ස්විට්සර්ලන්ත තානාපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක්

ආයෝජන, අපනයන, සංචාරක සහ කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද සාකච්ඡා කර තිබෙනවා.

ඒ අද අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදීයි.

පැහැදිලි නීති පනවමින් හා ඒවා බලාත්මක කරමින් රජය කොවිඩ්-19 වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව තානාපතිවරයා මෙහිදී අගය කර තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම හා රට අගුලු දැමීම සියලු දෙනාටම ඉතා අසීරු කාරණාවක් වුව ද සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන් බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසයට එරෙහිව කටයුතු කරන ආකාරය අගය කරන බව පැවසූ තානාපතිවරයා, මෙම ක්‍රියාදාමයේ ආරක්ෂිත බවක් තමන්ට දැනෙන බවට විශ්වාසය පළ කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිර යාම වැළැක්වීම සඳහා රජය දරන උත්සාහයට දායක වීම සඳහා ස්විට්සර්ලන්ත රජය කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්.(PCR) පරීක්ෂණ වේගවත් කිරීමේ පහසුකම් සපයන උපකරණ ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා .

කොවිඩ් – 19 තත්ත්වය පහව ගිය වහාම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමට සහයෝගීතාවය දක්වන බවත්, ඒ සඳහා ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, පුහුණුව ලබා දීම සහ විෂයමාලාව සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමටත් සූදානමින් සිටින බවත් මෙම හමුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේදී දෙරට අතර ක්‍රියාත්මක කළ හැකි ආයෝජන සහ අපනයන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

ආර්ථික සංවර්ධනය රජයක ප්‍රමුඛතාවයක් වන බව කියා සිටි තානාපතිවරයා, ශ්‍රී ලංකාව තුළට ස්විට්සර්ලන්ත ආයෝජන වැඩි වශයෙන් ගෙන ඒමට කටයුතු කරන බව ද කියා තිබෙනවා.

The post ස්විට්සර්ලන්ත තානාපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views