපට බලය ‘විමධ්‍යගත‘ කරන වැඩපිළිවෙළකට යන්න පුළුවන්… නමුත් බලය ‘බෙදන්න‘ නං අවශ්‍ය නෑ…

ඔබ කියන හැටියට ‘දෙමළ ජනතාව සඳහා සුවිශේෂී වූ ප්‍රශ්නයක්‘ ඇත්තෙත් නෑ…?

ඇත්තටම ඔවුන්ට ‘වෙනම වූ‘ ප්‍රශ්න තියෙයි කියල මම හිතන්නෙ නෑ… මේ රටේ හැමෝටම තියෙන්නෙ එකම අයිතිවාසිකම් ටිකක්… ලංකාවෙ කවුරුවත් දෙවන පෙළ පුරවැසියො නැහැ… ආර්ථික නිදහස, ආගමික නිදහස, භාෂාවේ නිදහස කාටත් පොදුවෙ තියෙනවා… පිටකොටුවෙ දෙවැනි හරස්වීදියට, හෙට්ටි වීදියට ගියාම, අපිට පේන්නෙ දෙමළ මුදලාලිගෙ ව්‍යාපාර… ඔවුන්ට ප්‍රශ්නයක් තිබුණ නම්, ඒ අයට එහෙම ව්‍යාපාර කරගෙන නිදහසේ ඉන්න බෑනෙ…

‘පළාත් සභා‘ සම්බන්ධයෙන් තිබෙන ඔබගේ ස්ථාවරය, වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්වුණොත්, ඉන්දියාවත් ආපහු අපිත් එක්ක ගැටෙන්න පටන්ගනී නේද…?

අපි මොනතරම් පුංචි රටක් වුණත්, අපිට අපේම වූ ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යාමේ නිදහස තියෙනවා… අනෙක අපේ රජයේ විදේශ ප්‍රතිපත්තිය, නොබැඳි ප්‍රතිපත්තියක්… ඒ වගේම අපි කැමති නෑ, මොන ම රටක්වත් අපේ අභ්‍යන්තර කාරණාවලට ඇඟිලි ගහනවට… ඉන්දියාව වුණත්, ඉන්දියාවෙ අභ්‍යන්තර කාරණාවලට වෙන රටක් මැදිහත්වෙනවට කැමති වෙන එකක් නෑ… දැන් ඉන්දු-ලංකා ගිවිසුම ගත්තත් ලොකු ලොකු ප්‍රශ්න තියනවා… පහුගිය කාලෙ ඉන්දියාවෙ හැසිරීම් ඒ ගිවිසුමට අනුව ම ද සිද්ධ වුණේ…? මේවා බරපතළ කාරණා… අපි දන්නවා ඉන්දියාව කොටි සංවිධානය ශක්තිමත් කරන්න විශාල කාර්යභාරයක් කළ බව… කොටින්ට අවි පුහුණුව පවා දුන්නා… අවසානෙදි ඔවුන්ගෙ අගමැතිටත් ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා… කොහොම වුණත්, මම හිතන්නෙ නැහැ ඉදිරියෙදි ඉන්දියාව ලංකාවට ලොකු ලොකු බලපෑම් කරයි කියලා… කලාපයේ දේශපාලන සම්බන්ධතා පැත්තෙන් ගත්තම ලංකාවත් ඉන්දියාව එක්ක මිත්‍රශීලීව කටයුතු කරයි…

අලුතින් හැදෙන ව්‍යවස්ථාවේ ‘හැඩය‘ කොහොම වෙයි ද…?

