20 වැනි සංශෝධනයේ කැත සෙල්ලම් – සී ජේ අමරතුංග

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආන්ඩුව සුදානම් ය. පෙනෙන විදිහට එය සමස්ත ආණ්ඩුවේ වුවමනාවක් නොවේ. වුවමනාව ඇත්තේ ජනාධිපති ගොඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමකට ය.

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ වුවමනාව හැකිතාක් බලය තමන් අතට ගොනු කර ගැනීමයි , ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඔහු කෑ ගසා  කියා ඇත්තේ තමන්ට වැඩ කිරීමට බලය අවශ්‍ය බවයි . එයට ඇති බාදා ඉවත් කර ගැනීමට 20 සංශෝධනය අවශ්‍ය ම බව ඔහු කියයි. එයට විරුද්ධ වන කාටවත් යටත් වන්නට ජනාධිපති තුමා ලෑස්ති නැත . මෙය කොහොම හෝ සම්මත කරගන්නා බව ඔහු කිය තිබේ.

ගොඨාභය කොහොම හෝ කියන්නේ කොහොම හෝ යන්න තමා ය. ඒ කියන්නේ හොඳින් හෝ නරකිනි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඔහු කීවෙත් කළේත් ඒක ය

බැසිල් රාජපක්ෂ මහතාට ඇත්තේ වෙනත් වුවමනාවකි . එනම් ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර නොගෙන පාර්ලිමේන්තුවට එන්නට ය. යලිත් බලගතු ඇමති කෙනෙකු වන්නට ය. එයට මාර්ගය වැටී ඇත්තේ ඉක්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ය. වෙනෙත් ඉක්මන් මගක් නැත.

මෙහි දී සිදුව තිබෙන්නේ ගොඨාභයගේ සහ බැසිල් ගේ එකිනෙකට වෙනස් වුවමනාවන් එක තැනක දී සමපාත වීමකි . ඒ ඉක්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි.

මේ දෙපාර්ශවය තම ව්‍යාපෘතිය ඉදිරියට දමන්නේ රටේ දැවෙන අවශ්‍යතාවයක් වශයෙනි. එසේ වුව ද ,රටේ එබඳු අවශ්‍යතාවයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ගොඨාභය සහ ආණ්ඩුව බලයට ගෙනෙන්නට දර දිය ඇදපු උදවිය පවා කියන්නේ එබඳු අවශ්‍යතාවයක් නැති බවයි. පොහොට්ටුව වෙනුවෙන් කැප වී ක්‍රියාකළ සංඝයා වහන්සේලා සියලු දෙනා ම පාහේ මේ වැඩේට විරුද්ධය. මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභය තිස්ස , ඇල්ලේ ගුණවංශ ආදීන් පමණක් නොව බොහෝ නායක හිමිවරුන් ද මේ වැඩේ ට තම විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත. කතෝලික රදගුරු සම්මේලනය ද කියා ඇත්තේ 20 ඉදිරියට ගෙනයාමෙන් වලකින ලෙස යි.

ආණ්ඩුවේ ම ප්‍රබල කණ්ඩායමක් ද මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ය. ඒ අතර ද අඩු තරමින් දෙපිරිසක් හඳුනා ගත හැකි ය. පිරිසකට ඇත්තේ තමන් අත ඇති බලය රැක ගැනීමේ වුවමනාව ය. ඇතමුන්ට ඇත්තේ එම වුවමනාව පමණක් විය හැකි ය. තවත් අය විරුද්ධ වන්නේ ජනමතය සමග සිටින බව පෙන්වන්නට ය. තවත් පිරිසක් විරුද්ධ වන්නේ අවංකව ම ය. රෙදි ඇඳගෙන මෙවැන්නකට සහය දීමට බැරි නිසා ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියයේ  කිසිවක් නොකීව ද ඔහුට මෙයට පක්ෂ වන්නට හේතුවක් නැත. ජනාධිපති මලයා මේ පවරා ගන්නට හදන්නේ තමන් අතේ තිබෙන බලය යි. හිස ගලවා මලයාට යැවුවේ සිරිසඟබෝ රජතුමා ය. මහින්දට සිරිසඟබෝ කෙනෙකු වන්නට වුවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැත. එහෙම වුවමනාවක් තිබුනා නම් මෙච්චර කලක් දුක් විඳගෙන අල්ලා  සිටින්නේ නැත. එහෙත් මේ වෙලාවේ මලයා බලවත් ය. ඒ නිසා කෙලින් හැප්පෙන්නටත් බැරි ය. ඒ නිසා මහින්දට දැන් සිදු වී තිබෙන්නේ වෙනත් අය ලවා කොස් ඇට ටික බාවා ගන්නට ය.

