ගම්පහ ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල වෙළඳ සැල් අද පැය 14 ක් විවෘතයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප‍්‍රදේශ 19 තුළ පිහිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඖෂධ සැල් අද (20) දිනයේදී යළි විවෘත කෙරෙයි.

මේ අනුව අද උදෑසන 08 සිට රාත්‍රි 10 වන තෙක් සියලූ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල්, වෙළඳසැල් සහ ඖෂධ සැල් විවෘතව තැබෙයි.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ නොවන අයුරින් ළගම ඇති වෙළඳසැලෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළයට ගන්නා ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

සෑම නිවසකින්ම එක් පුද්ගලයෙකු පමණක් ඒ සඳහා නිවසින් පිටතට යන ලෙසටයි පොලිසිය ජනතාවට දන්වා සිටින්නේ.

මේ අතර නුවර පාරේ සහ මීගමුව පාරේ ගමන් ගන්නා වාහන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී අද දිනයේදී කිසිදු ස්ථානයක නතර කිරීමක් සිදු නොකළ යුතු බව පොලීසිය දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ කලාපයේදී කිසිදු වාහනයක් නතර කිරීම/ පුද්ගලයන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදු නොකළ යුතු බවයි.

කෙසේවෙතත් උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට පමණක් එය අදාළ නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views