හමුදාවෙ 29,000 ක් ජීවිත පූජා කරලා 14,000 ක් ආබාධිත වෙලා රැකගත්ත රට ‘ව්‍යවස්ථාවකින්’ බෙදෙන්න දෙන්න බැහැ… ඒ කියන්නෙ, අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාව රටේ ඒකීයභාවය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් වෙන්න ඕන… ඒවගේම මුළු රටේ ම ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වන ජනාධිපතිවරයාගේ භූමිකාවත්, ඊට අනන්‍ය වූ බලයෙන් සන්නද්ධව තිබිය යුතුයි…

ඔබ පහුගිය දවසක විග්නේෂ්වරන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙ කරපු ‘මංගල කතාවට’ බාධා කරන්න නැඟිටලත්, ආපහු වාඩි වුණා නේද…? ඇත්තට ම මොකද වුණේ…?

විග්නේෂ්වරන් කතා කළේ ජාතිවාදියෙක් විදියට… ඒත් එයාට පාර්ලිමේන්තුව ඇතුළෙ එහෙම කතාකරන්න අයිතියක් නෑ… මම නැගිට්ටෙ ‘ස්ථාවර නියෝග’ අනුව රීති ප්‍රශ්නයක් මතුකරන්න… ඒත් මට ආණ්ඩු පක්ෂයේ මුල් පෙළෙන් ම ඉල්ලීමක් ලැබුණා වාඩි වෙන්න කියලා… මොකද එදා පාර්ලිමේන්තුවෙ පළමු දවස නිසා කතා කළේ පක්ෂ නායකවරුන් විතරයි… ඒ අනුව මම වාඩි වුණා…

නමුත් ඊ ළඟ දවසෙ ‘පරිපූරක ඇස්තමේන්තු විවාදෙදි’ මට කතා කරන්න ලැබුණා… කලින් දවසෙ විග්නේෂ්වරන්ට කියන්න බැරි වුණු දේ එදා මම කිව්වා… විග්නේෂ්වරන් ‘ස්වයංපාලනය’ ඉල්ලන්නෙ පුංචි ළමයෙක් අම්මගෙන් ‘ලොලිපොප් එකක්’ ඉල්ලනව වගේ… අනික එයා උතුරට ‘ස්වයංපාලනයක්’ ඉල්ලන්නෙ දෙමළ ජාතියේ අභිලාෂය අනුව නම්, ඒ තර්කයත් වැරදියි… මොකද දෙමළ ජාතියෙන් 50%කටත් වඩා වැඩි කොටස ජීවත්වෙන්නෙ දකුණෙ… එතකොට උතුරට ‘ස්වයංපාලනයක්’ ලැබීම, සමස්ත දෙමළ ජාති‍යේ ම අභිලාෂය මුදුන්පත් කරනව ද…?

විග්නේෂ්වරන් උතුරේ ප්‍රධාන ඇමැති වෙලා ඉන්න කොට කිව්වා, සිංහලයට උතුරේ ජීවත්වෙන්න අයිතියක් නෑ කියලා… දෙකෙන් එකක් නෑ, විග්නේෂ්වරන් කියන්නෙ ජාතිවාදියෙක්… පාර්ලිමේන්තුවෙදි ඒ වගේ ජාතිවාදීන්ගේ අදහස් එක්ක ගැටෙන්න මම මොහොතකටවත් පැකිලෙන්නෙ නෑ…

ඔබ මෙවර පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ, කොළඹ දිස්ත්‍රික්කයෙන්… කලින් වතාවක් අම්පාරෙනුත් ආවා… ?

මට ජනාධිපතිතුමා තමයි, කොළඹින් තරගවදින්න ආරාධනා කළේ… එතුමා කිව්වා, මට ගැළපෙන්නෙ කොළඹින් ඉල්ලන එක කියලා…

ඔබ ‘පැරෂුට්’ එකෙන් කොළඹට බැහැලා, එතෙක් මෙතෙක් තිබුණු ‘විමල් වීරවංශගෙ මනාප වාර්තාවත්’ කැඩුවා…?

