බලයක් නැති ගැසට්ටුවකින් හැදූ බවකියන එෆ්.සී.අයිඩිය


“බලයක් නැත්නම් බලයක් නෑ” හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) පිළිබඳ මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. ඒ අනුව පොලිස් ආඥා පනතට අදාළව පොලිස්පතිවරයාට අලුතින් පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට බලයක් නොමැති නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් FCIDය පිහිටුවීමේ ගැසට් නිවේදනය ද නීත්‍යානුකූල නොවන බව වික්‍රමසිංහ මහතා පිළිගත්තේය. ඔක්තෝබර් 16 වැනිදා හිටපු අග්‍රාමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශයට බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. 

යහපාලන ආණ්ඩු සමයේ දැඩි සමාජ අවධානයක් දිනාගත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ශ්‍රී ලංකා පොලිස් සේවයේ විෂය පථය යටතේ 2015 පෙබරවාරි 26 දින පිහිටුවන ලද්දකි. එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග විසින් මෙම ආයතනය  පිහිටවූ  අතර ඊට නායකත්වය දෙනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකර මහතාය. රජයේ ආදායම අස්ථාවර කිරීමට හේතු වූ මහා පරිමාණ දූෂණය සම්බන්ධව මෙම ආයතනය විසින් විමර්ශන මෙහෙයවන ලදී.

2015 දී ශ්‍රී ලංකා රජය දූෂණයට එරෙහිව ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටීමෙන් පසුව FCID නිලධාරීහු එක්සත් රාජධානියේ බරපතළ වංචා කාර්යාලයෙන් පුහුණුව ද ලබා ගත්හ. කෙසේ වෙතත් මෙම ආයතනයට හිමි බලය පිළිබඳව එම වකවානුවේ ද ඇති වූයේ ආන්දෝලනයකි.  නීතිපතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුමැතිය ලබානොගෙන ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට සිවිල් වැසියන්, රජයේ සේවකයන් සහ ව්‍යවස්ථාදායකයන් අත්අඩංගුවට ගැනීමට FCID හට බලතල ඇති බව කියැවිණි. වැඩිදුර නඩු විභාග වන තෙක් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයකින් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ හැකියාව ද ඔවුන් සතු විය. එම නිසාම මෙම ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එවක විපක්ෂයේ දැඩි විවේචන එල්ල විය.

කෙසේ වෙතත් FCIDය පිළිබඳ වර්තමාන කතාව දිගහැරෙන්නේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වත්මන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා යොමු කළ  පැමිණිල්ලකට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේය. එහිදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව හිටපු අගමැතිවරයාගේ අවධානයට යොමු කරමින් පැමිණිල්ලේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ, පොලිස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවෙන් මගපෙන්වීම ලබා දී තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට බවය. එහෙත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම් විසින් නොව පොලිස්පතිවරයා විසින් බව නීතිඥවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ බලය ඇත්තේ පොලිස්පතිවරයාට බවය. අනතුරුව පැමිණිල්ලේ නීතිඥවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාට පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උපුටා දක්වමින් අදාළ වගන්තිය යටතේ පොලිස්පතිට වෙනත් ඒකකයක් පිහිටුවීමේ බලයක් ලබා දී නොමැති බව පෙන්වා දී තිබේ. එවිට “ඒගොල්ලො කියන්නේ පොලිස්පතිවරයාට පොලිස් කොට්ඨාස පිහිටුවන්න පුළුවන් කියලයි. නමුත් අපේ කැබිනට් පත්‍රිකාවේ කොට්ඨාස පිහිටුවීම ගැන කියලා නැහැ, දූෂණ සම්බන්ධයෙන් ලේකම් කාර්යාලයක් පිහිටුවීම ගැන පමණයි සඳහන් වෙන්නේ,” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා අවධාරණය කර ඇත්තේ පොලිස්පතිවරයා තමාට නැති බලයක් යටතේ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බවය. ඒ අවස්ථාවේ දී  “ඒක මම දන්නේ නැහැ. මට මතකයි මේගොල්ලො වාර්තා කළා ලේකම්තුමාට මේක කරන්න බලයක් නෑ, පොලිස්පතිතුමාට පමණයි මේක කරන්න බලයක් තිබ්බේ කියලා.” යනුවෙන් හිටපු අගමැතිවරයා සඳහන් කර තිබේ.

එම අවස්ථාවේ දී පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටවූ බවට ගැසට් නිවේදනයේ සඳහන් වන නමුත් එම වගන්තියෙන් එවැනි බලයක් ලබා දී නොමැති බව පැමිණිල්ලේ නීතිඥවරයා ද පෙන්වා දී ඇත. “බලයක් නැත්නම් නැහැ” යනුවෙන්  හිටපු අගමැතිවරයා පිළිතුරු දී ඇත්තේ එවිටය.

