විකිරණ පතුරන වැලි


ඛනිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසුව අලෙවි කරනු ලබන වැලිවල විකිරණශීලීත්වයක් ඇති බව සොයාගෙන තිබීම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.

පොළොවේ ඇති පාෂාණ දිරාපත් වී පස සෑදෙයි. මෙම පාෂාණ සෑදී ඇත්තේ කුඩා ඛනිජ අංශු මගිනි. මෙම ඛනිජ සමඟ සෑදෙන වැලි සහ මැටි වර්ෂාවත් සමඟ පස සේදී යාමෙන් ගංඟාවල තැන්පත් වී මැටි යටටම ගොස් මෙම වැලි ගංඟාවල ඉතිරි වේ. මෙම වැලිවල දිරාපත් නොවන ඛනිජ, දිරාපත් වන ඛනිජ, වටිනා ඛනිජ, නොවටිනා ඛනිජ ආදී සියලුම දේ අන්තර්ගත වේ. මෙය වසර ගණනාවක් මුළුල්ලේ ගංඟාවල් ඔස්සේ පහළට ගොස් මුහුදට එකතු වේ. මුහුදු රළට මෙය නැවත නැවතත් චක්‍රීයකරණය වෙමින් බර ඛනිජ මුහුදු වෙරළේ තැන්පත් වේ. ඛනිජ වැලි නිධි ලෙසින් හඳුන්වන්නේ මෙම කොටසයි.

ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ කිලෝමීටර් එක්දහස් හයසීයක් පවතී. එයින් කිලෝමීටර් හාරසීයක පමණ ප්‍රමාණයක ඛනිජ වැලි පවතී. මේවා ඉතාමත් වටිනා ඛනිජ නිධි වේ.
1957 වසරේදී එකල පැවැති රජය පළමුවෙන්ම මෙය ආර්ථික වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි ඛනිජ යැයි නිගමනය කළ අතර, පසුව 1961 වසරේදී පනතක් සම්මත කර ඛනිජ වැලි සංස්ථාව බිහි කළේය. මෙම ඛනිජ වැලි සංස්ථාව මගින් ජපන් රටට අප රටෙන් ටොන් දෙදහස් අටසීයක ඛනිජ වැලි අපනයනය කෙරුණි. එය ඉතාමත් අනර්ඝ තත්ත්වයේ පැවැති ඛනිජ වැලි ප්‍රමාණයකි. මේ නිසාම ජපන් රටෙන් ආධාර ඇතිව පුල්මුඩේ ඛනිජ වැලි පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කෙරිණි.
ගඟෙන් ගලාගෙන එන ඛනිජ වැලි මුහුදෙන් නැවත වතාවක් පිරිසුදු වූවාට පසුව එම ඛනිජ වැලිවල ඉල්මනයිට් 60, රූටයිල් 10, සර්කෝන් 4, ගාලට් 4සහ මොනොසයිට් 0.3ක් අන්තර්ගත වෙනවා. ඉතිරි ප්‍රමාණයට අන්තර්ගත වන්නේ සාමාන්‍ය සුදු වැල්ලයි. මේ අනුව මෙය ඉතා හොඳ පොහොසත් ඛනිජයක්. පිරිපහදු කිරීමෙන් වටිනා ඛනිජ වෙන්කර ඉතිරි වන අපද්‍රව්‍ය වැලි හැටියට ඉවත් කරනවා. නමුත් කළ යුතුව තිබුණේ මෙසේ ඉවත් කරන වැලි නැවතත් පිරිපහදු කිරීම සඳහා මුහුදට එක් කරලීමයි. නමුත් ඒ ඉවත් කරන වැලි මුදල් කරලීම සඳහා මොවුන් එය විකුණනු ලැබුවා. යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න දේශයට අදහස් දක්වමින් පැවසීය.

මෙම ඉවත් කළ වැලිවලට ද හොඳ ඉල්ලුමක් පැවතිණි. පෞද්ගලික අංශයට ඉඩ දීමත් සමඟ එම ඉවතලන වැලි නැවතත් පිරිපහදු කර ඔවුහු නැවත විකිණූහ. මෙය රජයේ මැදිහත් වීමෙන් කළ යුතුව තිබුණි. ව්‍යාපාරයක් වුවද පෞද්ගලික අංශය වැඩි වශයෙන් මෙයට අතගසා තිබිණි.

1978 පත්වූ රජයත් සමඟ සංස්ථා රාජ්‍ය සමාගම් ලෙස නම්කර වෙළෙඳ ආයතන බවට පත් කරනු ලැබීය. එම සමාගම යටතේත් ඛනිජ වැලි අපනයනයෙන් විශාල ලාභයක් ලංකාවට ලැබුණු අතර මිලියන සියයේ සිට මිලියන පන්සීය දක්වා රජයට ආදායමක් ද ලැබිණි.

 

1968 වසරේදී පුල්මුඩේ යන්ත්‍ර සූත්‍ර සවිකෙරුණත් ඒවා නැවත අලුත්වැඩියාවක් සිදු වුණේ නැහැ. ඛනිජ වැලි පිටරටට ආපනයනය කළත් එන්න එන්නම මේ උපකරණ අභාවයට ලක් වුණා. කිසි දියුණුවක් සිදු වුණේ නැහැ. මේ නිසා කල් යත්ම පිරිපහදු කිරීම් එන්න එන්නම පහළ වැටී වැඩි කොටසක් අපද්‍රව්‍ය වැලිවලට එකතු වුණා. යන්ත්‍ර සූත්‍රවල අකාර්යක්ෂමතාවය නිසා එම වැල්ල මුහුදෙන් ගනු ලබන වැල්ලට වඩා හොඳ වැලි තත්ත්වයට පත් වුණා. මේ නිසා පෞද්ගලික සමාගම්වලට මෙය ලාභ ලැබෙන අලුත් ඉල්ලමක් වුණා. යැයි ද මහාචාර්ය අතුල සේනාරත්න වැඩිදුරටත් දේශයට පැවසීය.

