දිනෙන් දින අභාවයට යන රිටිපන්න ධීවර කර්මාන්තය


කවදත් මනස්කාන්ත දසුන්වලින් පිරී තිබුණු ලංකාවේ දකුණු මුහුදු තීරය විදෙස් සංචාරකයින් අතර ඉතාමත්ම ජනප්‍රිය යි. මීට වසර 2කට පමණ පෙර සංචාරක කර්මාන්තය අප රට තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබිය දී දකුණු මුහුදු තීරය විදෙස් සංචාරකයන්ගෙන් පිරී තිබුණා. එලෙස ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් එක්තරා මසුන් ඇල්ලීමේ ක්‍රමයක් දකුණු මුහුදු තීරය තුළ ක්‍රියාත්මක වනවා. රිටි පන්න ධීවර ක්‍රමය ලෙසින් හඳුන්වනු ලබන එම ක්‍රමය එක්තරා යුගයක දී  සාර්ථකව සිදු වුණත් වර්තමානය වන විට එය අභාවයට යමින් තිබෙනවා.

රිටිපන්න ධීවර ක්‍රමයේ ආරම්භය 

18 වැනි සියවසේ ඉන්දීය ජාතිකයන් පිරිසක් වෙළඳ කටයුතු සඳහා ලංකාවට පැමිණියා. එම කණ්ඩායම ගන්දර නම් ප්‍රදේශයේ රිටිපන්න ක්‍රමයට මාළු බාමින් සිටිය දී ගන්දර රාළහාමි නම් පුද්ගලයාගේ නෙත ගැටුණා. අමුතුම ආකාරයකින් මසුන් අල්ලමින් සිටි එම පිරිස අනුගමනය කළ පන්න ක්‍රමය අධ්‍යයනය කළ ගන්දර රාළහාමි එය දකුණු වෙරළ තීරයේ ධීවර ප්‍රජාවට හඳුන්වා දුන්නා. එදා සිට අද දක්වා දකුණු මුහුදු තීරය ආශ්‍රිතව සිදුවන රිටිපන්න ධීවර කර්මාන්තය සියවසකටත් වඩා වැඩි කාලයක් බොහෝ දෙනෙකුට ජීවන අරගලය ජයගැනීමට සහාය වුණා.

බහුලවම දක්නට ලැබෙන ප්‍රදේශ

හිරු බැස යන හැන්දෑ වරුවක මුහුදු වෙරළ අසල රිටිපන්න ක්‍රමයට ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් කාගේත් නෙත් සිත් ඇදගන්නා දසුනක්. කතළුව, වැලිගම, කළුකන්ද, මිදිගම, දේදුව, ගොවියාපාන, අහංගම, කබලාන, අරංගල, කොග්ගල, දලවැල්ල යන ප්‍රදේශවල බහුලවම සිදුවන මෙම ධීවර කර්මාන්තය වර්තමානය වන විට අප රටට ආවේණික පන්න ක්‍රමයක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් මැයි මාසයේ  සිට නොවැම්බර් මාසය පමණ වන තුරු සිදුවන රිටිපන්න ධීවර කර්මාන්තය වාරකන් කාලය උදාවීමත් සමගම අවසන් වනවා.

භාවිතා කරන උපකරණ 

රිටිපන්න ධීවර කර්මාන්තයෙහි නිරත වීම සඳහා බිලී පිත්තක්, බිලී කටුවක්, සහ රිටක් යොදාගනු ලබනවා. එම එක් එක් උපකරණය සාදාගැනීම සඳහා ධීවරයන් අනුගමනය කරන්නේ ඔවුන්ටම ආවේණික වුණු ක්‍රම යි. නමුත් වර්තමානය වන විට සමහර උපකරණ සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වෙනස් වී ඇති ආකාරය දක්නට ලැබෙනවා.

බිලී පිත්ත 

බිලී පිත්ත සෑදීම සඳහා යොදාගනු ලබන්නේ කිතුල් ලීය යි. මුලින්ම කිතුල් ගස්වල අතු කඩා ඒවා අව්වේ වේලා ගනු ලබනවා. ඉන් අනතුරුව ගින්දරින් රත්කර පිත්ත නැවෙන අයුරින් සකස් කර ගන්නවා. උපරිම දිග මීටර් 2ක් පමණ වන කිතුල් පිත්තට අමුණන ලණුව සඳහා තංගුස් නූල් භාවිතා කරනවා. නමුත් අතීතයේ දී ධීවරයින් ඒ සඳහා අන්නාසි කොළයේ කෙඳි යොදාගනු ලැබුවා.

බිලී කටුව 

බිලීකටුව සාදාගැනීමට අච්චුවක් වශයෙන් දැලිපොත්ත භාවිතා කරනවා. දැලිපොත්ත යනුවෙන් හඳුන්වන්නේ  දැල්ලාගේ පිට ආවරණය යි. වෙරළේ දී සුලභව හමුවන දැලිපොතු එකතු කරගන්නා ධීවරයින් ඒවා මිරිදියෙන් සෝදා සති තුනක් පමණ දුමෙහි තබා වියළා ගන්නවා. ඉන් අනතුරුව දැලිපොත්ත කුඩා කැබලිවලට කපා එම කුඩා කැබලි ගල් ලෑල්ලක තබා ගින්දර මඟින් රත්කරනු ලබනවා. එලෙස රත්කිරීමෙන් පසුව බිලී කටුවෙන් අච්චුව සාදා ගන්නා අතර, උණු කරගත් සුදු ඊයම් දියරය අච්චුවට වත්කරනවා. එම ක්‍රියාවලිය අවසන් වී විනාඩි 5ක් පමණ ගතවන විට අච්චුවෙන් බිලී කටුව ගලවා ගත හැකියි.

