දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ


අඩු මගී ඉල්ලුම හේතුවෙන් අද (21) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් නතර කිරීමට තීරණය කර තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරී රංජිත් පද්මලාල් මහතා සඳහන් කළේ, රට තුළ පවතින කොරෝනා අවදානම හේතුවෙන් නගරාන්තර දුම්රියවල දෛනිකව ගමන් කරන මගීන් ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති බවය.

මේ හේතුවෙන් නගරාන්තර දුම්රිය කිහිපයක් ගමන්වාර අවලංගු කර ඇති අතර තවත් කිහිපයක ගමන්වාර සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව රංජිත් පද්මලාල් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු දුම්රිය ගමනාගමන අධිකාරී රංජිත් පද්මලාල් මහතා,

“කාර්යාල දුම්රියවලට සෙනඟ හිටියට මේ නගරාන්තර දුම්රිය පාවිච්චි කරන්නේ කෙටි ගමන් යන පුද්ගලයින් නිසා ඒ අයගේ ලොකු අඩුවක් තියෙනවා. මේ දුම්රියන් පහ තමයි, පොළොන්නරුව යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, බෙලිඅත්ත දක්ෂිණ සීඝ්‍රගාමී දුම්රිය, කන්කසන්තුරේ උදේ 5.45ට සහ 11.50ට යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ මහනුවර යන උදේ සහ සවස යන සීඝ්‍රගාමී දුම්රිය. මේ දුම්රිය පහම මාසයකට කලින් ආසන වෙන්කර ගැනීමට පහසුකම් තියෙන දුම්රියන්. ගිය මාසය බැලුවහම හැම දුම්රියක්ම ආසන 10කට අඩු ප්‍රමාණයක් තමයි වෙන්වෙලා තියෙන්නේ සති අන්තයේ හැර අනිත් දවස්වල. ඒ නිසා සති අන්තයට ධාවනය කරනවා මහනුවර සහ කන්කසන්තුරේ සීඝ්‍රගාමී දුම්රියන් දෙක. අනෙක් දුම්රියන් ධාවයන කෙරෙන්නේ නෑ. මේ මාසයේ අන්තිමට තියෙන දීර්ඝ සති අන්තයේ නම්, ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා මහනුවර දුම්රිය සහ කන්කසන්තුරේ යන දුම්රියන් දෙක“

මේ අතර, කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව නතර කර තිබේ.

ඔක්තෝබර් මස 29 වන දින දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වා ඇති බව බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

මෙම කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේ දී නොවැම්බර් 15 වන දින දක්වා දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර තිබේ.

The post දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views