ආසියානු චෙස් ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා කාන්තා පිල හත්වැනි තැනට

කොරෝනා වසංගතය හමුවේ ඔන්ලයින් ක‍්‍රමයට පැවැති ආසියානු චෙස් ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා කාන්තා පිල හත්වැනි ස්ථානයට පත්විය. අදාළ තරගාවලිය වෙනුවෙන් රටවල් 31 ක් තරග වැදුන අතර එහිදී ශ‍්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටයේදී පිලිපීනය හමුවේ 3.5/0.5 ක් වශයෙන් පරාජයට පත්වීමට ශ‍්‍රී ලංකාවට සිදුවිය. අදාළ ස්ථානය ශ‍්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායමක් ඉතිහාසයේ ලද ඉහළම දක්ෂතාව වශයෙන් සටහන් වේ. මෙම තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලූම සාමාජිකාවන් තවමත් පාසල් වයසේ සිසුවියන් වීම විශේෂත්වයකි.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට ඉන්දියාව, පිලිපීනය, ඉරානය, වියට්නාමය,

මොන්ගෝලියාව, ඉන්දුනීසියාව, කර්ගිස්තානය සහ

ශ‍්‍රී ලංකාව සමත් විය. අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමේදී ශ‍්‍රී ලංකා පිල විසින් කුවේට්, පලස්තීනය, සිරියාව සහ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම් පරාජයට පත්කිරීමට සමත් විය. කර්ගිස්තානය සහ සිංගප්පුරුව අතර තරග ජය පරාජයෙන් තොරව අවසන් කරගත් ශ‍්‍රී ලංකාව කසකස්තානයට සහ ලෙබනනයට පරාජය විය.

කාන්තා අංශයේ පළමු ස්ථානයට පත්වීමට ඉන්දියානු කණ්ඩායම සමත් වු අතර දෙවැනි ස්ථානය පිලිපීනය විසින්ද තෙවැනි ස්ථානය ඉරානය විසින්ද දිනා ගන්නා ලදී. වියට්නාමය සහ

මොන්ගෝලියාව පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි තැනට පත්විය. ශ‍්‍රී ලංකාවට පහලින් හයවැනි තැනට ඉන්දුනීසියාව පත්විය.

තරගාවලියට සහභාගි වු ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම රටවල් 38 ක් අතරින් 18 වැනි තැනට පත්විය. ශ‍්‍රී ලංකා පිරිමි පිල බංග්ලාදේශය, ටජිකිස්තානය සහ කර්ගිස්තානයට පරාජය විය. එම තරගාවලියේදී ඉරානය, පිලිපීනය, මොන්ගෝලියාව, ඔස්ටේ‍්‍රලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, කසකස්තානය සහ සිංගප්පුරුව යන රටවල් අවසන් වටයට පැමිණීමට සමත් විය.

පිරිමි තරගාවලියේ පළමු ස්ථානයට ඉරානය පත්වු අතර පිලිපීනය දෙවැනි තැනටත් මොන්ගෝලියාව තෙවැනි තැනට පත්විය. ඔස්ටේ‍්‍රලියා සිව්වැනි තැනට සහ ඉන්දුනීසියාව පස්වැනි තැනට පත්වු අතර ඉන්දියාව හය වැනි තැනට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views