මහින්ද වෙනුවෙන් වැඩේ භාරගෙන තිබෙන්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමකි.

ඇත්තෙන් ම විමල්ලාට මෙය මහින්ද වෙනුවෙන් කරන වැඩක් ම නොවේ. ඔවුන්ට මෙය තමන්ගේ ම වැඩකි. ගොඨාභය ජනාධිපති කරන්නට වැඩියෙන් ම කඩේ ගියේ මේ පිරිස වුව ද දැන් ඔවුන්ට නිසි සැලකිල්ලක් ජනාධිපතිගෙන් ලැබෙන්නේ නැත. ඒ පිළිබඳව ඔවුන් මැසිවිලි නැගු අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ දකින්නට අසන්නට ලැබුණි.

ගොඨාභය ජනාධිපතිවරයා දැන් වැඩ කරන්නේ තමන්ගේ ම පිරිසක් සමග ය. ඉන් සමහරු වියත් මගෙහි ය. අන් සමහරු පැමිණියේ කුමන මගේ ද කියා සොයාගන්නට නැත.

ඉතින් ගොඨාභය ජනාධිපතිවරයාට තවත් බලය දී දෙකේ කොලේට වැටෙන්නට විමල්ලාට වුවමනාවක් නොතිබීම සාධාරණ ය.

හැබැයි ඔවුන්ගේ මේ සටන නම් 20 වැනි  සංශෝධනයෙන් රටට වෙන්නට යන විපතින් රට ගලවා ගැනීමට නම් නොවේ. තමන්ට සිදුවන්නට යන විපතින් ගැලවෙන්නට ය.

විමල්ලාට දැනෙන මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීවරුන්ට ද වෙනස් මට්ටමකින් දැනෙන්නකි. 20 වැනි සංශෝධනයෙන් ජනාධිපති පවරාගන්නට යන්නේ පාර්ලිමේන්තුවට තිබෙන බලය යි.. එවිට හෑල්ලු වන්නේ සමස්ත පාර්ලිමේන්තුව යි . ඒ සමග ම සියලු මන්ත්‍රීවරුන් ද බලය නැත්තෝ බවට පත්වෙති. ඔවුන්ගේ බලය ඉන්පසු තීරණය වන්නේ ඒකිනෙකාට ජනධුපතිගේ තිබෙන සැලකිල්ල නැතහොත් අනුකම්පාව මත ය. එය ද තීරණය වන්නේ ජනාධිපතිට කඩේ යන ප්‍රමාණය අනුව ය.

ඒ කෙසේ වෙතත් ආණ්ඩුවක් වශයෙන් බලය පිරිහුණ හොත් සියල්ලෝ ම අනතුරේ ය. දැන් ආණ්ඩුවේ පිළිගැනීම හා බලය තිබෙන්නේ ගොඨාභය අතේහි ය. එය නැති වුවහොත්  සියලු දෙනා අනතුරේ ය. ගොඨාභය ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තර්ජන ගර්ජන දමන්නේ මේ සියල්ල දැනගෙන ය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය කැමැත්තෙන් හිස දැන් නොදෙන බව ජනාධිපති දන්නේ ය. අනෙක් අතට ඔවුන්ට ජනාධිපති නැතිව බැරි බවත් දන්නේ ය. මෙම තත්ත්වය හැමදාම මෙලෙස නොපවතින බවත් ගොඨාභය ජනාධිපතිතුමා  දන්නවා ඇත  එන්න එන්න ම තම බලය හා ජනප්‍රියතාවය පිරිහෙන බව ඇතැම්විට තේරුම් ගොස් තිබෙනවා ද විය හැකි ය. ඒ නිසා මේ මොහොතේ ගනුදෙනුව බෙරා  ගන්නට අවශ්‍ය බව ද සිතනවා විය හැකි ය. ඔහු නැතත් දැන් ඔහු වෙනුවෙන් ගේම මෙහෙයවන බැසිල් රාජපක්ෂ නම් මෙම තත්ත්වය තේරුම් ගෙන ඇතිවාට සැක නැත.

