20 වැනි සංශෝධනය ආරම්භය සහ එහි ගමන් මග – නීතිඥ ජගත් ලියනාආරච්චි   

20 වැනි සංශෝධනය ආරම්භය, එහි ගමන් මග සහ කාලවකවානු පිළිබඳ මතකය අළුත් කර ගැනීම කරන්නටයි මම උත්සාහ දරන්නේ. එය ඉදිරි සාකච්ඡාවලට ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරනවා.

2019 නොවැම්බර් ජනාධිපති මැතිවරණයට පාවිචිච් කළ මැතිවරණ ප්‍රකාශනය 2020 මහ මැතිවරණයට එලෙසින්ම පාවිවිචි කළා. එහි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන මිස 20වැනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමක් ගැන සඳහන් වන්නේ නැහැ. 1978 ව්‍යවස්ථාවේ තිබු දෝෂ නිවැරදි කිරීමට ගෙන ආ 19 සංශෝධනය භයානක  වු නිසා ඉදිරියට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරද්දි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් සහ පුළුල් මහජන සහභාගිත්වයක් ඇතිව කරන බවත් එහි සඳහන් වි තිබෙනවා. ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවයි  අවධාරණය කර තිබෙන්නේ. නමුත් මැතිවරණ ප්‍රචාරක වේදිකාවේ 19 සංශෝධනය ඉවත් කර 20 වැනි සංශෝධනයක් ගෙනෙන බව බරපතල විධියට මතු කළා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ තාක්ෂණික ප්‍රවේශය ලෙසට 20 වැනි සංශෝධනය ගෙන එනවා.

1978 ව්‍යවස්ථාව මේවන විට 19 වතාවක් සංශෝධනය කොට තිබෙනවා. මෙම සංශෝධන අතර 12 වැනි සංශෝධනයක් ගැන සඳහන් වුවත් එවැනි සංශෝධනයක් නොමැති නිසා ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාව සංශෝධනය වී ඇත්තේ 18 වතාවක් යැයි කිව හැකියි. 13, 17, 19 හැරුණාම අනෙක් සියලුම සංශෝධනවලින් උත්සාහ කොට තිබෙන්නේ විධායක බලතල වැඩි කර ගැනීමට බව පේනවා. 13 වන සංශෝධනය  ශ්‍රී ලංකා රජය විසින් සවාධීනව ගත් තීරණයක ප්‍රතිඵළයක් නොවන අතර ඉන් අපේක්ෂා කළේ මෙරට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලෙස ඉන්දියාව සමඟ අත්සන් කළ ඉන්දුලංකා ගිවිසුමේ ප්‍රකාර බලය විමධ්‍යගත කිරීමයි. 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධනවලින් උත්සාහ කොට තිබෙන්නේ විධායක බලය යම්කිසි සංවරණ හා තුලන ක්‍රමයකට ලක් කිරීමටයි. අනෙක් සියලුම ව්‍යවස්ථා සංශෝධන වලින් කර තිබෙන්නේ 1978 ව්‍යවස්ථාවේ විධායක බලතල තවත් වැඩි කිරීමයි. නමුත් ව්‍යවස්ථා සංශෝධකයින්ගේ තර්කය වුයේ තමන් 1978 ව්‍යවස්ථාවේ විධායක බලතල  අඩු කිරීමට උත්සාහ දරන  බවයි. මේ තත්ත්වය වෙනස් වුණේ 17 වන සංශෝධනයෙන්. 18 වන සංශෝධනයෙන් නැවත විධායක බලතල වැඩි කර ගත්තා. 19 ව්‍යවස්ථාවෙන් නැවත විධායක බලතල අඩු කිරීම, රාජ්‍ය සේවය සවාධීන කිරීම වැනි අංග රැසක් හඳුන්වා දුන්නා.

