මැරෙන්න කලින් යායුතු තැනක්

මැරෙන්න කලින් යායුතු තැනක්මහනුවර ගැරිසන් කනත්තහෙවත් නිහඬ සුසාන භූමිය

ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේම මහනුවර උඩවත්ත කැලේ වන රක්ෂිතයට අයත් භූමි භාගයක පිහිටි ගැරිසන් සොහොන් බිම ආරම්භ කොට ඇත්තේ 1822 වසරේදීය. බ්‍රිතාන්‍ය ජාතිකයන් 400කට ආසන්න ප්‍රමාණයක් මිහිදන් කොට ඇති මෙම ඓතිහාසික සොහොන් බිමේ මේ වනවිට හඳුනාගෙන ඇත්තේ සොහොන් කොත් 103කට ආසන්න ප්‍රමාණයකි. එහෙත් 1997 වසරේදී එල්ටීටීඊ සංවිධානය විසින් ශ්‍රී දළදා මාලිගාවට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් මහනුවර නගරය කැලඹී තිබීම නිසා චාල්ස් කුමරුගේ ආරක්ෂකයන් මෙම සොහොන් බිම නැරඹීමට ඔහුට අවසර නොදී පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීම සඳහා පමණක් කැඳවාගෙන ගොස් තිබේ. චාල්ස් කුමරු විසින් සොහොන් බිමේ භාරකරු වෙත ඒ බව දැනුම් දෙමින් එවන ලද ලිපිය ගැරිසන් සොහොන් බිමේ පිහිටි කුඩා කෞතුකාගාරයේ රාමු කොට සුරැකිව තබා තිබේ.

එවක මහනුවර ශාන්ත පාවුළු දේවස්ථානය සතුවූ ගැරිසන් සොහොන් බිම සඳහා අයවිය යුතු ගාස්තු ප්‍රශ්නයක් මත සොහොන් බිම නඩත්තු කිරීම දේවස්ථානයේ පාලක සභාව විසින් අත්හැර දැමීම නිසා නටබුන් වූ අතර පසුව සොහොන් බිමේ ප්‍රතිසංස්කරණ කටයුතු නැවත ආරම්භ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙනි.

ගැරිසන් සොහොන් බිම දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රකට වී ඇත්තේ ‘යුද හමුදා සුසානභූමිය’ ලෙසිනි. ඊට හේතු වී ඇත්තේ මෙහි මිහිදන් කොට ඇති කුමන තරාතිරමේ පුද්ගලයකු වුවද ඔවුහු කුමන අයුරකින් හෝ ලක්දිව යටත්විජිතයක් බවට පත් කිරීම සඳහා මොනයම් ආකාරයකින් හෝ බ්‍රිතාන්‍ය හමුදාවටද සම්බන්ධ වී සිටි නිසාය. මෙම සොහොන් බිමේ මිහිදන් කොට ඇති මුල්ම පුද්ගලයා වෙනත් ස්ථානයක් භූමදානය කොට පසුව මෙම සොහොන් බිමේ මිහිදන් කොට සොහොන් කොතක් ඉදිකොට තිබේ. 1822දී ඇරඹි ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කටයුතු 1879 වසර දක්වා අඩසියවසකට ආසන්න කාලයක් නොකඩවා සිදුවී තිබේ.

ගැරිසන් සොහොන් බිමේ අවසන් ගමන් ගිය පුද්ගලයන් අතර සුවිශේෂී පුද්ගලයකු වන්නේ 1824 වසරේදී මියගිය ශ්‍රීමත් ජෝන් ඩොයිලි මහතාය. ඔහු ගාල්ල හා මාතර ප්‍රදේශයන්හි බ්‍රිතාන්‍ය ඒජන්තවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී කොරතොට ධම්මාරාම, මොරතොට ධම්මානන්ද වැනි පඬි හිමිවරුන් ඇසුරු කරමින් සිංහල භාෂාව හා බුද්ධ ධර්මය ප්‍රගුණ කොට තිබේ. මාතර යුගයේ පුරෝගාමී කවියන් අසුරු කළ ජෝන් ඩොයිලි මහතා ගජමන්​ නෝනා වැනි ප්‍රකට කිවිඳියන් සමග කවි හුවමාරු කරගනිමින් සමීප ඇසුරක් ගොඩනගා ගත් බව ඔහු විසින් ලියන ලද Doyle’s Diry නමැති ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේදී ඉංග්‍රීසි හමුදා සම්බන්ධීකරණ කටයුතු භාර නිලධාරියා ලෙස කටයුතු කළ ජෝන් ඩොයිලි උඩරට රජු, සිංහල අදිකාරම්වරු හා බ්‍රිතාන්‍ය පාලකයන් අතර පැවති සියලු රහස් සාකච්ඡා හා ඒවායේ පරිවර්තන කෙටුම්පත් කළ බවද එම ග්‍රන්ථයේ සඳහන්ය.

