20 වැනි සංශෝධනය සම්මත වුණොත් තොරතුරු අයිතියත් ඉවරයි – නීතීඥ ජගත් ලියනාආරච්චි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තොරතුරු අයිතියට කුමක් වෙයිද?

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් තොරතුරු අයිතිය මූලික අයිත්වාසිකමක් විදිහට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වෙනවා. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත මඟින් මෙය යතාර්ථයක් බවට පත් වෙනවා.  20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්මටම තොරතුරු අයිතිවාසිකම පිළිබඳ වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සඳහා බලපෑමක් කරලා නැහැ. එතකොට කෙනෙකුට බැලූ බැල්මටම පේන්නේ 20 වන සංශෝධනය මේ ආකාරයෙන්ම සංශෝධනය වුණත් තොරතුරු අයිතියට කිසිඳු බලපෑමක් සිදු වෙන්නේ නැහැ කියන එක. නමුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ ප්‍රතිපාදන එකට ගෙන කියවා බලන විට තොරතුරු දැන්ගැනීමේ අයිතිවාසිකමට මෙම සංශෝධනය මේ ආකාරයෙන්ම සම්මත වුණොත් බලපෑම් මතු වෙන්න පුලුවන්. මේ බලපෑම් අපට කිහිප ආකාරයකින්ම තේරුම් ගන්න පුලුවන්. එකක් තමයි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම නියාමනය කිරීම සඳහා තිබෙන තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා හානි වෙන්න පුලුවන්. ඊට හේතුව අපේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරන ලබන කොමසාරිස්වරුන් ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුයි කියලා. එතකොට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කරලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරලා ඒ වෙනුවට කිසිඳු බලයක් නැති පාර්ලිමේන්තු සභාව නැමැති ආයතනක් පිහිටුවන්න. එම තත්ත්වය තුළ කොමිසමට පත්වෙන කොමසාරිස්වරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව බරපතල තත්ත්වයක් මතුවෙන්න පුළුවන්.

මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයා සිදු කරන්නේ මේ පාර්ලිමේන්තු සභාවේ නිරීක්ශණ ලබා ගැනීමක් පමණයි. මෙතුළින් කොමසාරිස්වරුන් නිර්දේශ කිරීමේ බලයක් එම පාර්ලිමේන්තු සභාවට නැහැ. ඒ නිසා මෙම කොමිෂන් සභාවේ ඉදිරි කොමසාරිස් වරුන්ගේ පත් කිරීම ජනාධිපතිවරයාට අභිමත ආකාරයට සිදු වෙන්න පුලුවන්. එවිට එය තවදුරටත් ස්වාධීන කොමිෂන් සභාවක් කියන තත්ත්වයෙන් එහාට ගිහිල්ලා, එය විධායකයේ කොමිෂන් සභාවක්, එහෙම නැත්නම් ජනාධිපතිගේ කොමිෂන් සභාවක් බවට පත් වෙනවා. එවැනි කොමිෂන් සභාවක් සාධාරණ විදියට ස්වාධීන ආකාරයට ක්‍රියාත්මක වේ යැයි විශ්වාස කරන්න බැහැ.

තොරතුරු පනතේ තිබෙනවා තොරතුරු නොදීම, එහෙමත් නැතිනම් තොරතුරු දීමට බාධා කිරීම, යම් ආකාරයකට අකටයුතුකම් කරන නිලධාරීන් සම්බන්ධව තොරතුරු කොමිසන් සභාවට හැකියාවක් තිබෙනවා එම නිලධාරීන් අයත්වන, ඒ නිලධාරීන් යටත් වන විනය බලධාරියා ට දැනුම් දෙන්නට හා ඒ සම්බන්ධව විමර්ශන සිදු කරලා කොමිෂන් සභාවට වාර්තා කරන්න. එතකොට බොහෝ විට මේ විනය බලධාරීන් වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ කොමිෂන් සභාව හා ඒ වගේම තිබෙන කොමිෂන් සභා.  ඒ කොමිෂන් සභාවලත් ස්වාධීනත්වය ඉතාමත් බරපතළ විදියට උල්ලංඝණය වෙනවා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ ආකාරයෙන්ම සම්මත වුණොත්. එතකොට ඒ විදිහට බැලූවිට ස්වාධීන නොවන විධායකයට යටත් වූ කොමිෂන් සභාවලින් අර තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවට උපදෙස් දුන්නට, විමර්ශන සිදුකර වාර්තා කරන්න කියලා කීවට, ඒ ආකාරයෙන්ම සිදු වෙයි කියන දේ අපිට බලාපොරොත්තු වීමට බැරි වෙනවා. ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කර තියෙන බලපෑම සෘජුවම අධිකරණයට බලපානවා. එතකොට අධිකරණයට බලපානවා කියන්නේ  තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණයකට එරෙහිව අභියාචනා කිරීමේ හැකියාව තියෙන්නෙ අභියාචනා අධිකරණය සහ ඊට පසු ශ්‍රේෂ්ඨාධිකරණයට. එතකොට මේ ආයතන යම්  ආකාරයකට ස්වාධීනත්වයට බලපෑම් ඇති වෙනවා නම් එය සෘජුවම තොරතුරු අයිතිවාසිකමට බලපෑමක් ඇතිවෙනවා.

