නිරෝධායන නිවෙස්වලට විශේෂ දැන්වීමක් අලවයි

කොවිඩ් වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක් කරන නිවෙස් වල සෞඛ්‍ය බලධාරීන් විසින් අලවන ලද දැන්වීමට අමතරව තවත් විශේෂ දැන්වීමක් ඇලවීමට තීරණය කොට ඇතැයි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම දැන්වීම නිරෝධායන හා රෝග වැළක්වීමේ ආඥා පනත යටතේ පොලිස්පතිවරයාට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෙගුලාසියේ 37 වන වගන්තිය ප්‍රකාරව කරන ලද බලතල වලට අනුව සිදු කරන ලද නියෝගයක් බවයි අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියේ.

එමෙන්ම, මෙකී නියෝගයට අනුව කිසිඳු ආකාරයකින් නිවෙසින් බැහැර වීම හෝ නිවසට පිටස්තරයින් ඇතුළුවීම තහනම් වන අතර එය වරදක් වේ. එම අලවන ලද දැන්වීමේ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, ග්‍රාම නිලධාරී, යුධ හමුදා නිලධාරී දුරකථන අංක ඇතුළත් වේ. ඒ අනුව, යම් කිසි අවශ්‍යතාවයක් තිබේනම් මෙකී දුරකථන අංක අමතා අවශ්‍යතාවය සඳහන් කර සහන ලබා ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

මෙකී නියෝගයට පටහැනිව ක්‍රියාකරන්නන් හට නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කරන බවත්, නිශ්චල හෝ චංචල දෙපොළක් මුද්‍රා තැබීමට සහ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවත් පැවසුවා.

එකී නිරෝධායනයට ලක් කොට ඇති එහෙත් COVID-19 රෝග ලක්ෂණ නොමැති අයවලුන් හට ඉතාම හදිසි අවස්ථාවක දී වෙනත් රෝගයන් සඳහා පමණක් රෝහලක් වෙත යා හැකි වුවද පිටතට යාම හෝ එම නිවසට පිටස්තරයින් ඇතුළු වීම සිදු නොකළ යුතු බවයි පැවසෙන්නේ,

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 37 ක්, කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 05 ක්, කොළඹ ප්‍රදේශයේ පොලිස් වසම් 19 ක් සහ කළුතර ප්‍රදේශයේ පොලිස් වසම් 03 ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳිරිනිතිය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල සංචරණය සම්පුර්ණයෙන්ම සීමා කෙරෙන අතර එම ප්‍රදේශ වල යම් කිසි දැනුම් දීමකින් පසු කඩසාප්පු විවෘත කිරීමේ දී අවශ්‍යම කාරණාවකට හැරෙන්නට නිවසෙන් බැහැරව නොයන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post නිරෝධායන නිවෙස්වලට විශේෂ දැන්වීමක් අලවයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views