මෙය ආපිට පෙරලිමටයි 20 සංශෝධනය මඟින් උත්සාහ කරන්නේ. 20 වැනි සංශෝධනය මහජනතාව අතට පළමුවතාවට නෛතික ලියවිල්ලක් ලෙසට ඉදිරිපත් වන්නේ සැප්තැම්බර් මස 02දා ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙසට පළවන විටයි. මෙම ලියවිල්ලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කළා. සැප් 22 දින අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම 20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිත් විශේෂත්වයක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මෙතෙක් ඉදිරිපත් කොට තිබෙන්නේ අගමැතිවරයා විසින් පමණයි. ඊට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ආණ්ඩුවකට ඉතාමත් තීරණාත්මක කාර්යක් වන නිසා සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්නේ අගමැතිවරයා විසිනුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනත් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විසින් ද 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතා 12 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත් දෙකම සම්මත වුණේ නැහැ. නමුත් ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන සියල්ලම ඉදිරිපත් කර තිබෙන්නේ අගමැතිවරයා විසින් වන අතර ගැසට් පත්‍රයේ පළ කරන්නේත් අගමැතිවරයාගේ නමින්. මෙවර තිබෙන විශේෂත්වය නම් අධිකරණ ඇමැතිවරයාගේ නමින් ගැසට් පත්‍රයේ පළ කිරීමත් අධිකරණ ඇමතිවරයා විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්.

මෙම ඉදිරිපත් කිරීමට පෙර අගමැතිවරයා විසින් 20වන ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම පිණිස කමිටුවක් පත් කරනු ලැබුවා. මෙම කමිටුවට අධිකරණ ඇමැතිවරයාත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් සහ කැබිනට් නොවන ඇමතිවරු කිහිප දෙනෙකුත් ඇතුලත් වුණා. කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයේ ම සාමාජකයෙක් වන අගමැතිවරයා විසින් කැබිනට් සහ කැබිනට් නොවන ආමාත්‍යවරුන්ගෙන් යුත් කමිටවුක් පත් කරන්නේ ඇයිද යන්න ගැටළුවක්. මෙම වාර්තාවෙහි අඩංගු කරුණු පිළිබඳව මාධ්‍යවල වාර්තා පළ වුවත් අවසානයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ ගැසට් පත්‍රයේ පළ කළ කෙටුම්පතයි.

පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළාට පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින හතක් ඇතුලත පුරවැසියෙකුට  එම පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකුලභාවය පරික්ෂා කිරීම පිණිස අධිකරණයට යා හැකියි. මේ අනුව පෙත්සම් 39 අධිකරණයට ගොනු වෙනවා. ඉන් 37 විභාගයට ගන්නවා. දින පහක් තිස්සේ විභාග කොට පෙත්සම් විභාගය ඔක් 06 දින අවසාන කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම් සලකා බලා 20 සංශෝධනයේ තිබෙන සියලුම අඩුපාඩු සකස් කොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කිරීමක් කරනු ඇතැයි කෙනෙක් තුළ විශ්වාසයක් තිබිය හැකියි. අධිකරණයේ කාර්යභාරය වන්නේ ගැසට් පත්‍රයේ පළ කර තිබෙන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ගැටෙනවා ද නැද්ද යන්න සහ පනත සම්මත කර ගැනීම පිණිස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය පමණක් ප්‍රමාණවත් ද එසේත් නැත්නම් ජනමත විචාරණයකට යා යුතුද යන්න  පරික්ෂා කර බැලීමයි. එලෙසම ජනමත විචාරණයකට නොගොස් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් වගන්ති සංශෝධන විය යුතු ආකාරය නිර්දේශ කළ හැකියි. නමුත් මෙම සංශෝධන නොගෙන ආ යුතුයැයි නිර්දේශ කිරීමට බලයක් ශ්‍රෙෂ්ඨාධිකරණයට නැහැ. අධිකරණයට පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකුලභාවය පරික්ෂා කිරීම පිණිස අවස්ථාවක් ලබා ගැනීම වැදගත්. එක් අතකින් පුරවැසියන් සිය අයිතිය භාවිතා කරන අවස්ථාවක් විමත් අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදි පනත් ඉදිරිපත් කිරීමටත් ඉන් අවස්ථාවක් උදා වෙනවා.

