හොරණ මීවනපලානේදී නරියෙක් 16 හැවිරිදි දරුවෙකු සපා කයි
හොරණ මීවනපලාන කටුහේන ප්රදේශයේ දී නිවසක් තුළට පැමිණි නරියකු විසින් තරුණයකු සපා කා ඇති අතර, තුවාල ලැබූ තරුණයා හොරණ රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලැබූ බව ප්රදේශවාසීහු පවසති.
තුවාල ලබාඇත්තේ මීවනපලාන කටුහේනේ පදිංචි හසිත හේෂාන් 16 හැවිරිදි තරුණයෙකි.
නිවසේ ඇතිකරන සුනඛයින් දෙදෙනා මිදුලේ පොරකෑමේ ශබ්දයක් ඇසි නිවස ඉදිරිපිටට පැමිණි මෙම තරුණයා ඒ පිළිබඳව සොයාබැලීමේදී නරියකු පැමිණ මෙම සුනඛයින්ව සපාකන අයුරු දැක ඇත. ඒ සැණෙන් නිවසට ඇතුළට පැමිණි නරියා මෙම තරුණයාගේ කකුල සපා කා පලාගොස් ඇත.
පසුව ගම්වාසින් මහත් පරිශ්රමයක් දරා එළවාගෙන ගොස් නරියාට පහර දී මරාදමා ඇති අතර වන ජීවීනිලධාරීන් පැමිණ නරියාගේ හිස කොටස රැගෙන ගොස් තිබේ.
තරුණයා හොරණ රෝහලට ඇතුළත් කර ජලභීතිකා එන්නත් සහ ප්රතිකාර ලබාදී ඇතැයි පැවසේ.
දිගින් දිගටම නරින් ගම්වැදීම නිසා දැඩි බියකින් පසුවන බැවින් මේ සඳහා ස්ථිරසාර කඩිනම් විසඳුමක් ලබාදෙන්නැයි ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලති.