ලංකාවේ කහ වගාව ගැන තොරතුරු බිඳක්


පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ, සහ කරාඹු නැටි යන කුළුබඩු වර්ග කිහිපය මෙරටට ආනයනය කිරීම තහනම් කරනු ලැබුවා. එම පියවර ගනු ලැබුවේ දේශීය සුළු අපනයන බෝග වගාකරුවන් දිරිමත් කිරීමේ අරමුණ ඇතිව යි. නමුත් කහ ආනයනය තහනම් කිරීමත් සමග ලංකාව තුළ විශාල කහ හිඟයක් ඇතිවුණේ මෙරට ජීවත්වන ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් කහ අස්වැන්නක් මෙරට නිපදවන්නේ නැති නිසා යි. රට තුළ ඇති වුණු දැවැන්ත කහ හිඟයට පිළියමක් ලබාදීම සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිට යළි කහ ආනයනයට අවසර ලබාදුන්නා. ඒ වසර එකහමාරක කාලයක් සඳහා යි. එම වසර එකහමාරක කාලය තුළ දේශීය කහ වගාව දියුණු කරමින් මෙරට ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් කහ අස්වැන්නක් ලබාගැනීම රජයේ ඉලක්කය වී තිබෙනවා.

කහ වගාවට හිතකර දේශගුණික සාධක

කහ බෝගය සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන්නේ නැහැ. එයට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් තරම් උසකින් පිහිටා තිබෙන බිම් ප්‍රදේශ කහ වගා කිරීම සඳහා වඩාත් සුදුසු යි. එසේම ඊට සෙල්සියස් අංශක 20-35 අතර උෂ්ණත්වය පරාසයක් වඩාත් යෝග්‍ය වනවා. කහ වගාව සිදුකිරීම සඳහා මි.මී. 1500ට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් තිබිය යුතු යි. සාමාන්‍යයෙන් තෙත් කලාපය තුළ කහ වගාව සිදුකරන්නේ යල කන්නයේ දී ලැබෙන වර්ෂාවත් සමග යි. නමුත් වියළි කලාපය තුළ කහ වගාව සිදුවන්නේ මහ කන්නයේ දී ලැබෙන වර්ෂාවත් සමග යි. කහ බෝගය  හිරු එළිය ප්‍රියකරන බෝගයක් වුණත් එය බහුලවම වගා කරනු ලබන්නේ මඳ සෙවණ ඇති ගෙවතු වගාවක් ලෙස හෝ පොල්, කෙසෙල් වැනි බෝගයක් සමග අතුරු බෝග වගාවක් ලෙස යි.

කහ වගාවට හිතකර පාංශු තත්ත්වය

කාබනික ද්‍රව්‍යය හොඳින් අඩංගු වන, හොඳින් ජලය බැස යන වැලි ලෝම පසක් කහ වගාවට වඩාත් හිතකර යි. දුර්වල ජල වහනයක් සහිත පස්, ගල් බොරලු අධික පස් සහ මැටි පස් කහ වගාවට සුදුසු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් කහ වගාව සඳහා භාවිතා කරන භූමියක පසෙහි pH පරාසය 5.5-6.5 අතර අගයක පැවතිය යුතු යි.

ලංකාවේ බහුලවම කහ වගා කරන ප්‍රදේශ 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කහ වගා කරනු ලබන්නේ කුරුණෑගල, මහනුවර, මාතලේ, ගම්පහ, කළුතර, අම්පාර යන දිස්ත්‍රික්ක තුළ යි. බොහෝ විට කහ බෝගය අතුරු බෝගයක් ලෙසින් වගා කර සාර්ථක අස්වැන්නක් ලබාගත හැකියි. එසේම කහ බෝගය වෙනත් වාර්ෂික බෝග සමගින් ශෂ්‍ය මාරු ක්‍රමයට වගා කිරීම මඟින් දීර්ඝ කාලීනව වැඩි අස්වැන්නක් ලබාගත හැකියි.