අනිත් අතට තවත් සංකල්පමය මූලධර්මීය වෙනසකුත් මේකෙන් ඇති වෙනවා. ඒ තමයි තොරතුරු අයිතිවාසිකම් සහ 19 වැනි සංශෝධනය මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ගමන් කරේ එක දිසාවකට. නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන ක්‍රමවේද සකස් කරන සිස්ටම් හදන පැත්තකට තමයි එය ගමන් කරේ. ඊට පසුව දැන් විසිවෙනි සංශෝධනය යෝජනා කරල තියෙන්නෙ ඒ එකෙන් සම්පූර්ණයෙන් අනිත් පැත්තට ගමන් කරන්න. ඒ ගැන විධායකය ශක්තිමත් කරන විධායකයට අවශ්‍ය විදියට ක්‍රියාමාර්ග ගන්නා පැත්තකට තමයි මෙම විසි වන සංශෝධනය ගමන් කරන්නේ. ඒ හරහා ගොඩනැගෙන රාජ්‍ය නිලධාරීන්ගේ මානසිකත්වය තොරතුරු අයිතිවාසිකමට ඉතාමත්ම ඍණාත්මකව බලපාන්න පුළුවන්.

මේ ව්‍යවස්ථාව සම්පාදනය කරපු පාර්ශ්වය ගෙන තර්කය තමයි මේක මේ ජනාධිපතිවරයාට අවුරුදු එකහමාරක් විතර කාලයක් තුළ වැඩ කරන්න රට දියුණු කරන්න තමයි මේ ව්‍යස්තාව සංශෝධනය ගේන්නේ කියන එක. අවුරුදු එක හමාරකට පස්සෙ මෙම සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒත් ඒකෙ ස්වරූපය මොකක්ද සාකච්ඡාවක්වත් නෑ. මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද?

නැහැ මම ඒක විශ්වාස කරන්නේ නැහැ. එහෙම ටෙම්පරි සොලියුෂන් ගේන්න පුළුවන් එකක් නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් කියන්නේ පුළුල් විදිහට හිතලා බලලා කරන්න ඕනෑ දෙයක්. ඒක එක්තරා කාලයකට අදාළ විදිහට පුද්ගලයෝ දිහා බලලා කරන්න බැහැ. ඒ වගේම තමයි අපිට ඔය දැඩි බලධාරී නීති, තාවකාලිකව ගෙන ආපු අවස්ථා තියෙනවා. ඉතිහාසයේදී තාවකාලිකව ගෙනාපු දැඩි මර්දනකාරී නීති එකක්වත්, ආයෙත් ආපසු හරවලා නැහැ. හොඳම උදාහරණය තමයි 1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත. එය ගෙන එන වෙලාවේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අමාත්‍යවරයා කිව්වේ මේකේ දැඩි බව සැබැයි, මේක ඉතාම දැඩි පනතක් අපේ මන්ත්‍රී කණ්ඩායමත් මේකට එච්චර කැමති නැහැ නමුත් මේක සම්මත කරලා දෙන්න, මේක ගේන්නේ වසර තුනක කාලයක් සඳහා පමණයි කියලා. වසර තුනකින් පස්සේ මේක ඉබේම අහෝසි වෙලා යන ප්‍රතිපාදන පනතේ ඇතුළත් වෙලා තිබුණා.  එවකට තිබුන පාර්ලිමේන්තුව මෙම පනත අහෝසි වෙලා යන තිබ්බ වසර 3 ඉවර වෙන්නේ 1982 මාර්තු මාසේ ඊට මාසෙකට විතර කලින් මේ පනතට සංශෝධනයක් ගෙනල්ලා වසර තුනක බලාත්මක වන කාලය කියන වගන්ති ඉවත් කලා. ඒ අනුව අද දක්වා අවුරුදු හතළිහකට වැඩි කාලයක් මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දැඩි මර්දනකාරී විදිහට අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වගේ ඉතිහාසයක් තමයි අපේ පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ. මොන පක්ෂයක ද කියන එක අදාළ නැහැ. කවුරුත් දේශපාලනඥයින් කරන්නේ යම් මර්දනකාරී නීතියක්, දැඩි නීතියක් ගෙනාවට පස්සෙ ඒකෙන් දේශපාලනඥයින්ට වාසි වෙනකොට ඒක පවත්වාගෙන ‍යනඑක. ව්‍යවස්ථාවේ දැඩි බව අඩු කරපු අවස්ථා දෙකයි අපට දක්නට ලැබෙන්නේ. එකක් දාහත් වැනි සංශෝධනය. අනිත් එක දහනම වැනි සංශෝධනය. මෙම සංශෝධන දෙකටම බලපාපු විශාල දේශපාලනික සමාජීය කාරණා තිබුණා. ඉතින් ඒ නිසා මම කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ දැඩි සංශෝධනයක් ගෙනල්ල අවුරුදු එක හමාරක් පවත්වාගෙන ගිහින් ඉන්පසුව හොඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියන තර්කයට.

