20 ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක්…

විසි වැනි සංශෝධනය ගෙනඑන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් එ් මහතා මේ බව අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරන 20 වැනි සංශෝධනය ගෙනවිත් රට අරාජික කරන 19 වැනි සංශෝධනය පරාජය කරන බව පෙන්වා දුන්නේය.

20 වැනි සංශෝධනය ගෙනඑමින් රජය සූදානම්වන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට නොවන බව කී අග්‍රාමාත්‍යතුමා චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගෙන එන බවට විශ්වාසය පළ කළේය.

අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගරු කථානායකතුමනි,

මේ සභාව නියෝජනය කරන අපට අද ඉතාම වැදගත්වන දවසක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 03ක් යටතේ ‍‍මේ ගරු සභාව නියෝජනය කරන්න කටයුතු කරන්න අවස්ථාව ලැබුණ කෙනෙක් මම. තව කෙනෙක් ඉන්නවා නම් ඒ වාසුදේව නානායක්කාර ගරු මන්ත්‍රීතුමා විතරයි.

කථානායකතුමනි,

මම මේ පාර්ලිමේන්තුවේ 1970 දි දිවුරුම් දුන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඒ මහ රැජිණටත් බ්‍රිතාන්‍ය කිරීටයටත් පක්ෂව.

එයින් පස්සේ බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙලා පූර්ණ ජනරජයක් වුණ ජනරජ ව්‍යවස්ථාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යටතේ සම්මත කරගත්ත ආකාරයත් මට මතකයි.

එදා 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර අපි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ රැස්වුණේ නෑ. එදා නවරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ රඟහලේ රැස්වෙලා. එතන රැස්වෙලා තමයි අපි ජනරජ ව්‍යවස්ථාව සම්මත කළේ. අධිරාජ්‍යයෙන් පූර්ණ නිදහස ලැබුණ ව්‍යවස්ථාවට බොහොම ගෞරවයෙන් අපි අත් ඉස්සුවා.  රටට පූර්ණ නිදහස ගේන එබඳු ව්‍යවස්ථාවකට ඔසවපු අතක් මට තියෙනවා කියලා මම කියන්නේ ආඩම්බරයෙන්.

කථානායකතුමනි,

ඊළඟට 1977 මහමැතිවරණයෙන් ජය ගත්ත ජේ.ආර්. ජයවර්ධන අලුත් පාර්ලිමේන්තුවක් පිහිටෙව්වා. එදා තිබුණ ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරලා ජේ.ආර් ජයවර්ධන මැතිතුමා 1978 දී අද අපි පාලනය වන මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවා. එදා තිබුණ රජය කේවල මැතිවරණ කොට්ඨාස ක්‍රමයට ඡන්දය පවත්වලා ඒ අනුව ලැබුණ 2/3 බලයෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළා.

මේ ව්‍යවස්ථාව සම්මත කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අපිට පාර්ලිමේන්තුවේ ඉන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුවේ සිටියා නම් මේ ව්‍යවස්ථාවට එරෙහිව මුලින්ම මගේ අතත් එසවෙන්න ඉඩ තිබුණ බව මම කියන්න ඕනේ. ඒකට හේතුව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා විරුද්ධ වීම නිසා.

The post 20 ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක්… appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views