කහ ප්‍රභේද

කහ ශාකය භූගත රෛසෝමයකින් අඩි 3 – 4  උසට වැඩෙන පළල් පත්‍ර සහිත ව්‍යාජ වායව කදකින් සමන්විත යි. එම ව්‍යාජ කදේ පත්‍ර 6-10ක් පමණ හට ගනියි. දිග අඩි 1.5- 2 ක් පමණ වන පත්‍රයක් තද කොළ පැහැයෙන් යුක්ත යි. පත්‍රවල අග්‍රස්ථ කෙළවර පාදස්ත කෙළවරට වඩ පළලින් වැඩියි. ශල්ක පත්‍ර  සහිත භූගත කඳ සත්‍ය කඳ වන අතර එහි සංචිත ආහාර අඩංගු වෙයි. ප්‍රධාන භූගත කඳෙන් ශාඛා ලෙස කහ අල හට ගනියි. වාණිජව අස්වැන්න ලෙසින් ලබාගන්නේ එම අල යි. රෛසෝමයේ අභ්‍යන්තරය තද තැඹිලි පැහැයේ සිට කහ පැහැයක් ගන්නා අතර කහවලට ආවේණික වුණු සුවදක් සහ රසයක් තිබෙනවා. ඇඟිලි රෛසෝම සහ මව් රෛයිසෝම ලෙසින් රයිසෝම වර්ග දෙකක් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් රෛසෝම කැබැල්ලක බර ග්‍රෑම් 30-35ක් පමණ විය යුතු අතර එහි අංකුර 1-2 ක් තිබිය යුතු යි. එසේම රෝපණ ද්‍රව්‍ය රෝගවලින් තොර විය යුතු අතර ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වගාවකින් ‍තෝරා ගත යුතු යි. එම රෛසෝමය සි‍ටුවීමට පෙර, රෛසෝම දිලීර නාශකයක මිනිත්තු 30 ක් පමණ ගිල්වා තැබිය යුතු යි. සාමාන්‍යයෙන් ඒ සඳහා භාවිතා කරන්නේ මැන්කොස්බ් නම් දිලීර නාශකය යි. එහි දී දිලීර නාශකයෙන් ග්‍රෑම් 30ක් පමණ ගෙන ජලය ලීටර් 10ක් සමග මිශ්‍රකර සාදනු ලබන ද්‍රාවණයේ රෛසෝම ගිල්වා තැබිය යුතුයි. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් වගා කරන කහ ප්‍රභේද වන්නේ ගන්තර්, පූනා, සහ මදුරාසි මාජල් යන ප්‍රභේද යි. එසේම එම වර්ග තුන දේශීය කහ ප්‍රභේද සමග මුහුම් කර වෙනත් දෙමුහුම් ප්‍රභේදයන් ද සාදා තිබෙනවා.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

කහ බෝගයෙන් විවිධ ප්‍රයෝජන රැසක් ලබාගන්නවා. පහත දක්වා ඇත්තේ ඒවා යි.

1) කහ සම්පූර්ණ වියළි ස්වරූපයෙන් හෝ කුඩු ආකාරයෙන් වෙළඳපොලේ තිබේ. ව්‍යංජන මිශ්‍රණය සකස් කිරීමේදී එය අමුද්‍රව්‍යයක් ලෙසද භාවිතා කරයි.

2) කහවලින් තෙල් සහ ඔලියෙරොසීන් නිස්සාරණය කරනු ලබන අතර එය ප්‍රධාන වශයෙන් ආහාර කර්මාන්තයේ දී වර්ණක සහ රසකාරකයක් ලෙස භාවිතා කරයි. එසේම රෙදිපිළිවල වර්ණ ගැන්වීම සහ විශේෂිත තීන්ත සකස් කිරීම සඳහා ද එය යොදා ගනියි.

3) ආයුර්වේද සහ චීන වෛද්‍ය විද්‍යාවේ දී කහ අමුද්‍රව්‍යයක් ලෙසින් භාවිතා කරයි.

4) එදිනෙදා ජීවිතයේ දී විශබීජ නාශකයක් ලෙස භාවිතා කරයි.

5) රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කරයි.

හානි කරන පළිබෝධකයන් 

කහ වගාවට ප්‍රධාන වශයෙන් බලපෑම් කරන පළිබෝධකයා වන්නේ කඳ විදින්නා යි. මුලින්ම කඳ විදින්නාගේ වැඩිහිටි සලබයා කොළ කොපුවල බිත්තර දැමීම සිදු කරයි. ඉන් පසුව දළබුවා ව්‍යාජ කඳට ඇතුල් වී ශාකයේ අභ්‍යන්තර පටකවලට හානි කරන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. කඳ විදින්නා කහ ශාකයට හානි කළ විට මුලින්ම ශාකයේ පත්‍ර කහ පැහැයට හැරීම සිදුවෙයි. ඉන් පසුව එම පත්‍ර දුඹුරු පැහැයට හැරී ශාකය මිය යන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

දේශීය පරිභෝජනයට අවශ්‍ය කහ ප්‍රමාණය අප රටින්ම සපයා ගත හැකියි 

වර්තමානයේ ලෝකයේ ප්‍රධාන කහ නිෂ්පාදකයා වන්නේ ඉන්දියාව යි. ඊට අමතරව පාකිස්ථානය, බංග්ලාදේශය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, හයිටි, ජැමයිකාව, සහ පේරු වැනි රටවල්වල ද කහ වගා කරනු ලබනවා. මේ වන විට ප්‍රධාන වශයෙන් කහ ආනයනය කරනු ලබන්නේ යුරෝපීය රටවල්, මැදපෙරදිග රටවල්, අප්‍රිකානු රටවල්, සහ ඇමරිකාව යි. පසුගිය වසර කිහිපය පුරාවට අප රටට වාර්ෂිකව මෙට්‍රික් ටොන් 5000කට වැඩි කහ ප්‍රමාණයක් ආනයනය කරනු ලැබුවා.

කහ වැනි බෝගයක් ලංකාව තුළ සාර්ථකව වගා කිරීමට හැකියි. ඉදිරි වසර කිහිපය තුළ කහ වගාව සාර්ථකව අප රට තුළ ක්‍රියාත්මක කළොත්, දේශීය පරිභෝජනයට අවශ්‍ය කහ ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කරගැනීමට හැකිවේවි.

The post ලංකාවේ කහ වගාව ගැන තොරතුරු බිඳක් appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 Views