නීතිඥවරයෙකු විදිහට දහනම වැනි ව්‍යවස්ථාව සහ විසි වෙනි ව්‍යවස්ථාව ඔබ සංසන්දනය කර දකින්නේ කොහොමද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ විධායකයේ බලතල අඩු කරලා, එම විධායකයේ බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධීන ආයතන වලට පවරන්න. නමුත් විසිවන සංශෝධනය බලාපොරොත්තු වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එම සංශෝදනය මගින් බලාපොරොත්තු වෙන්නේ විධායකය ශක්තිමත් කරලා, විධායකයට තියෙන බැඳීම් අඩු කරලා පාර්ලිමේන්තුවේ සහ පෙර කියු ස්වාධීන ආයතන වල තිබුනු නියාමන බලය ජනාධිපති වටා එකතු කර ගැනීම. එතකොට ඒ එකතු කර ගැනීම හරහා ජනාධිපතිවරයා වටා ඉතාමත් ශක්තිමත් ඒකාධිකාරයක් ගොඩනැගෙනවා. විශේෂයෙන් 1978 ව්‍යවස්ථාවේ මෙතෙක් නොවූ විරූ බලතල සහිත සුපිරි විධායකයක් මේ හරහා ගොඩනැගෙනවා. ඒ සුපිරි විධායකය ගොඩනැඟෙනවා කියන එකේ අනිත් අර්ථය තමයි අනෙකුත් ආයතන ඉතාමත් දුර්වල වෙනවා කියන එක. පාර්ලිමේන්තුව, කොමිෂන් සභා, අනෙකුත් නියාමන ආයතන, අධිකරණ ඉතාමත් දුර්වල අඩියකට පත් වෙනවා. ඒ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් සිද්ධ වෙන්නේ.

ජේ ආර් ජයවර්ධන මහත්තයා 78 දී බලාපොරොත්තු වුණ ගමනක කෙළවර ද මේ විස්සේ තියෙන්නේ ?