සත් කෝරළය ප්‍රදේශයේ රාජකාරි සංචාරයක් අතරතුර උණ රෝගයක් වැලඳීමෙන් මියගිය ඔහුගේ සිරුර ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කොට අලංකාර සොහොන් කොතක් ඉදිකොට ඇති අයුරු ගැරිසන් සොහොන් බිම නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අද ද දැකිය හැකිය.

මෙම සොහොන් බිමේ මිහිදන් කොට ඇති තවත් සුවිශේෂී තැනැත්තියක් වන්නේ 1872 වසරේ සිට 1877 වසර දක්වා බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලක්දිව ආණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි මහතාගේ ආර්යාව වූ එළිසබෙත් ග්‍රෙගරි ආර්යාවය. ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා අනුරාධපුර සංචාරයක යෙදී සිටියදී දැඩි ලෙස රෝගාතුර වූ ඇය 1873 වසරේ ජුනි මස 26 වැනි දින මහනුවර පැවිලියන් (වත්මන් මහනුවර ජනාධිපති නිල නිවස) මන්දිරයේදී මිය ගියාය. ඇයගේ මරණය පිළිබඳව ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් ලියන ලද ඔහුගේ ස්වයං චරිතාපදානය වූ Sir William Gregory an Autobiography මෙසේ සටහන් කොට තිබේ. ‘‘අපේ ගමනින් පෙරළා පැමිණි විට ඕනෑවට වඩා හිරු එළියේ සිටීමෙන් ඈ රෝගීව සිටි බව මම දුටුවෙමි. දින කිහිපයක් තිස්සේ නොඉවසිලිමත්වද පසුව බලාපොරොත්තු රහිතවද ඈ රැක බලා සිටි නමුත් ඕ අන්තිම මොහොත දක්වා හොඳ සිහියෙන් යුක්තව මිය ගියාය.’’ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශ කාව්‍යය ‘සැලාස් මැසේජ්’ නමින් පරිවර්තනය කරන ලද විලියම් චාර්ල්ස් මැක්රෙඩි නමැත්තාගේ සොහොන් ගැබ පිහිටා ඇත්තේද මහනුවර ගැරිසන් සොහොන් භූමියේය. ඔහු චාල්ස් ඩිකන්ස් නමැති ප්‍රකට ඉංග්‍රීසි ගත්කතුවරයා සමග සමීප ඇසුරක් පැවැත්වූ අයකු බවද ප්‍රකටය.

ලක්දිව බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ජනප්‍රිය පුද්ගලයකු වූ ජෙනරාල් ජෝන් ප්‍රෙෂර් මහතා මිහිදන් කොට ඇත්තේද මහනුවර ගැරිසන් සොහොන් බිමේය. කොළඹ සිට මහනුවර දක්වා මහා මාර්ගය ඉදිකිරීමේ කාර්යයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ අයෙක් ලෙසද ප්‍රෙෂර් මහතා සැලකේ. මහවැලි ගඟ හරහා එවක පේරාදෙණියේ ඉදිවූ මුල්ම පාලමේ නිර්මාතෘවරයා ලෙසින්ද ඔහු සැලකේ. දිගින් අඩි 2015ක් පමණ වන 1832 ඉදිකරන ලද පේරාදෙණිය පාලමේ විශේෂත්වය වන්නේ එකදු වානේ ඇණ මුරුච්චියක්වත් භාවිත නොකර එම පාලම ඉදි කිරීම නිසාය. කිසිදු ආධාරක කණුවක් නොතබා බුරුත දැවයෙන් පමණක එම පාලම ඉදිකරන ලද බවද ප්‍රකටය. එවක ලක්දිව වැසියන් ජෝන් ප්‍රෙෂර් මහතා හඳුන්වා ඇත්තේ ‘කොටියා ප්‍රෙෂර්’ නමිනි. ඒ 1818 වර්ෂයේදී කැප්පෙටිපොළ දිසාව බ්‍රිතාන්‍ය පාලකයන්ට අල්ලා දීමට මුල්වූ අයකු වීම නිසාය.