මෙම පිළිතුරත් සමඟ FCIDය පසුගිය කාලය පුරා කළ කී දෑ පිළිබඳව මේ මොහොතේ ඇති වී ඇත්තේ දැඩි ආන්දෝලනයකි. බැසිල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ ආදී දේශපාලනඥයන් රැසක් ඉලක්ක කරගෙන යහපාලන රජය සමයේ FCID විමර්ශන සිදු විය. එසේම දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු විය. මේ අතර 2016 වසරේ දී මෙම ආයතනය නීත්‍යානුකූල නොවන බවට තර්ක ඉදිරිපත් වූයේ ඇමැති විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ යන අය රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අවස්ථාවේදීය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරක්ෂක ලේකම්වරයා විසින් ස්ථාපිත කරන ලද පොලිස් ඒකකයක් නොවන බවට තර්ක කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් පරීක්ෂණ මෙහෙයවීමට අදාළ පොලිස් ඒකකයට නීත්‍යානුකූල බලයක් නොමැති බව ඔහුගේ නීතිවේදියා අධිකරණයට පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් එදා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස් ආඥා පනත යටතේ ස්ථාපිත කළ නීත්‍යානුකූල ආයතනයක් බවය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ FCIDය විවිධ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට දැරෑ උත්සාහයන් ව්‍යාර්ථ වූ බව සිහිපත් කළ යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද මෙවැනිම තර්ක FCIDයට එම වකවානුවේ ඉදිරිපත් විය. කෙසේ වෙතත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව විධිමත් විමර්ශනයක් හෝ තීරණයක් එම වකවානුවේ දී නොලැබිණි. එහෙත් වර්තමානයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තර්ක විතර්ක නැවත මතුවෙමින් තිබේ. අපි ඒ පිළිබඳ නීති මත විමසීමකට ද උත්සුක වීමු.

එෆ්.සී.අයිඩිය සීමිත පිරිසකගේ අවශ්‍යතාවයකට පිහිටුවූ එකක්

අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා 

ලංකාවේ නීතියට අනුව අපරාධ නීතිය යටතේ යම් ආයතනයක් ස්ථාපිත කරනවා නම් පනත් කෙටුම්පතකින් එය සම්මත වෙලා බලය පැවරීම සිදුවිය යුතුයි. එසේ නොමැතිව යම් අයකුගේ අභිමතය පරිදි ආයතනයක් ස්ථාපිත කරනවා නම් ඒක වැරදියි. නමුත් යම් සීමිත පිරිසකගේ අවශ්‍යතාව පරිදි තමා FCIDය කියන මෙම ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ.

මේ සම්බන්ධව සාකච්ඡාව ආරම්භ වන්නේ පසුගිය රජය දේශපාලන කරුණු මත ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී. එම අවස්ථාවේ දී FCID ආයතනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගැටලු සහගත තත්ත්වයක් ඇතිවන බව සඳහන් වුණා. ඒ මත එම නඩු සම්බන්ධව පැහැදිලි තීන්දුවක්  ලබා නොදුන් අතර ඒවායේ ක්‍රියාපටිපාටින් අත්හිටුවීමක් සිදු කරනු ලැබුවා.

පොදුවේ මෙහිදී මතු වූ කරුණ තමයි මෙම ආයතනය නීතිමය ක්‍රියාපටිපාටියක් තුළ ස්ථාපනය කරන ලද්දක් නොවන බව. මේ ආයතනය පාලනය කළේ පොලිස්පතිතුමා නෙවෙයි. අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වුණු වෙනම කණ්ඩායමක්. මේ අය නීතිමය තත්ත්වයන් කල්පනා කළේ නෑ. එක් එක් පුද්ගලයන්ට විවිධ දූෂණ වංචා පිළිබඳ නඩු පැවරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව විතරයි ඒ පිරිසට තිබුණේ.