ලංකාවේ මෙය ගනු ලැබුවේ එක් සමාගමක් පමණි. මෙම සමාගම මගින් ඔවුන්ගේම සමාගමක් දඹුල්ලේ ඉදි කෙරුණි. මුහුදෙන් ලබාගන්නා වැලිවලට වඩා පුල්මුඩෙන් ඉවත් කර ගොඩගසා ඇති වැලි දඹුල්ලට ගෙන නැවත පිරිපහදු කර ලබාගැනීමෙන් ඔවුහු විශාල ආදායමක් ලබා ගත්හ. දඹුල්ල පිරිපහදු කිරීමේදීත් ඉහත සඳහන් කළ සංඝටක පහම ද අන්තර්ගතව පවතී.

2016 දී මේ සම්බන්ධව රජය මගින් අධ්‍යයනයක් සිදු කෙරුණි. එයට ප්‍රධාන හේතුව වූයේ හොඳ ආදායමක් ලැබූ මෙයින් ඒ වන විට ලැබෙන ආදායම පහළ වැටීමට හේතු සෙවීමය. අවසානයේ දී ඉතිරි වන මෙම ඛනිජ ඉතා විකිරණශීලීය. සර්කෝන් සංඝටකයට වඩා මොනොසයිට් සංඝටකය ඉතා විකිරණශීලීය. මේ අනුව මුල් කාලයේ ඉතා ඉහළ ආදායමක් රජයට ලැබිණි. පසු කාලය වන විට ආදායම එන්න එන්නම අඩු විය. එයින් වැඩි ආදායමක් ලැබුවේ මෙම පෞද්ගලික සමාගම විසිනි. රාජ්‍ය සමාගමක් පාඩු ලබද්දී පෞද්ගලික සමාගමක් ඩොලර් මිලියන ගණනේ ලාභ ලබා තිබුණි.

රජයේ සමාගම පාඩු ලැබීමට යොමුකොට මෙම පෞද්ගලික සමාගමට අතිශයින් ලාභ ගැනීම සඳහා ප්‍රබල දේශපාලනඥයකුගේ මඟපෙන්වීම තිබුණි. එමෙන්ම මේ සම්බන්ධව වක්‍රව ද තවත් දේශපාලනඥයෝ කිහිප දෙනෙක් ද හවුල් ව සිටිති.
දඹුල්ල ප්‍රදේශයේ මෙවැනි පිරිපහදු කිරීමේ සමාගමක් ඉදිකිරීමට යාමේදී ද ඒ සඳහා ගැටලු මතු විය. එයට දඹුල්ල විහාරයේ සිට මීටර් පන්සීයක දුරක් නොවුණි. එවැනි කර්මාන්තයක් සඳහා මෙපමණ දුරක් ප්‍රමාණවත් නොවීය. නමුත් ඒ මොහොතේදීද තවත් ප්‍රබල දේශපාලනඥයකු මෙයට මැදිහත් වී තම බලපුළුවන්කාරකමින් මේ සඳහා අවසරය ලබා දී තිබුණි.

පසුගිය කාලයේ දී එම දඹුල්ල ආයතනය අවට ජනතාව ඔවුන්ගේ ශරීරවල කලක සිට කුෂ්ඨ රෝග ඇතිවන බවටත් සුළඟත් සමඟ නිවෙස්වලට වැලි ගසාගෙන එන බවටත් චෝදනා කළහ.
මේ සම්බන්ධව අධ්‍යයනයක් කරන්නැයි මට යෝජනා වුණු නිසා මම ඒ ආයතනයට ගියා. එහිදී වැලි කඳු බොහොමයක් ගොඩනැගී තිබුණා. සුළඟත් සමඟ ස්වල්ප වශයෙන් වැලි ගසාගෙන යනවා. ඒක ඇත්ත. එම වැලි දූවිලිත් සමඟ නාසයට යාමෙන් පෙනහැල්ලේ තැන්පත් වෙන්න පුළුවන්. එහි විකිරණශීලී බව මැනීම සඳහා මම විකිරණශීලී මැනීමේ උපකරණ රුගෙන ගියා. ඒ වගේම මම කරන ක්‍රියාවේ සාක්ෂියක් ලෙස එය වීඩියෝ කරන්න මට පුළුවන් වුණා. මැනීමේදී එම උපකරණයෙන් මැනීමට බැරි තරම් ඉහළට විකිරණශීලීත්වය තැනින් තැන පෙන්නුම් කළා. ඒ සෑම තැනකදීම මම නියැදි අරගෙන ආවා. මේ සම්බන්ධව පරීක්ෂා කොට එම වාර්තාව අමාත්‍යාංශයෙන් පත් කර ඇති කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා යැයි මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙහි අධික විකිරණශීලීත්වයක් ඇති ඛනිජ පවතී. පුල්මුඩේ පිහිටි ඛනිජ පිරිපහදුව අභාවයට යන විට දඹුල්ල පිරිපහදුව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේ. මේ සියලුම දේ සම්බන්ධව අධ්‍යයනයක් කරගෙන යන අතර නොබෝ දිනකින් ඒ වාර්තාව රජයට ලබා දීමටත් නියමිතය.

The post විකිරණ පතුරන වැලි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views