ඉන්දු – ලංකා නාවුක අභ්‍යාසය සාර්ථක ව නිමාවට..

ශ්‍රී ලංකා නාවුක හමුදාව සහ ඉන්දීය නාවුක හමුදාව අතර පැවැත්වෙන වාර්ෂික ද්විපාර්ශ්වික නාවුක අභ්‍යාසය – SLINEX 2020, ඔක්තෝබර් 19 වැනි දා සිට දින 03 ක් නැගෙනහිර මුහුදේ දී පැවැත්විණ.

අභ්‍යාසය 2020 ඔක්තෝබර් 21 වැනි දා සාර්ථක ව නිමා වූ බව නාවුක හමුදාව කියයි.

‍මෙවර 08 වැනි වරට පැවති නාවුක අභ්‍යාසයට ශ්‍රී ලංකා නාවුක හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවුක නෞකා ‘ගජබාහු’ සහ ‘සයුර’ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා සහභාගී වූ අතර, ඉන්දීය නාවුක හමුදාව නියෝජනය කරමින් අයිඑන්එස් ‘කමෝර්ටා’ (INS Kamorta) සහ අයිඑන්එස් ‘කිල්ටාන්’ (INS Kiltan) යන නෞකා හෙලිකොප්ටර් යානා සමග මේ සඳහා එක්විය.

දෙරටේ නාවුක හමුදා අතර අන්තර් ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම සහ දෙපාර්ශවය අතර ඒකාබද්ධ නාවක මෙහෙයුම් අභ්‍යාස කිරීම මෙන්ම අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අරමුණින් පවත්වන ලද මෙම ඒකාබද්ධ නාවුක අභ්‍යාසය තුළ දී ‘කිල්ටාන්’ හා ‘ගජබාහු’ නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබෑමේ අභ්‍යාස, නෞකා පෙලහැඩ අභ්‍යාස, අවි හැසිරවීමේ හා වෙඩි තැබීමේ අභ්‍යාස සහ සෙවීම් හා මුදවාගැනීම් අභ්‍යාස සාර්ථක ව පවත්වන ලදී.

කොවිඩ් – 19 ව්‍යප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් දෙපාර්ශ්වයේ නාවුක පුද්ගලයින් අතර දුරස්ථභාවය පවත්වා ගනිමින් අභ්‍යාසය පැවතිණ.

මෙවැනි නාවික මෙහෙයුම් අභ්‍යාස මගින් ස්වකීය හැකියා සහ සීමා පිළිබඳ දෙපාර්ශ්වය අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩිදියුණු කර ගැනීමටත් දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සැළසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views