බ්‍රැන්ඩික්ස් කතට වැලඳුණු හැටි පසුව මැතිසබයට කියනවා

බ්‍රැන්ඩික්ස් කතට කොවිඩ් වැලඳුණේ කෙසේදැයි තහවුරු කර ගැනීමෙන් පසු ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) පැවැසුවාය.මෙරටට ගෙන්වූ විදෙස්ගත ශ්‍රමිකයන් 10,000කට වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිටින නමුත්, කිසිදු අවස්ථාවකදී ඉන්දියානුවන් මෙරටට ගෙන්වීමට කටයුතු නොකළ බව ඇමැතිවරිය පැවැසුවාය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව ප්‍රකාශ කළාය.

පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය මෙසේද කීවාය.

‘‘මෙරටට විදේශ විනිමය උපයාදීමට විදෙස් රටවල් බලා ගිය තිස් හතළිස් දහසක් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට රජයට සිද්ධ වුණා. ඔවුන් ගෙන්වා ගැනීමේදී වයිරසය මෙරටට පැමිණීමට පුළුවන්. නමුත් කිසිම රෝගියෙක් පිටරට සිට ගෙන්වා ගත්තේ නැහැ. පළමු පැය විසිහතරේදී වයිරසය ශරීරයේ තිබෙන බව පරීක්ෂණවලදී පෙන්වීම සිදු කරන්නේ නැහැ. එම නිසා පරීක්ෂණවලට ලක්ව මෙරටට පැමිණි අය නිරෝධායන මධ්‍යස්ථානයේදී සෙසු පිරිස් සමග ගැටෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ පසුව කොවිඩ් රෝගීන් 200 ක් පමණ හැම වේලාවකම රෝහල්වලින් දිනපතා ප්‍රතිකාර ගත්තා.

මත්තලට පැමිණි ගුවන්යානය ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් විමසා සිටියා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මේ ගුවන්යානය මෙරටට පැමිණියා. එහි මගීන් 48 ක් ආවා. එම ගුවන්යානයෙන් ඉන්දියානුවන් මෙරටට පැමිණියේ නැහැ. සැප්තැම්බර් 22 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා ඔවුන් නිරෝධායනයට ලක් කළා. කොස්ගොඩ සෙරටන් හෝටලයේ නිරෝධායනය වුණේ. ආයතනික නිරෝධායනය ශ්‍රී ලංකා යුද හමුදාව යටතේත්, ස්වයං නිරෝධායනය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතේත් සිදු කළා.”

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් හමු වූ පළමු කොවිඩ්-19 අසාදිතයාට එම වයිරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් සොයා නැති නම් එය රජයේ බරපතළ දුර්වලතාවයක් බවත්, ඒ හේතුවෙන් රටේ සමස්ත මහජනතාවගේ ජනජීවිතය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බවත් රජය පිළිගන්නේද? යනුවෙන්ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.

එමෙන් ම පසුගිය මස 22 දින ඉන්දියාවේ සිට මෙරටට බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය යටතේ ගුවන් යානාවක් පැමිණියේද? එසේ ගුවන් යානයක් පැමිණියේ නම් එම ගුවන් යානයට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දුන්නේ කවුරුන් විසින්ද, එම ගුවන් යානයේ පැමිණි මගීන් සංඛ්‍යාව කොපමණද, එම ගුවන් යානයෙන් මෙරටට ඉන්දීය ජාතිකයින් පැමිණියේද? එසේ නම් එම සංඛ්‍යාව කොපමණද? එම ගුවන් යානයේ පැමිණි මගීන් නිරෝධායනය වූ කාල සීමාව කොපමණද? ඔවුන් නිරෝධායනය වූ ස්ථානය හෝ ස්ථාන මොනවාද? එම නිරෝධායන ක්‍රියාවලිය සිදු වූයේ කාගේ අධීක්ෂණය යටතේද? ඔවුන් නිරෝධායනය නොවුණේ නම් ඊට හේතු මොනවාද යන්න ගැනත් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

58 total views, 58 views today

The post බ්‍රැන්ඩික්ස් කතට වැලඳුණු හැටි පසුව මැතිසබයට කියනවා appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views