දිගටම ඔන්ලයින්ම උගන්වමුද?

කොරෝනා වයිරසයත් සමග මතු වූ මාර්ගගත (Online) අධ්‍යාපන ක්‍රමය යළිත් වරක් සක්‍රිය වී තිබේ. යළිත් වරක් කොරෝනා වයිරසය පැතිරෙන්නට පටන් ගෙන ඇති බැවිනි. මෙවර සමාජය තුළ වයිරසය පැතිර යෑමේ අවදානම වැඩි නිසා හැම කෙනකුම සංචරණය උපරිම වශයෙන් සීමා කරන්නට පියවර ගෙන තිබේ. මෙම තත්ත්වය මත පාසල් පමණක් නොව ඇතැම් විශ්වවිද්‍යාලයක පීඨයන් පවා මාර්ගගත ක්‍රමයට යළි අවතීර්ණ වී සිටී. පෞද්ගලික පන්ති හෙවත් ටියුෂන් පන්තිද දැන් පැවැත්වෙන්නේ මාර්ගගත ක්‍රමයට පමණය.

කොරෝනා නිසා අප පුරුදු වූ යහපත් සෞඛ්‍ය ක්‍රියාකාරකම් කොරෝනා නැතත් අනුගමනය කිරීම අපේ සෞඛ්‍යයට යහපතකි. මේ ආකාරයට කොරෝනා නැතත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයද පවත්වාගත හැකි නම් අංශ කිහිපයක් ඔස්සේම ඉතා වැදගත් වනු ඇත. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය පවත්වාගත යුතු යැයි කී වහාම ඊට එරෙහිව එල්ලවන ප්‍රධාන තර්කය වන්නේ රටේ සියලු දෙනාට අන්තර්ජාල පහසුකම නොමැති බවය. අතේ මුදල් තිබුණත් මෙම තාක්ෂණ පහසුකම් ලබාගත නොහැකි විශාල පිරිසක්ද රට තුළ සිටින බවය.

මේ ආකාරයට මෙම ක්‍රමයේ ඇති දුර්වලතා හෝ අඩුපාඩු තවත් තිබේ. ඇතැම් ගුරුවරුන්ද මෙම ක්‍රමයට ඉගැන්වීමට ඇති අකැමැත්ත හා තාක්ෂණයට බිය වීම හෝ ඒ ගැන නොදැනීම ගුරුවරයා හා ශිෂ්‍යා අතර සන්නිවේදනය බිඳවැටීම ඒ අතරින් ප්‍රධානය. ගුරුවරුන් මාර්ගගත ක්‍රමයට උගන්වන්නේද, පන්ති කාමරය තුළ ඉගැන්වූ අන්දමට වීම, මෙම ක්‍රමයේ පවතින ප්‍රධාන දුර්වලකමකි.

මේ සියල්ල සත්‍ය වුවත්, මේ කිසිවක් වෙනස් කළ නොහැකි දේවල් නොවේ. රටේ ඇතැම් තැනකට තවමත් විදුලිය බලය හෝ නොමැති නමුත් මේ වන විට රටේ ජනගහනයෙන් අඩකට පමණ අන්තර්ජාල පහසුකම් තිබේ. මේ වසරේ ජනවාරි මාසය වන විට මෙරට අනත්ර්ජාල පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන දහයයි දශම එකකි. 2019 වසරේ සිට 2020 ආරම්භය වන විට අන්තර්ජාල පරිශීලකයන්ගේ සංඛ්‍යාව සියයට හතරයි දශම එකකින් (4.1%) ඉහළ ගොස් තිබේ. මේ වන විට මෙම සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බවට සැකයක් නැත. මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ අවශ්‍යතාවක් තිබුණත් නැතත් පහසුකම් සංවර්ධනය හා ජනතාව තාක්ෂණයට හුරුවීම නොනවතින ක්‍රියාවලියකි.

මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට එරෙහිව නැගෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ මේ ක්‍රමය නිසා නැතිබැරි දරුවාට අසාධාරණයක් සිදුවන බවය. එසේ වුවත් තාක්ෂණික පහසුකම් වර්ධනය කරගෙන මෙම ක්‍රමය පවත්වාගෙන යා හැකි නම් දැනටත් අධ්‍යාපනයේ පවතින බරපතළ විෂමතාවන් තුරන් කර ගැනීමට හැකිවන බව අපගේ අදහසය. වත්මන් අධ්‍යාපන ක්‍රමයේ පවතින බරපතළ අඩුපාඩුවක් වන්නේ නාගරික නොවන දුර බැහැර ප්‍රදේශවලට හොඳ ගුරුවරුන්ගේ සේවය නොලැබීමය. එහෙත් මාර්ගගත ක්‍රමය හරහා කොළඹ ගුරුවරුන්ගෙන් වුවත් ඉගෙන ගැනීමට දුර බැහැර දරුවන්ට අවස්ථාව ලබාදිය හැකිය.

මේ ආකාරයට රටේ සියලුම දරුවන්ට හොඳම ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබා දීමට හැකිනම් ටියුෂන් හෙවත් උපකාරක පන්ති සඳහා ඇති තරගය හා තදබදය නැති කිරීමටද හේතුවක් වනු ඇත. මෙහිදී ටියුෂන් ගුරුවරුන්ගේ ආදායම අහිමි වී යෑමක් සිදුවිය හැකි නමුත් ඔවුන්ටද මාර්ගගත ක්‍රමය හරහා තම පන්ති පවත්වාගෙන යෑමට බාධාවක් නොමැති නිසා ඒ ගැන කලබල විය යුතු නැත.

