20 ඡන්දය අනිද්දා.. ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය දක්වමින් පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

සියලුම ජනමාධ්‍ය වෙත පිටපත් සහිතව එම පක්ෂ මහලේකම්වරයා විසින් යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.

2020 ඔක්තෝබර් 19 දින

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1

අතිගරු ජනාධිපතිතුමනි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පක්ෂ ස්ථාවරය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 2020 ඔක්තෝබර් 21 සහ 22 දිනයන්හි පාර්ලිමේන්තුවේ දී විවාද කර ඡන්දය විමසීමට නියමිතය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට ජනතාව විසින් ලබා දෙන විධායක බලයෙන් සැලකිය යුතු කොටසක් අගමැතිට සහ කතානායකගේ සභාපතිත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවට ලබා දීමෙන් හිස් තුනක පක්ෂියෙකු බඳු රාජ්‍යයක් නිර්මාණය වී ඇත. පසුගිය ආණ්ඩුව අසාර්ථක වීමට බල පෑ ප්‍රධානතම කරුණ වූයේ එයයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළ හැකි ජනවරමක් අප ඉල්ලා සිටියේ එබැවිනි. ඒ අනුව ප්‍රතිපත්තියක් ලෙස අප විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නමුත් එහි බරපතල සංශෝධන කිහිපයකට ලක් කළ යුතු බව පක්ෂ ස්ථාවරයයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය මේ වන විට ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ සඳහන් ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති උල්ලංඝණය වෙනවා ද යන සීමිත කරුණ පමණි. එබැවින් 20 වන සංශෝධනයේ අඩංගු කරුණු වල දේශපාලන සහ සමාජ බලපෑම පිළිබඳ සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බව අපගේ අදහසයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳ පක්ෂයේ ස්ථාවරය පක්ෂයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමා විසින් ඇමති මණ්ඩලයේ දී ද ඔබතුමා සමග පෞද්ගලිකව ද විසිවන සංශෝධනය පිළිබඳ අගමැතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෙකු ලෙස එහි දී ද දැන් වූ බව පක්ෂයට වාර්තා කර ඇත. නීතිපතිතුමා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් කමිටු අවස්ථාවේ කරන බවට දක්වා ඇති සංශෝධන වලින් නොවිසඳුණු ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වලට ද බලපාන ප්‍රධාන කරුණු පිළිබඳ පක්ෂයේ මතය අපි මතු දක්වා සිටිමු.

1. හදිසි පනත් සම්මත කිරීම

ගැසට් මගින් පනත් කෙටුම්පත් ප්‍රසිද්ධ නොකර හදිසි පනත් සම්මත කිරීමට විධිවිධාන යෝජනා කිරීම මහජනතාවට එකී පනත් කෙටුම්පත් පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව අහිමි කිරීමක් පමණක් නොව එහි අඩංගු ව්‍යවස්ථා විරෝධි විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ද අවස්ථාව අහිමි කිරීමකි. ජේ ආර් ජයර්වධන ජනපතිතුමා 1987 දී දැවැන්ත ජනතා විරෝධයක් මැද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ද චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විසින් 2000 දී පෙඩරල් ව්‍යවස්ථාව ගෙන ආවේ ද මෙම වගන්තියට මුවා වෙමිනි. ජාතියට තීරණාත්මක පනත් කෙටුම්පත් හදිසි පනත් ලෙස ගෙනැවිත් ජනතාවට ඒ පිළිබඳ අදහස් දැක්වීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අප්‍රසන්න ඉතිහාසයක් ඇති බව මෙහි දී සිහිපත් කළ යුතුය.

2. රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගම විසින් අවස්ථා ගණනාවක දී එයාර් බස් මිළ දී ගැනීමේ දී ප්‍රකෝටි ගණනක වංචාවක් සිදු වී ඇති බව පාර්්ලිමේන්තු කෝප් කමිටුව ඉදිරියේ හෙලිදරව් වූයේ විගණකාධිපතිගේ විගණනය මගිනි. එබැවින් මහජන මුදල් 50%ට වඩා යොදවා ඇති ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ බලය විගණකාධිපති සතු විය යුතුය. එය කොමිෂන් සභා සම්බන්ධයෙන් ද අදාළය.

The post 20 ඡන්දය අනිද්දා.. ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views