1817 වසරේ දෙසැම්බර් මස 02 වැනි දින මියගිය 26 හැවිරිදි ජේම්ස් එඩ්වින් මැක්ග්ලෙෂන් නමැති තරුණයා මිහිදන් කොට ඇත්තේද ගැරිසන් සුසාන භූමියේය. ඔහු වෝටලූ සටනට සහභාගි වූ රණ ශූරයකු ලෙසින් සැලකෙන අතර නැපෝලියන් අධිරාජ්‍යයාගේ බලවත් අවධානය දිනා සිටි පුද්ගලයකු ලෙසද සැලකේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් පාවා දෙන්නන් හා ජාති ද්‍රෝහීන් ලෙස පැවසෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් ජාති ද්‍රෝහියකු ලෙස නම් කරන ලද බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියකු වූ එඩ්මන් සැම්ප්සන් වෝන්ස් නමැත්තාගේ සොහොන් ගැබ පිහිටා ඇත්තේද ගැරිසන් සුසාන භූමියේය. ඔහු මාතලේ දිසාපති කාර්යාලයේ උප දිසාපතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී 1848 වසරේදී මාතලේ ප්‍රදේශයේ ඇතිවූ කැරැල්ලේදී කැරලිකරුවන්ට ඔහුගේ ගිනි අවියෙන් වෙඩි නොතබා බියෙන් පලායාම නිසා ජාති ද්‍රෝහියකු ලෙස නම්කොට තිබේ. ඔහුගේ අවමංගල්‍යයට එවක සිටි කිසිදු බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයකු සහභාගි වී නොමැති අතර සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ජාතිකයන්ගේ ලේ ඥාාතීන් හා සමීපතමයන් එකම වළක මිහිදන් කරනු ලැබුවද පසු කාලයකදී මියගිය ඔහුගේ භාර්යාව මිහිදන් කොට ඇත්තේ වෝන්ස් නමැත්තාගේ සොහොන් ගැබ අසල ඉදිකළ වෙනත් සොහොන් ගැබකය.

වල් අලියකු විසින් පහරදීමෙන් ලංකාවේදී මියගිය හත්වැන්නා ලෙසින් සැලකෙන ජෝන් රොබට්සන් නමැත්තා මිහිදන් කොට ඇත්​තේද ගැරිසන් සොහොන් බිමේය. ඔහු වන අලියකු පහරදීමෙන් මියගිය අවසන් ඉංග්‍රීසි ජාතිකයා ලෙසද පිළිගැනේ.

ගැරිසන් සොහොන් බිමේ අවසන් වරට මිහිදන් කොට ඇත්තේ මහනුවර වැව රවුමේ පදිංචිව සිටි ජේම්ස් ප්‍රීශා නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. පළමුව ඇය වෙනත් ස්ථානයක මිහිදන් කොට පසුව ඇගේ ඥාතීන් ඇයගේ මෘතශරීරය මෙම ඓතිහාසික සොහොන් බිමේ මිහිදන් කිරීම සඳහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පසුපසින් වැටී ඇති අනගාරික ධර්මපාල මාවතේ කෙළවර උඩවත්ත කැලේ වනරක්ෂිත මායිමේ පිහිටි ඓතිහාසික ගැරිසන් සොහොන් බිම නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව උදාකර ඇත්තේ නොමිලේය. එම තත්ත්වය යටතේ විදේශීය සංචාරකයන් ගැරිසන් සොහොන් බිම නැරඹීම සඳහා කැඳවාගෙන ඒමට සංචාරක මගපෙන්වන්නන් එතරම් උනන්දුවක් නොදක්වති. සංචාරක මගපෙන්වන්නන්ගේ මගපෙන්වීමකින් තොරව අන්තර්ජාලය හරහා ලබාගන්නා තොරතුරු මත දෛනිකව විදේශ සංචාරකයන් ගැරිසන් සොහොන් බිමට පැමිණ සොහොන් කොත් ඉදිරියේ ඉටිපන්දම් දල්වා මල් කිනිත්තක් තබා යාච්ඤා කරමින් ඔවුන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කිරීම සාමාන්‍ය කාලයේ සුලබ දසුනකි.

ගැරිසන් හෙවත් නිහඬ සොහොන් භූමිය ලෙසින් හඳුන්වන මෙම සොහොන් බිම ලෙස විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා කොරෝනා වසංගතයෙන් අඩපණ වී ඇති අපේ සංචාරක ව්‍යාපාරය දිරිගැනීම සඳහා සම්පතක් කරගත යුතුය.

•රංජිත් ගුණවර්ධන

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

41 Views