විස්සට මෙච්චර හදිස්සිය තවත් පොල්පොට් කෙනෙක් හෝ හිට්ලර් කෙනෙක් හදන්නයි

ඉතාම හදිසියෙන් විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ තවත් පොල්පොට් කෙනෙකු හෝ හිට්ලර් කෙනෙකු නිර්මාණය කිරීමට බව සමගි ජනබලවේගය චෝදනා කළේය.සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික සංවිධායක පාර්ලිමේනතු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙම චෝදනාව එල්ල කරන ලද්දේ ඊයේ (20 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා

‘‘ඊයේ වන විට විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් යම් යම් සංශෝධන ඉදිරිපත් වෙලා තියෙනවා. රට පුරා මතුවෙලා තියෙන විරෝධතා සහ ජනතාව මේ පිළිබඳව දක්වන උනන්දුව තමයි ඊට හේතු වෙලා තියෙන්නේ. හැබැයි සමගි ජනබලවේගය විදිහට අපි විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ දහ නව වැනි සංශෝධනයේ තිබෙන අඩුපාඩු හදන්න කියලයි. ඊට සහය දෙන්න අපි සූදානම්.

ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණා. විසි වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා කටයුතු කරන්න එහි දී තීරණය වුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය එවල තියෙන නියෝගත්, ආණ්ඩුව යෝජනා කරන සංශෝධන සහ වරින් වර ප්‍රකාශ කරන කාරණා පිළිබඳව කතානායකවරයා හරහා වාර්තා කිරීමටත් සොයා බැලීමටත් අපි විශේෂ කමිටුවක් පත් කළා. අපි මේ මොහොතේ ආණ්ඩුවෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. රටේ මෙතරම් ජාතික ප්‍රශ්න ගොඩනැගිලා තිබෙද්දී විස්සද තියෙන ප්‍රධානම ගැටලුව. කොරෝනා නිසා රටේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දීලා තියෙන්නේ. මේ සියලු අර්බුද පැත්තක තියලා ආණ්ඩුව මේ විසිවැනි සංශෝධනයක එල්ලිලා ඉන්නේ ඇයි?

සමහරු කියනවා විස්ස ගෙනැල්ලා ජනපතිවරයාට ශක්තිමත් කළොත් විතරලු ශක්තිමත් ආර්ථික සංවර්ධනයකට යන්න පුළුවන්. දහනවය තිබුණා කියලා එවැනි අරමුණක් කරා යන්න කිසිම බාධාවක් නැහැ. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයක් නොතිබුණා නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකුට ජනපති වෙන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමා දැන් විස්ස ඔසවා තබන්න හදන්නේ අගමැතිවරයාට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ලබා දුන්නු ශක්තිමත් මුහුණුවර බිඳලා දාන්න.

දැන් ආණ්ඩු පක්ෂය ඇතුළෙම මේ පිළිබඳව අර්බුද. විශේෂයෙන්ම ගෙවිඳු කුමාරතුංග, විදුර වික්‍රමනායක. විජේදාස රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වගේ කණ්ඩායමක් විසිවැනි සංශෝධනය ගැන විවිධ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. මේ අයගෙන් ඉදිරිපත් වුණු බලපෑම හේතුවෙන් තමයි ආණ්ඩුව වරින් වර විස්සේ කුඩා කොටස් ඉවත් කරමින් මෙහි ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් තිබෙන බව පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. මේ විසි වෙනි සංශෝධනය හරහා තවත් පොල්පොට් කෙනෙක්, තවත් හිට්ලර් කෙනෙක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා.

විසිවැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසි භාවය යළි සක්‍රිය කිරීමෙන් රටට ලැබෙන වාසිය කුමක්ද? මෙවැනි සංශෝධන ගේන්න යම් උද්දච්ඡකමක් නිසා කියලයි අපි දකින්නේ. ජනාධිපතිවරයෙක් වෙන්න තියෙන වයස් සීමාව අඩු කළාම එයින් මේ රටේ සංවර්ධනයට ලැබෙන දායකත්වය මොකක්ද? රාජ්‍ය ආයතන එකසිය පණහක් විතර විගණනයෙන් ඉවත් කිරීමෙන් රටට අත්වන වාසිය මොකක්ද? මේව දිහා බැලුවහම පැහැදිලිවම පේන්නේ එක පුද්ගලයකුගේ බලය කේන්ද්‍ර කර ගැනීමට තමයි විසිවැනි සංශෝධනයෙන් උත්සාහ කරන්නේ කියලා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අද කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා. ඊට අමතරව ආණ්ඩුවෙනුත් සංශෝධන ඉදිරිපත් කරනවා කියලා කියනවා. ඒ කුමන සංශෝධන ඉදිරිපත් කළත් සිදුවෙන්නේ දහනවය හරහා අපි ව්‍යවස්ථාවට ලබා දීපු ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර උදුරා ගැනීමයි.

ඒ වගේම හදිසි පනතක් විදිහට විස්ස ඉදිරිපත් කිරීම පිළිබඳවත් අපි විරෝධය පළ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුත්තේ රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන්. ජනතාවගේ එම අයිතිය උදුරා ගැනීමට මේ මොහොතේ ආණ්ඩුව ගන්නා උත්සාහය අපි පරාජය කළ යුතුයි. ඒ නිසා කඩිමුඩියේ මේක සම්මත කරන්නේ නැතිව අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරමු කියලයි අපි කියන්නේ.

49 total views, 49 views today

The post විස්සට මෙච්චර හදිස්සිය තවත් පොල්පොට් කෙනෙක් හෝ හිට්ලර් කෙනෙක් හදන්නයි appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views