පෙත්සම් විභාගය ආරම්භ වු ප්‍රථම දිනයේම නීතිපතිවරයා විසින් අධිකරණයට 20 වැනි සංශෝධනයේ කාරක සභා අවස්ථාවේදි ආණ්ඩුව  ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන සංශෝධන ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා. මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කොට ඇති එම ලේඛනය පරික්ෂා කරන විට පෙනී යන කාරණයක් නම් එය හරියට අතීතයේ පොත් ප්‍රකාශ‌ෙයක් විසින් සිය පොත් අගට එකතු කළ ‘ශූද්ධි පත්‍රයට’ සමාන බවයි. 20 සංශෝධන මුල් කෙටුම්පතෙහි තිබු තාක්ෂණික ගැටළු විසදා ගැනීමට දරන ලද උත්සහායක් ලෙස එම ලේඛනය හැඳින්විය හැකියි. මේ ගණයට අයත් නොවන සංශෝධන දෙකක් තිබෙනවා. එකක් නම් විගණනකාධිපතිවරයාගේ විගණනය ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුලත් කර තිබෙනවා. පත් කිරීම් සම්බන්ධනේ පාර්ලිමේන්තු සභාවේ උපදෙස්   නොව නිර්දේශය ලබා ගත යුතුයැයි සඳහන් කර තිබෙනවා.

20 වන සංශෝධනයේ අඩංගු මුලික ලක්ෂණ කිහිපයක් පැහැදිලි කිරීමට ද අවස්ථා ගත යුතුයි.

මෙම සංශෝධනය විසින් විධායකයේ බලතල වැඩි කිරීමටත් පාර්ලිමේන්තුවේ බලතල අඩු කිරීමටත් ප්‍රයත්නයක් දරා තිබෙන බව පෙනි යනවා. එසේම ඊට සාපේක්ෂකව ජනාධිපතිවරයාගේ බලතල වැඩි වන විට ඔහුට පාර්ලිමේන්තුවට, මහජනතාවට තිබෙන වගවීම ලිහිල් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම මගින් ව්‍යවස්ථාවේ ආකෘතිමය වෙනසක් සිදු වීමත් තවත් වැදගත් ලක්ෂණයක්. 20වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට පාර්ලිමේන්තු සභාව පිහිටවනු ලබනවා. මෙය අපේ සමාජය තුළ විශාල වෙනසක් ඇති වෙන්නට පුළුවන් කාරණයක්. ව්‍යවස්ථා සභාව යටතේ තිබු රාජ්‍ය ආයතන විධායකය විසින් පාලනය කරන වටපිටාවක් 20 වැනි සංශෝධනය මගින් ඇති කරනු ලබනවා.

20 වන සංශෝධනය ගෙන ඒම පිණිස 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බොහෝ විවේචන සම්බන්ධයෙන් මගේ නිරික්ෂණය වන්නේ, එය ජනාධිපති සහ අගමැති අතර ඇති වු බල අරගලයක ප්‍රතිඵල නිසා සිදු වූ බවයි. මෙය ධාවනය වන බස් රථයක  රියදුරු සහ කොන්දොස්තර අතර ආරවුලක් විසඳීම පිණිස බස් රථයේ එන්ජීම ගැලවීමට යෝජනා කිරීම  වැනි ප්‍රතිකාරයක් ලෙසටයි හැඳින්විය හැක්කේ. බස්රථයේ දෝෂය තිබෙන්නේ රියදුරු සහ කොන්දොස්තර අතර නම් එහි එන්ජීම මාරු කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉදිරිපත් කොට ඇති 20 සංශෝධනය මඟින් කොමිෂන් සභා කිහිපයක බලතල අඩු කිරීමත් සැලකිල්ලට ගත යුතු කාරණයක්. මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල විශාල වශයෙන් අඩු කරනවා. රාජ්‍ය සේවය සෘජුවම අමාත්‍ය මණඩලය යටතටම ගනු ලබනවා. පොලිස් කොමිෂන් සභාවේ බලතල සම්පුර්ණයෙන්ම අඩු කොට එය තනිකරම මහජන පැමිණිලි විභාග කරන ආයතනයක් බවට පත් කරනවා. විගණකාධිපතිවරයාගේ බලතල අඩු කරනු ලබනවා. විගණකාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තා මඟින් තමයි පාර්ලිමේන්තුවට මුදල් පාලන බලයක් ලැබෙන්නේ. මේ අනුව පාර්ලිමේන්තුවේ මුල්‍ය අධික්ෂණය කියන කාරණයත් ඉබේම සීමා වෙනවා.

