MAS Holdings නිල නිවේදනය


MAS සමූහය කවදත් එහි කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙයි. එහෙත් මේ අනපේක්ෂිත අභියෝග සහිත කාලසීමාවේදී, අප විසින් අනුගමනය කරන ලද සියලුම ආරක්ෂක ක්‍රමවේද හමුවේ පවා, අපගේ සේවක සේවිකාවන් කිහිප දෙනෙකුට (අධි අවදානම් කලාප වල පදිංචි) COVID-19 රෝගය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. එම නිසා, මෙම පුද්ගලයන් හා එම පුද්ගලයන්ගේ පවුල්වල අයට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමටත්, ඔවුන්ට හැකි ඉක්මනින් නැවත යහපත් සෞඛ්‍ය තත්ත්වය ළඟා කරගැනීම සඳහා අත්වැලක් සැපයීමටත් අපි මේ මොහොතේ කැපවී සිටින්නෙමු.
අපගේ සේවක සේවිකාවන් හා සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා, රජය හා සෞඛ්‍ය බලධාරීන් සමග එක්වී, අපගේ කර්මාන්තශාලා හා පරිශ්‍රයන් තුළ පහත සඳහන් විධිවිධාන ක්‍රියාත්මක කර තිබේ.

■ මිනුවන්ගොඩ පොකුර සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගන්නා ලද මුල් අවස්ථාවේදීම, නිට්ටඹුව MAS Active Sleekline ඇතුළුව, පොලිස් ඇඳිරිනීතිය පනවන ලද ප්‍රදේශ වල පිහිටි අපගේ කර්මාන්තශාලා සියල්ල ඔක්තෝබර් 04 වන දින සිට වසා දැමීමට පියවර ගන්නා ලදි.

■ මෙම කර්මාන්තශාලා වල සේවය කළ හෝ යම් යම් ආකාර වලින් එම කර්මාන්තශාලා සමග සම්බන්ධ වූ, අධි අවදානමට ලක් වූ පුද්ගලයන් ලෙස හඳුනාගත හැකි වූ සියලුම දෙනාට ස්වයං නිරෝධනය වන ලෙස දැනුම් දෙන ලද අතර ඔවුන් සඳහා PCR පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.

■ කනගාටුදායක ලෙස, මෙම පරීක්ෂණ මගින් අපගේ සේවක සේවිකාවන් කිහිපදෙනෙකුට රෝගය වැළඳී ඇති බව තහවුරු විය. ඔවුන් දැනට රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනු ලැබේ.

■ ආසාදිත සේවක සේවිකාවන්ගේ සමීපතමයන් හඳුනාගැනීම සඳහා අප අදාළ බලධාරීන්ට සහය ලබාදී ඇත. රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය ඇතිව එම පුද්ගලයන්ටද PCR පරීක්ෂණ සිදුකෙරේ.

■ ඔක්තෝබර් 04 දින සිට වසා දමා ඇති කර්මාන්තශාලා නැවත විවෘත කිරීමට පෙර, සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව, ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තක්සේරුවක් සිදුකෙරෙනු ඇත.

■ සමාජ දුරස්ථකරණය, පවිත්‍රතාව හා විෂබීජහරණය වැනි කරුණු සම්බන්ධ විධිවිධාන හඳුන්වා දී ඇති අතර, කර්මාන්තශාලා නැවත විවෘත කිරීමෙන් පසුව ඉදිරියටත් අඛණ්ඩව එම විධිවිධාන දැඩිව ක්‍රියාවට නැංවීමට නියමිත ය.

■ බලධාරීන්ගේ නිර්දේශ අනුව, රට පුරා පිහිටි සියලුම MAS කර්මාන්තශාලාවලදී PCR පරීක්ෂණ සිදුකරන ලදි. එම පරීක්ෂණ වලදී, කිසිවෙකුටත් රෝගය වැළඳී නොමැති බව තහවුරු විය. කෙසේ වුවත් පවතින තත්ත්වය අනුව, කිසියම් පුද්ගලයෙකුට රෝගය ආසාදනය වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපගේ කණ්ඩායම් වෙත පැහැදිලි මාර්ගෝපදේශ ලබා දී තිබේ.

■ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වී තත්ත්වය දිගින් දිගටම සමීපව නිරීක්ෂණය කිරීමටත්, වෛරසය අපගේ කර්මාන්තශාලා තුළ පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගැනීමටත් අපි කටයුතු කරන්නෙමු.

■ මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ අපගේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට උපදෙස් හා සහයෝගය ලබාදීමටත්, ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් සැපයීමටත්, පැය 24 පුරා ක්‍රියාත්මක COVID-19 සහය සේවා දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

වැරදි සහ අසත්‍ය තොරතුරු සංසරණය වීම වැළැක්වීම සඳහා, පවතින තත්ත්වය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව නිරන්තර යාවත්කාලීන කිරීම් සිදුකිරීමට අප කටයුතු කරන අතර, රෝගය වැළඳී ඇති බවට හඳුනා ගන්නා ලද සහ රෝගයට නිරාවරණය වී ඇති පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

The post MAS Holdings නිල නිවේදනය appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 Views