LPL තරගාවලියේ නිල ලාංඡනය නිකුත් වෙයි

ලබන මස 21 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල ලාංඡනය, තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවන IPG ආයතනය විසින් අද (18) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.

සිංහයෙකුගේ ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ නිල ලාංඡනයේ ප්‍රධාන තේමාව බවට පත්ව තිබේ. එසේම LPL ලාංඡනය මගින් ශ්‍රී ලාංකික ජාතිය පොහොසත්, සංස්කෘතිය හා උරුමය අගයන, ජනතාවගේ නිදහස් ගලා යාම සහ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිටියේ සිටින විට ඔවුන් දක්වන නිර්භීත ආකල්ප නිරූපණය වන අයුරින් නිර්මාණය කර තිබේ.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

LPL නිල ලාංඡනය පිළිබඳව අදහස් දක්වමින් IPG ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අනිල් මොහාන් මහතා පවසා සිටියේ, “LPL ලාංඡනය මගින් ශ්‍රී ලංකාවේ ජනතාව, සංස්කෘතිය සහ ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන සුවිශේෂී බව වගේ දේවල් නිරූපණය වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ සෑම දෙනාගේම හදවතේ වැදගත් ස්ථානයක් දරනවා. ඒ නිසා සැබවින්ම ජාතියේ අභිමානවත් බව මේ ලාංඡනයෙන් හොඳින්ම පේනවා” යනුවෙනි.

“LPL ලාංඡනය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංකේතය සහිත ජාතික වර්ණවල විස්මිත වර්ණයන් ඇතුළත් කරලා තියෙනවා, මේ වගේ ලාංඡනයක් දැකීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ ලාංඡනය හරහා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සහ රසිකයින්ට උත්සවය සමඟ පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ බව මට විශ්වාසයි” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.

තවද පසුගිය දා (09) වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබූ LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ අතර එම කල් දැමුණු ක්‍රීඩක වර්ගීකරණය (Draft) මේ මස 19 වැනිදා අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට නියමිතව ඇත. ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් 75 දෙනෙකු සහභාගී වන බව වාර්තා වේ.

නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ තරගාවලිය (LPL) නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වූයේ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

නව තරග කාලසටහනට අනුව තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර දඹුල්ල, මහනුවර, කොළඹ, යාපනය සහ ගාල්ල ලෙස කණ්ඩායම් 5ක් තරගාවලියට සහභාගී වේ. 

තරගාවලියේ තරග හම්බන්තොට, දඹුල්ල සහ පල්ලෙකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වීම සඳහා මුලින් තීරණය වී තිබූ නමුත් ක්‍රීඩකයින්ගේ Bio Bubbles විටින් විට මාරු කිරීමේ දී තිබෙන ගැටලු නිසාවෙන් දඹුල්ල ක්‍රීඩා පිටිය තරග කාලසටහනෙන් ඉවත් කිරීම සඳහා තීරණය කර ඇත.

කෙසේ නමුත් මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින්ට සිදු වනු ඇත්තේ නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් වුවත් එය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසර (2020) අවසන් වීමට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව සිටි අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වූ බංග්ලාදේශ කණ්ඩායමේ මෙරට තරග සංචාරය ද නොපැවැත්වෙන නිසා මෙම වසර තුළ දී ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිසිවක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

The post LPL තරගාවලියේ නිල ලාංඡනය නිකුත් වෙයි appeared first on ThePapare.com.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views