අනේ… මම එහෙම හිතාගෙන ආවෙ නෑ… නමුත් මම මනාප ලැයිස්තුවේ අංක 1 ට ආවා… විමල් වීරවංශ ඇමැතිතුමා මට සුබ පැතුවා… අපි අතර කිසිම අමනාපයක් නෑ…

මම මගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යනකොටත්, කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කරපු හැමෝම මට උදව් කළා… මම කඩුවෙල රැස්වීම් කරනකොට, විමල් ඇමතිතුමා ගොඩක් උදව් කළා… කැස්බෑවෙ රැස්වීම්වලට ගාමිණී ලොකුගේ ඇමතිතුමා උදව් කළා… හෝමාගම රැස්වීම්වලට බන්දුල ගුණවර්ධන ඇමතිතුමා උදව් කළා…

ඔබ හිතන්නෙ, ඔබ කොළඹින් අංක 1 ට ආවෙ කොහොම ද…?

මම දන්නවා මට ඡන්දෙ දුන්නු මිනිස්සුන්ගෙන් 75%ක් විතරම මාව එච්චර දන්නෙවත් නෑ… ඒත් ඒ අය මගේ සෘජු දේශපාලන ප්‍රතිපත්ති එක්ක අනන්‍ය වුණා…

විශේෂයෙන් 19 වැනි සංශෝධනයට අත උස්සපු නැති එකම මන්ත්‍රීවරයා වුණේ මම… ඒ වගේම ජිනීවාවලදි ලංකාවට එරෙහිව ගෙනා යුද අපරාධ චෝදනාවලට එරෙහිවීම හින්දත් මිනිස්සු මං ගැන පැහැදීමක් ඇතිකරගෙන තියෙන්න ඇති… අනික, මං හොඳටම දන්නවා, මට ඡන්දෙ දුන්නු කිසි කෙනෙක්, රස්සාවක්, ස්ථාන මාරුවක්, ළමයකුට ඉස්කෝලයක් බලාගෙන ඡන්දෙ දුන්නෙ නෑ… ඒ අය මට ඡන්දෙ දුන්නෙ, ඊට වඩා බරපතළ ජාතික වගකීමක්, මගේ උර මත පටවලා… කවරදාවත් ‘ඒ ගිවිසුම’ මගේ අතින් කඩ වෙන්නෙ නෑ… මට ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන්…

ජනාධිපතිවරයා, හිටපු හමුදා නිලධාරියෙක්… ඔබ වැනි ‘හිටපු හමුදා නිලධාරියෙක්’ මේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයටත් ඇතුළත් වෙනවා… ඊට අමතරව අමාත්‍යංශ ලේකම් තනතුරු වලටත් ‘හිටපු හමුදා නිලධාරීන්’ පත්වෙලා තියෙනවා… මේ ආණ්ඩුව තුළ ‘සියුම් හමුදාකරණයක්’ තියෙනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා නේද…?

එක්තරා යුගයක මේ රටත්, රටේ මිනිස්සුත් බේරගත්තෙ මේ රටේ ත්‍රිවිධ හමුදාව… ඒ අය ඒක කළේ, තමන්ගෙ ජීවිත පරදුවට තියලා… හැබැයි, එදා නං කවුරුවත් ‘හමුදාකරණයක්’ ගැන කතා කළේ නෑ… ගංවතුරක්, නාය යාමක් වෙලා ජනතාව පීඩාවට පත්වෙනකොට, ඔවුන් බේරාගත්තෙ අපේ හමුදාව… එතකොටත් කවුරුවත් ‘හමුදාකරණයක්’ ගැන කතා කළේ නෑ…

එතකොට හමුදාවෙ හිටපු නිලධාරීන්, සෙබළුන් යුද්ධෙන් පස්සෙ ‘ආබාධිත’ වෙන එක විතරද සාධාරණ…? ඒ අයට හැකියාව තියෙනව නම්, ජන වරමක් තියෙනව නම්, අනෙකුත් සුදුසුකම් සියල්ලමත් තියෙනව නම්, ඒ අය දේශපාලනයට ඒම ‘හොඳ නැති’ වෙන්නෙ කොහොම ද…?

The post මම පළමුවැනියා වුණා කියලා විමල් තරහ වුණේ නෑ appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views