ජනමත විචාරණයකට මේ මොහොතේ යන්න අපට අවශ්‍ය නෑ, 5 සහ 22 වගන්ති ඉවත් කර ගන්නවා – අලි සබ්‍රි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව අනුව මේ මොහොතේ ජනමත විචාරණයකට යාමට ආණ්ඩුවට අවශ්‍ය නොවන නිසා එම කෙටුම්පතෙහි 05 සහ 22 යන වගන්ති ඉවත් කරගෙන පාර්ලිමේන්තුවෙහි සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි. 

“පොදුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා මෙම පනත සාමාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි, තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගන්න පුළුවන්, කරුණු 4කට යටත්ව කියලා. 

ඒ තමයි, ජනාධිපතිවරයාගේ බලතල යටතේ 19 වැනි සංශෝධනයේ තිබුණා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න ඕනෙ කියලා. අපි කොහොමටත් එය කමිටු අවස්ථාවේදී සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරලා තිබුණා. ඊට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවා හරින කාලය. අපි කමිටු අවස්ථාවේදී සංශෝධනයක් හැටියට නීතිපතිතුමා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා අවුරුදු දෙක හමාරකින් විතරයි මේක විසුරුවා හරින්නෙ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා අවුරුදු දෙක හමාරකින් විසුරුවා හරිනවා නම් ඒ පිළිබඳව ඔවුන්ට ගැටළුවක් නෑ කියන එක. 

ජනාධිපතිවරයා සිය ධුරය තුළ ගන්නා ලබන යම් යම් තීන්දු තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අභියෝගයට ලක් කළ හැකියි කියන කාරණය වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනෙ කියලා තිබුණා. ඒනිසා අපි එය ඉවත් කරගන්නවා. 

ඊළඟට රාජ්‍ය මාධ්‍යවලට ස්වාධීන මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කාලයේ ලබාදෙනු ලබන උපමාන නිසි පරිදි පිළි නොපදින්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් හැටියට සටහන් කරලා තියෙනවා. එය ඉවත් කරනවා වුවත් නැවත ජනමත විචාරණයකට යන්න ඕනෙ කියලා තියෙනවා. ඒ අනුව මේ වෙලාවෙ ජනමත විචාරණයකට යන්න කිසිම අවශ්‍යතාවයක් නැති හින්දා ඒ දෙක අහක් කරගෙන තමයි ඉදිරියට යන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි. 

The post ජනමත විචාරණයකට මේ මොහොතේ යන්න අපට අවශ්‍ය නෑ, 5 සහ 22 වගන්ති ඉවත් කර ගන්නවා – අලි සබ්‍රි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

46 Views