කතෝලික සභාවත් 20 වන සංශෝධනය එපා කියයි.

තුනෙන් දෙකේ බලය ජනතාවගේ සැබෑ හෘදය සාක්ෂිය ප්‍රකාශ නොකරයි!

අද දිනයේ ( ඔක්;13) නිවේදනයක් නිකුත් කරමින් කතෝලික සභාවේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් පිලිබදව තීරණ ගනු ලබන ශ්‍රිලංකාවේ කතෝලික රදගුරුවරුන්ගේ සම්මේලනය ප්‍රකාශ කර සිටියේ ව්‍යවස්ථාවට ආණ්ඩුව ගෙන ඒමට යෝජනා කර ඇති 20 වන සංශෝධනය නොගෙන ආ යුතු බවය. ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම  මේ මොහොතේ ජාතික ප්‍රමුඛතාව විය යුතු බව  සම්මේලනයේ අදහසයි.

මෙම නිවේදනය නිකුත් කර  තිබුණේ, එහි සභාපති, බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් සහ මහලේකම්, කොළඹ සහායක රදගුරු අතිඋතුම් ඇන්තනී ජයකොඩි හිමිපාණන්ගේ අත්සනිනි.

සංශෝධනයකදී හෝ අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පළමුවෙන්ම සිදුවිය යුත්තේ ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම බව සම්මේලනය අවදාරණය කර සිටියි.

1994 සිට බලයට පත්වූ සියලුම ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් 1978 ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ පාර්ලිමේන්තුවට දුන් බලය ලබාදීමටත් පොරොන්දු දුන් බව එම නිවේදනයේ සිහිපත් කර තිබේ.

කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙන්නේ, ජනතාව නොදන්නා හේතු සාධක නිසා මෙම පොරොන්දුව කිසිවෙක් ඉටුකර නොමැති බවත් සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බව එම සම්මේලනයේ මතයයි.

දේශපාලන පක්ෂ මත පදනම් වූ පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් ජනතාවගේ සැබෑ හෘදය සාක්ෂිය ප්‍රකාශ නොකරන බව කතෝලික රදගුරු සම්මේලනය සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

සම්පූර්ණ පාර්ලිමේන්තුවම ස්වාධීන ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවත් එය විනිවිද භාවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී, නීතියේ ආදිපත්‍ය සුරකින හා සියලු ජනතාවට එක හා සමානව සලකන ව්‍යවස්ථාවක් විය යුතු බව එහි සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 Views