රිට 

මුල් යුගයේ දී ඇලස්ටෝනියා ලීයෙන් සෑදූ රිටක් රිටිපන්න ධීවර කර්මාන්තය සඳහා භාවිතා කරනු ලැබුවා. නමුත් වර්තමානය වන විට කඳුරු, කඩොල් වැනි ලී වර්ගයකින් සෑදූ රිටක් හෝ ගැල්වනයිස් බටයක් ඒ සඳහා යොදාගන්නවා. වඩාත්ම අපහසු කාර්යය වන්නේ එම රිට නොගැඹුරු මුහුදේ සිටවීම යි.

රිටිපන්න ක්‍රමයෙන් මසුන් අල්ලන ආකාරය 

රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ කැළඹිලි රහිත මුහුදු තීරය යි. මුලින්ම තියුණු ලෙස උල්කර තිබෙන රිට කොරල්පරවල ඇති සිදුරුවලට තබා  සෙ.මී 5-8ක් පමණ ගැඹුරට සිටවනු ලබනවා. එහි දී රිට අවට ගල්පතුරු තබා ශක්තිමත්ව සවි කිරීම සිදුකරනවා. එම රිටෙහි පොත්ත නොගලවා සවි කිරීමට ධීවරයන් පුරුදු වී සිටින්නේ රිටෙහි දිය සෙවල බැඳීම නිසා මත්ස්‍යයන් එම රිට ආසන්නයට පැමිණෙන නිසා යි. බොහෝ විට දිය සෙවල කෑමට එන මත්ස්‍යයින් රිටිපන්න ධීවරයාගේ බිලී පිත්තට පහසුවෙන් හසුවන නිසා ඔවුන් එම උපක්‍රමය අනුගමනය කරනවා. ඉන් පසුව කරුව සවි කිරීම සඳහා ලී දෙකක් ශක්තිමත්ව, සමාන්තරව තබා ලණු හෝ රෙදිපටිවලින් ගැට ගසා සවිකර ගන්නවා. එහි දී ඉතාමත් ශක්තිමත් ඇටමිල්ල වැනි ලීයක් හරස්ලීය ලෙස යොදා ගන්නවා. ඇතැම් අවස්ථාවල කරුවක් සහිත ලීයක් ගැනීම වඩාත් යෝග්‍ය බව ඔවුන්ගේ අදහස යි. එවැනි අවස්ථාවක් නොමැති විට ඉතා ශක්තිමත් ලී දෙකක් හරස් ලීය මත බැඳ ගන්නවා. ධීවරයා මසුන් ඇල්ලීමේ යෙදෙන්නේ එම හරස් ලීය මත සිටගෙන යි. මෙහිදී ධීවරයින්ට බහුලවම හමුවන්නේ කුම්බලාවා, කෝරලුවා, ඇහැලම්බරුවා, කොරඹුරුවා, බොල්ලන්, හුරුල්ලා, සාලයා වැනි මත්ස්‍ය විශේෂ යි.

රිටිපන්නයට ආකර්ෂණය වී සිටින විදෙස් සංචාරකයින් 

රිටිපන්න කර්මාන්තයේ යෙදෙන ධීවරයින් යනු විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය නොමඳව දිනාගෙන සිටින පිරිසක්. බොහෝ විට විදෙස් සංචාරක නඩයක් පැමිණි විට ඔවුන්ගේ ඡායාරූපවලට පෙනී සිටීමෙන් මෙම ධීවරයින්ට යම් මුදලක් හිමිවනවා. එසේම විදෙස් සංචාරකයින් රිට මතට නැග බිලී පිත්ත අතට ගෙන ඡායාරූපවලට පෙනී සිටීන්නේ ධීවරයින්ට වැඩි මුදලක් ලබාදෙමින්. එම නිසාම පසුගිය කාල සමයේ රිටිපන්න ධීවරයින්ට සංචාරකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණා.

රිටිපන්න ධීවර කර්මාන්තය අභාවයට යමින් තිබෙනවා 

ගැඹුරු මුහුදේ බහුදින යාත්‍රා මඟින් සිදු කරන මාළු ඇල්ලීම සහ දැල් ක්‍රමය හේතුවෙන් නොගැඹුරු වෙරළ තීරයට කුඩා මාළු වර්ග පැමිණීමේ ප්‍රවණතාවය අඩුවී තිබෙනවා. එය රිටිපන්න ධීවරයන්ගේ වෘත්තීය ඉදිරියට ගෙන යාම සඳහා බාධාවක් වනවා. එම නිසාම අද වන විට රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් ප්‍රමාණවත් මත්ස්‍ය අස්වැන්නක් නොලැබෙන නිසා අසරණ වී සිටිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ රිටිපන්න ධීවරයින් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් ලබාගැනීමේ අරමුණෙන් රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙනවා. පරිසරයට හානියක් නොකර සිදුකරන මෙම අපූරු පන්න ක්‍රමය අභාවයට යාම කණගාටුදායක තත්ත්වයක්. එම නිසා රිටිපන්න ධීවරයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අදාල බලධාරීන්ගේ වගකීමක් වනවා. ඔවුන් නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් මෙම ධීවර ක්‍රමය ආරක්ෂා කරගතහොත් රිටිපන්න ධීවරයා මසුන් අල්ලන අපූරු දසුන අනාගත පරපුරටත් දැකගැනීමට හැකිවනු ඇති.

The post දිනෙන් දින අභාවයට යන රිටිපන්න ධීවර කර්මාන්තය appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views