ටියුෂන් ගුරුවරුන්ද මාර්ගගත ක්‍රමයට පන්ති පවත්වන්නේ නම් රටේ ඕනෑම තැනක සිටින දරුවකුට රටේ සිටින ජනප්‍රියම හා දක්ෂම ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවේ. එසේම ටියුෂන් ගුරුවරුන්ටද රටේ තැන තැන නොයා එක තැනක සිට ඉතා පහසුවෙන් රටපුරාම සිටින සිසුන්ට එකවර ඉගැන්වීමට හැකි වේ.

මේ ආකාරයට රටපුරාම සිටින සිසුන්ට එකාකාරව පාසල් අධ්‍යාපනය මෙන්ම උපකාරක පන්ති අධ්‍යාපනයද ලබාගත හැකි නම් සහ ජනප්‍රිය පාසල් පිස්සුවටද හොඳ බෙහෙතක් විය හැකිය.

මේ සියල්ලටම වඩා වත්මන් තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ අපේ දරුවන් ලබන බරපතළ මානසික හා කායික පීඩනය මේ නිසා තුරන් කරගත හැකි නොවේද? හිරුටත් කලින් නිදිමතේ, කුසගින්නේ පාසල් යන දරුවා යළි නිවසට එන්නේ රාත්‍රී ජාමයේය. ඇත්තෙන්ම මේ ක්‍රමයෙන් අප බිහි කරමින් සිටින්නේ මානසිකව, මෙන්ම ශාරීරිකවද රෝගී වූ වැඩිහිටියන්ය. මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදිය හැකි නම් අඩුම ගණනේ දරුවන්ට කායික, මානසික සුවයෙන් යුතුව ඉතා හොඳින් අධ්‍යාපනය ලැබිය හැකි වනු ඇත. පාසල් හා උපකාරක පන්ති සතියේ දින හතේම ඒකාකාරව නගර ආශ්‍රිතව ඇතිවන අධික වාහන තදබදයට හේතුවකි. එහෙත් පාසල් පමණක් නොව ටියුෂන් පන්තිද මාර්ගගත ක්‍රමයට පැවැත්විය හැකි නම් මේ වාහන තදබදය තවදුරටත් නොපවතිනු ඇත. එලෙස වාහන තදබදය අඩුකර ගත හැකි නම් විශාල ඉන්ධන ඉතිරියක්, දෙමාපියන්ගේ මුදල් ඉතිරියක්, රටේ සියලු දෙනාගේ කාලය ඉතිරියක් කර ගැනීමට හැකිවනවා පමණක් නොව රටේ වායු දූෂණය අඩුකර ගැනීමටද හේතුවක් වනු ඇත.

කෙසේ වෙතත් අධ්‍යාපනය යනු පොතේ පාඩම් ඉගෙනීම හා විභාගවලට පෙනී සිටීම පමණක් නොවන බවත් මේ ක්‍රමය දරුවන් අතර කණ්ඩායම් හැඟීම, සමාජානුයෝජනය නැතිවීමටත් හේතුවක් බවට ඇතැමෙකුට තර්කයක් තිබිය හැකිය. එය සත්‍යයකි. නමුත් නූතන තාක්ෂණය විසින් බාල පරම්පරාව පමණක් නොව වැඩිහිටියන් පවා දැනටමත් හුදෙකලා සත්ත්වයන් බවට පත්කර ඇති බව අප පිළිගත යුතුය. එය වෙනස් වන්නේ ක්‍රීඩා තරග, ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් හේතුවෙනි. ඉගැන්වීම් මාර්ගගත ක්‍රමයට කළද මෙම විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු කිරීමට කිසිදු බාධාවක් නැත. ඇත්තෙන්ම එම ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම කළ යුතුය. ඉගැන්වීම් මාර්ගගත ක්‍රමයට සිදුවන්නේ නම් මෙම ක්‍රියාකාරකම් සඳහා වන ශිෂ්‍ය සහභාගිත්වය දැනට වඩා ඉහළ යෑමටද ඉඩ තිබේ.

අප කැමැති වුවත් අකැමැති වුවත් ලෝකය සීග්‍රයෙන් ගමන් කරමින් සිටින්නේ අධි තාක්ෂණ යුගයක් වෙතය. අප රටක් ලෙස සිටින්නේ ඒ වේගවත් ගමනේ අගිස්සටත් පිටුපසින් යැයි කීමේ වරදක් නැත. එහෙත් කොරෝනා වසංගතය විසින් අපට මතුකර දී ඇති අවස්ථා ප්‍රයෝජනයට ගෙන මේ ගමන වේගවත් කිරීමට අවශ්‍ය ජවය ලබා ගැනීමට අපට හැකිවනු ඇත.

මේ සඳහා ඇති මූලිකම අවශ්‍යතාව වන්නේ මෙවැනි වෙනසක් සඳහා ඇති ඕනෑකමය. ඕනෑකම ඇත්නම්, ඕනෑ දෙයක් කළ හැකිය. යමක් කළ යුතු ආකාරය කල්පනා කළ හැක්කේ ඊට ඕනෑකමක් ඇත්නම් පමණකි. රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම එක රැයින් මාර්ගගත ක්‍රමයට පරිවර්තනය කළ නොහැකිය. එසේම පවතින පාසල් ක්‍රමය සියයට සියයකින්ම මාර්ගගත කළ යුතුද නැත. අවම වශයෙන් ආරම්භයක් ලෙස පාසල් කාලයෙන් සියයට පනහක්, සියයට විසිපහක් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට වෙන් කළ නොහැකිද? එසේ කල්පනා කළ හැක්කේ මෙය කළ යුතු දෙයක් යැයි පිළිගෙන කල්පනා කළහොත් පමණය.

The post දිගටම ඔන්ලයින්ම උගන්වමුද? appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views