බැසිල් රාජපක්ෂ සම්බන්ධව තිබුණු නඩුවලට අපි සහභාගි වුණා. මේ අය පක්ෂග්‍රාහීව සහ අභිමතය පරිදි තමා හැසිරුණේ. බැසිල් රාජපක්ෂ විදේශගතව ඉඳලා මේ විමර්ශනවලට සභභාගි වෙන්න ලංකාවට පැමිණියා. ඒ වුණත් හුදෙක් ප්‍රසිද්ධිය සඳහා අගමැති යටතේ පැවති කමිටුවේ නිර්දේශ පරිදි හිතූ හිතූ දේ කළා. නමුත් දැන් මේ ආදී ක්‍රියාවලීන් සම්බන්ධව මේ දේවල් සිදු කළ පිරිස පහළ සිට ඉහළට පාපොච්චාරණය කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයත් මුල් අවස්ථාවේදීම මෙහි බලය සම්බන්ධව නිගමනයකට එළඹුණා නම් මෙහි තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අවස්ථාවේ දී සිය මූලික යුතුකම ඉටු කළා. අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කළා. ඒ අදාළ අවස්ථාවට අදාළව. එහෙත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඒ සෑම නඩුවකම වැදගත් ස්ථාවරයක් ගනු ලැබුවා. මේ ආයතනය පිහිටුවලා තියෙන්නේ නීත්‍යානුකූල පදනමකින් තොරව. පොලිස්පතිතුමාට ඕනෑ ඕනෑ විදිහට ආයතන පිහිටුවන්න බෑ.
හිටපු අග්‍රාමාත්‍යතුමා දැන් බලයක් නෑ කියලා පිළිගත්තාට සියල්ල වෙනස් වෙන්නේ නෑ. ප්‍රායෝගිකව දැන් කරන්න පුළුවන් දේ තමා අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුවලට මෝශන් පත්‍රයක් ඉදිරිපත් කරලා රිට් නියෝගයක් ගන්න ඕනෑ බලයක් නැතිව ක්‍රියා කිරීම සම්බන්ධව. ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න ඕන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන පරිදි මේ අය ක්‍රියා කරලා තියෙන්නේ බලයක් නැතුව කියලා.

එෆ්.සී.අයිඩිය නීත්‍යානුකූල නැත්නම් ඒකෙන් කළ දේවලුත් නීත්‍යානුකූල නෑ

ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්

සාමාන්‍යයෙන් අපේ නීතියේ මූලික දර්ශනය තමයි යම්කිසි දෙයක මූලය පදනම නීත්‍යානුකූල නැත්නම් ඒ තුළින් මතුවෙන සියලුම දෑ නීත්‍යානුකූල නැහැ කියන එක. මෙතැනදී FCID කියන්නේ පොලීසියට අයත් එක් කොට්ඨාසයක්. නාකොටික්, අල්ලස් දූෂණ වගේ ඒකකයක්.

උදාහරණක් විදිහට අනෝමා පොල්වත්ත කියන නඩුව දක්වන්න පුළුවන්. එතැනදී කියනවා අල්ලස් කොමිසම නියම විදිහට ස්ථාපිත වෙලා නෑ තුන් දෙනාගෙන් එක්කෙනයි අත්සන් කළේ කියලා. අන්න ඒ පදනම මතම තමා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නඩු ඉවත් කරනු ලැබුවේ. ඒ අනුව පෙනී යනවා දැනට තීරණය කරලා තියෙන්නේ ආයතනයක් නිවැරදිව ස්ථාපිත කරලා නැත්නම් ඊට නීත්‍යානුකූල පිළිගැනීමක් නැති බව.

මූල්‍ය  අපරාධ කොට්ඨාසය කියන  ආයතනය නීත්‍යානුකූල නැතිනම් ඒ හරහා සිදුකළ කිසිවක් නීත්‍යානුකූල නොවන බව මේ අනුව පෙනී යනවා. මේ වෙද්දී තර්කයක් තියෙනවා ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු මේ පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නැහැයි කියලා. ඒකත් මේ පදනම මතම ඇතැම් නීති විශාරදයන් මතු කරන තර්කයක්.

FCIDය නීත්‍යානුකූල නැහැ කියලා හිටපු අගමැතිතුමාම කියනවා නම් ඒ හරහා සිදු වූ දේවල් නීත්‍යානුකූල වෙන්න බෑ. කොහොම වුණත් මේ ප්‍රකාශය සිද්ධ වෙන්නේ කොමිසමක් තුළ. ඒ අය ලබා දෙන්නේ නිර්දේශ. කොහොම වුණත් අගමැතිතුමාගේ ප්‍රකාශ දැනට ප්‍රමාණවත් කියලයි මගේ අදහස. මේ සම්බන්ධව අධිකරණයේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.

කොහොම වුණත් කොමිෂන් සභාව අවසානයේ අපිට ලැබෙන්නේ නිර්දේශයක්. ඒ මත පිහිටලා කාට හරි නඩුවකදී මේ තර්කය ඉදිරිපත් කරන්න වෙනවා. දැන් වුණත් FCIDය හරහා කාටහරි විරුද්ධව තියෙන නඩුවකට මේ තර්කය ගන්න හැකියාවක් තිබෙනවා. ඉන් පසුවයි අධිකරණ තීන්දුවක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ.

The post බලයක් නැති ගැසට්ටුවකින් හැදූ බවකියන එෆ්.සී.අයිඩිය appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views