1978 ව්‍යවස්ථාව සකස් කරන ලද මීට හතලිස් වසරකට ඉහත තිබු තත්ත්වයට වඩා  අද රාජ්‍ය ව්‍යවසායකත්වය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය සතු සමාගම් ලෙසට. අමාත්‍යාංශවල මුල්‍ය ප්‍රතිපාදනවලින් වැඩි හරියක් පාවිච්චි කරන්නේ මෙම සමාගම් විසින්. උදාහරණයක් ලෙසට විදුලි බල මණ්ඩලයේ වැඩි ප්‍රතිශයක් ප්‍රාග්ධන සංසරණය වන්නේ ලක් දනව්, ලංකා ට්‍රාන්ස්ෆෝමර්, ලේකෝ වැනි සමාගම් හරහායි. රාජ්‍ය සමාගම් 156 ක් රාජ්‍ය විගණනයෙන් ඉවතට යෑම පාර්ලිමේන්තුවේ මුල්‍ය පාලනය සීමා කිරීමක්. ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරු පත් කරන අතරම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ද සෑම අමත්‍යාංශ ලේකම්වරයෙකුම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙසටද පත් වීමක් දෙනු ලබනවා. රාජ්‍ය විගණනය නොමැති නම් ඔහු ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙසට සිය රාජකාරිය ඉටු කළ නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. පෞද්ගලික විගණන සමාගම් විසින් කරනු ලබන විගණන එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල අවශ්‍යතා අනුව සිදුවන්නක් ලෙසට අනුමාන කළ හැකියි. ‌පෞද්ගලික විගණනය මඟින් රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිතා කිරීම නියාමනය කළ නොහැකියි.

මේ සියල්ලම වෙනස් වෙද්දි ප්‍රසම්පාදන සහ විගණන කොමිෂන් සභා දෙකත් අහෝසි කරනු ලබනවා.

20 සං‌ශෝධනය යනු 18 සංශෝධනය තිබු තත්ත්වයට ආපසු යාමක් ලෙසට තර්ක කරනවා. මෙය අර්ථ නිරූපණ පනතට අනුව පිළිගත නොහැකි  තර්කයක්. එම පනතට අනුව අතීතයේ  ඉවත් කළ යම් නීතියක් වර්තමානයේ යළි සාකච්ඡාවට ගත නොහැකියි. මේ නිසා 20 සංශෝධනය යළිත් 18 වැනි සංශෝධනය කරා යාමක් ලෙස ඉදිරිපත් කරන තර්කය වැරදියි.

