ග්‍රාම නිලධාරිනියකට ලිංගික බලපෑම් කළ සැකකාර ප්‍රාදේශීය ලේකම්ට ලක්ෂ තුනක ශරීර ඇප

ග්‍රාම නිලධාරිනියකට දුරකථනයෙන් ලිංගික බලපෑම් සිදු කළ බව කියන කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් ලක්ෂ 03 ක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම දිසා විනිසුරු එස්. ඒ. ෆහාමින් නියෝග කළාය.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරිනියක විසින් කර ඇති පැමිණිල්ලකට අනුව පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය 04 වැනිදා තමන් රාජකාරි අවශ්‍යතාවක් සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබාගත් අතර එයට ප්‍රතිචාරයක් නොලැබුණු බව සිද්ධියට මුහුණ දුන් ග්‍රාම නිලධාරිනිය තම පැමිණිල්ලේ සඳහන් කර ඇත. පසුව ප්‍රාදේශීය ලේකම්වරයා තමන්ට එදින සවස දුරකථන ඇමතුමක් ලබාගත් බවත්, ඒ අවස්ථාවේදී සිදු වූ කතාබහ අතරතුර සැමියා සහ තමන් ගත කරන පවුල් ජීවිතය සම්බන්ධයෙන් විමසමින් අනවශ්‍ය ලෙස ලිංගික බලපෑම් සිදු කළ බවද ග්‍රාම නිලධාරිනිය පවසා ඇත.

ප්‍රාදේශීය ලේකම්වරයා හා ඇය අතර පැවති දුරකථන සංවාදයේ හඬපටයක්ද ග්‍රාම නිලධාරිනිය විසින් ඉදිරිපත් කර ඇත. පැමිණිල්ල විභාග කළ දිසා විනිසුරුවරිය සැකකරුට දැඩි ලෙස අවවාද කර ඇප මත මුදා හැර මෙම නඩුව ලබන වසරේ ජනවාරි මස 21 වැනිදා කැඳවීමට නියම කළාය.

ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව සිදු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර සඳහන් කරයි.

82 total views, 82 views today

The post ග්‍රාම නිලධාරිනියකට ලිංගික බලපෑම් කළ සැකකාර ප්‍රාදේශීය ලේකම්ට ලක්ෂ තුනක ශරීර ඇප appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

46 Views