ජේ ආර් ජයවර්ධන මහත්තයා 78 අවුරුද්දෙදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාවට එහි තිබෙන මූලික ලක්ෂණය වන විධායකය බලතල සහිත ජනාධිපතිධුරය කියන කාරණය සම්බන්ධයෙන්, ඔහු 1960 ගණන් වල ඉඳලා අදහස් දක්වපු කෙනෙක්. විශේෂයෙන්ම 1972 ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හදන වෙලාවෙත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යෝජනා කරෙත් විධායක ජනාධිපති ධූරයක් සහිත ව්‍යවස්ථාවක් හදන්න ඕනි කියලා. ඒක ස්ථීර කළේ එවකට මැද කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් ප්‍රේමදාස මහත්තයා. නමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිගත්තේ නෑ. ඔහුගේ හීනයක් තිබුණා එහෙම විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමයක් හදන්න. ඒ හරහා තමයි රට වේගවත් සංවර්ධනයට ගෙන යන්න පුළුවන්, ජනමතයට බය නොවී වැඩ කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් බිහි කරන්න ඕන කියන එක ඔහුගේ අදහස් වෙලා තිබුණා. ඒ අනුව තමයි 78 ව්‍යවස්ථාව හැදුවේ. ඒ 78 ව්‍යවස්ථාව හැදුවට පස්සේ ඔහු ගෙන ආපු සංශෝධන ගණනාවක් විශේෂයෙන් 13, 16 වගේ සංශෝධන හැරුණුකොට අනෙකුත් සංශෝධන සියල්ලෙන්ම ජනාධිපතිවරයා සිද්ධ කළේ බලතල ජනාධිපති ධුරය වටා ඒකරාශී කරගැනීමක්. ඊට පසුව ගෙනාපු 18 වෙනි සංශෝධනය ඊටත් වඩා ඉදිරි පියවරක් තබමින් විශාල බලයක් ජනාධිපතිවර වටා රොක් කරගත්තා. ඒ විතරක් නෙමෙයි දැඩි බලතල සහිත ජනාධිපති ධුර වාර දෙකකට පමණක් පත්වෙන්න තිබුණු අවස්ථාවක් අයින් කරලා, ඕනෑම වාර ගණනක් ජනාධිපති ධුරයට තරඟ කරන්න පුළුවන්, ධූර දරන්න පුලුවන් කියන ප්‍රතිපාදන එකතු කරල ඉතා බලසම්පන්න ධුරයක් ඇති කළා. දැන් ඒ 78 ව්‍යවස්ථාවෙන් වගේම ඒකට ගෙනාපු සංශෝධන මගින් සහ විශේෂයෙන් 18 වෙනි සංශෝධනය ගෙනාපු සංශෝධන මගින් ස්ථාපනය කරපු විධායක ජනාධිපති ධූරයටත් වඩා ඉතාම බලසම්පන්න සුපිරි ජනාධිපති ධූරයක් තමයි මේ විසිවන සංශෝධනයෙන් ස්ථාපනය කරන්නට හදන්නේ. එය කිසිසේත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නීතියේ ආධිපත්‍යයට හිතකර වෙන්නේ නෑ කියන එකයි මගේ මතය.

දැන් ගොඩක් දෙනෙක් කියනවා මේක ඇමරිකන් මොඩල් එක සහ ප්‍රංශ මොඩල් එකේ එකතුවක්. මේක සම්මත කරගත්තොත් රට සංවර්ධනය කරන්න පුලුවන් කියලා.

මම එකක් දකිනවා. එක පුද්ගලයෙක් වටා මෙහෙම අසීමිත බලයක් ගොඩනැගෙනකොට තනි තීරණ අරගෙන වේගයෙන් වැඩ කරන්න පුළුවන් කියන එක මම පිළිගන්නවා. හැබැයි ඒත් එක්කම අවශ්‍ය වෙන්නේ ඒකට අදාල වන නියාමන ආයතන ශක්තිමත් කරන එක. සරල උදාහරණයක් ගත්තොත් අපි වේගයෙන් පදින මෝටර් සයිකලය තිරිංග පද්ධතිය සහ ගියර් පද්ධතිය ඉතාමත් ශක්තිමත් ව තියෙන්න ඕන. අපි වේගයෙන් යන්න ඕනේ කියලා බ්‍රේක් ගලවන් නෑනේ. අපි වේගයෙන් යන්න ඕනේ කියලා ගියර් පද්ධතිය අකර්මණ්‍ය කරන්නෑ නේ. අපිට වේගයෙන් යන්න ඕනේ නම් නියාමනය ශක්තිමත් ව තියෙන්න ඕනි. ඒ වගේම ස්වාධීනව තියෙන්න ඕනි. මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නෙ විධායකයට විශාල බලයක් දෙන අතරතුර ඒ යම් යම් කාර්යයන්, විශේෂයෙන් විගණනය, අධිකරණය, පාර්ලිමේන්තු අධීක්ෂණය, මූල්‍ය පාලනය වගේ අංශ ඉතාමත්ම දුර්වල කරනවා. ඒක කිසිසේත්ම වේගවත් සංවර්ධනයකට හිතකර වෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.

-කේ. සංජීව

 

The post 20 වැනි සංශෝධනය සම්මත වුණොත් තොරතුරු අයිතියත් ඉවරයි – නීතීඥ ජගත් ලියනාආරච්චි appeared first on aithiya.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views