හදිසි පනත් ගෙන ඒම සම්බන්ධයෙන් කර තිබෙන යෝජනාවද බරපතළ ලෙස  සැලකිල්ලට ගත යුතුයි. සුනාමියක් හෝ වසංගත තත්ත්වයක් වැනි ජාතික හදිසි තත්ත්වයක් උදා වු අවස්ථාවක එම තත්ත්වයට මුහුණ දීම පිණිස, හදිසි පනත් ගෙන ඒමට රජයකට අයිතියක් තිබිය යුතු යැයි කෙනෙකුට තර්ක කළ හැකියි. 1978 සිට මේ දක්වා කොපමණ හදිසි පනත් සංඛ්‍යාවක් ගෙනවිත් තිබෙනවාද ? මහජනතාවගේ පැත්තතෙන් බලන කළ මේවා හදිසි පනත්ද යන්න ප්‍රශ්නයක්. 18 සංශෝධනය  හදිසි පනතක් හැටියට ගෙන ආවේ 2010 වර්ෂයේ. ඒ අනුව මහා මැතිවරණය පවත්වන්නට නියමිත වුයේ 2016 හෝ 2017 වර්ෂයේ. එතකොට මැතිවරණ තියන්න කිසිම හදිස්සියක් නැහැ. මෙතෙක් ඉදිරිපත් කර තිබෙන හදිසි පනත් බැලුබැල්මටම පේනවා හදිසියකට ගෙන ආ පනත් නොවේ කියලා. එම පනත්වලින් ජනතාව පීඩාවට පත් කිරීමට හදිස්සියක් තිබුණා දැයි ප්‍රශ්න කළ හැකියි. හදිසි පනත් ගෙන ඒමේ ක්‍රියාවලිය තුළ බලධාරින්ගේ සැඟවුන න්‍යාය පත්‍රයක් තිබෙන්නට පුළුවන්. මෙම තත්ත්වය  20 මගින් නැවත ගෙන එන්නට යෝජනා කොට තිබෙනවා. මෙය අභියෝගයට ලක් කළ යුතුයි.

සාමාන්‍ය පනත් ඉදිරිපත් කරන විට 19 සංශෝධනයට කලින් තිබුණේ දින 7කට පෙර ඉදිරිපත් කළ යුතුයි යන නීතිමය ප්‍රතිපාදනය. මෙය 19 සංශෝධනය විසින් දින 14 දක්වා දිර්ඝ කළා. නැවත 20  සංශෝධනය මඟින් දින 7 දක්වා ගෙන ගොස් තිබෙනවා.

විදේශීය පුරවැසිභාවය පිළිබඳ 19 සංශෝධනයේ නීතිමය වගන්ති, 20  සංශෝධනය මඟින් අහෝසි කිරීමට යෝජනා කොට තිබෙනවා.

20 සංශෝධනයේ මුලික හරය ගත් කළ එය ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, මාධ්‍ය නිදහසට පවා තර්ජනයක් එල්ල වෙනවා.  මුලික අයිතිවාසිකම් ගණනාවක් හැකිලි යනවා. 1978 ව්‍යවස්ථාව යටතේ පවා පාර්ලිමේන්තුවට තිබු බලතල රාශියක් 20 සං‌ශෝධනයෙන් ඉවත් කර තිබෙනවා.

මෙය හරියට සැමුවෙල් රොඩ්රිගෝ ගේ විනෝද සමය වැඩසටහන් මාලාවේ සම්මුඛ පරික්ෂණය නැමති වැඩසටහනේ දක්නට ලැබුණ ‘අනවශ්‍ය අය නෙරපීමේ’  සිදුවීමට සමානයි. එහිදි සිදුවුණේ සම්මුඛ පරික්ෂණයකට කැඳවුම් ලැබු තැනැත්තෙක් ආයතන ප්‍රධානියාගේ හිත දිනා ගෙන ආයතනයට කරදර කරන තැනැත්තන් නෙරපා දමන්නට ලිඛිත බලයක් ලබා ගන්නවා ඔබට මතක ඇති. අවසානයේදි මේ තැනැත්තා ආයතන ප්‍රධානියා පවා නෙරපා හරිනවා. මෙම ක්‍රියාව ආයතන ප්‍රධානියා විසින් අභියෝගයට ලක් කරන විට අර තැනැත්තා තමාට ඔහුවත් නෙරපීමට ලිඛිත බලයක් තිබෙන බව පෙන්වා දෙනවා’.

20 වැනි සංශෝධනයෙන්ද මෙවැනි තත්ත්වයක් නිර්මාණය විය නොහැකියැයි කාට නම් කිව හැකිද?

(ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස සහ 20 වැනි සං‌ශෝධනය” යන තේමාව යටතේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සාකච්ඡා සභාවේ දී කළ අදහස් දැක්වීමකි )

 

The post 20 වැනි සංශෝධනය ආරම්භය සහ එහි ගමන් මග – නීතිඥ ජගත් ලියනාආරච්චි    appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views