දැන් කියන්නේ 20  වැනි සන්ශෝධනය කෙසේ හෝ සම්මත කර ගන්නා  බවකි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට තිබෙන්නේ 149 කි. තුනෙන් දෙකට ද එකක් අඩු ය. ඒ අතර ඇතුළේ ද කචල් ය. ශ්‍රීලනිප ය කලකිරීමෙනි . විමල් ඇතුළු කණ්ඩායමක් ප්‍රසිද්ධියේ ම 20 ට විරුද්ධ ය. විජයදාස රාජපක්ෂ තනියම ගේමක ය. විදුර වික්‍රමනායක තවත් පසෙක ය. ජනාධිපතිගේ කුලුපගු සගයෙකු ලෙස සැලකු ගෙවිඳු කුමාරතුංග දැන් සියලු අවුල් ඇතිකරනකු ලෙස ජනාධිපතිට පෙනෙන්නට පටන්ගෙන තිබේ.

කොහොම හෝ 20 සම්මත කරගැනීමට ජනාධිපතිට සහ බැසිල්ට අවශ්‍යව තිබෙන්නේ මෙවැනි පසුබිමක ය.

තිරය පිටුපස බොහෝ කැත සෙල්ලම් සිදුවන බව පෙනෙන්නට තිබෙන්නේ ද  මෙවැනි පසුබිමක ය.

හිටපු ඇමති රිශාඩ් බදියුදීන්ගේ සහෝදර රියාද් බදියුදීන් අත් අඩංගුවේ සිටියේ ත්‍රස්‌තවාදයට සහාය දුන්නා  කියා ය. හිටපු හැටියේ ඔහු නිදහස් වන්නේ ය. ඒ කිසිදු සාක්ෂියක් නැතෙයි කියලා ය. ඒ සමග ම රිෂාඩ්  බදියුදීන් කියන්නේ 20 ට සහය දෙන්න සලකා බැලීමට සුදානම් බවකි . මේවා අහම්බෙන් සිදුවන දේවල් නොවන බව සිතාගැනීම අපහසු නැත.

මේ තුළ තියෙන්නේ රිෂාඩ් ඇතුළු කිහිප දෙනකුගේ ඡන්දය 20 සංශෝධනයට ගැනීමේ ගේම පමණක් නොවේ. එහි වෙනත් පණිවිඩයක් ද ඇත. ඒ පණිවිඩය තිබෙන්නේ විමල් වීරවංශ ඇතුළු 20 ට විරුද්ධ ආණ්ඩු පක්ෂ කණ්ඩායමට ය. එනම් ආණ්ඩුවේ යම් කණ්ඩායමක් 20 ට විරුද්ධ වෙන්න හදනවා නම් විපක්ෂයෙන් ගන්න සුදානම් බවයි . එවිට කබර ගොය වුව ද තලගොයා කරගන්නට පැකිලීමක් නැති බවයි.

විමල්ලා ද ප්‍රශ්නය ඒ අකාරයෙන් ම තේරුම් ගත්  බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. රියාද් බදියුදීන් නිදහස් කිරීමට විරෝධය පලකොට ඔහු යලිත් අත් අඩංගුවට ගන්නයි ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 100 කගේ ලිපියක් ජනාධිපතිට සහ අගමැතිට භාරදෙන්නේ ඒ නිසා ය. 20 නැතත් මේ විරෝධය පවතිනු  ඇතැයි කෙනෙකුට කිව හැකි ය. එසේ වුව ද මේ මොහොතේ එය ක්‍රියාත්මක වන්නේ 20 සම්බන්ධ දේශපාලන ගේම් එකේ කොටසක් වශයෙනි.

ඒ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම ද ගජරාමෙට වැඩෙහි යෙදී සිටියි. එහි දී හිර වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති වරයා ය. ඔහුට එම තත්ත්වය උදාවීමට සාධාරණ හේතු ඇති බවට සැකයක් නැත. එසේ වුව ද මේ මොහොතේ සියල්ල භාවිත වන්නේ 20 වැනි සංශෝධනය සඳහා ශ්‍රීලනිපයේ ඡන්ද 15 කේවල් කිරීම සඳහා ද යන්න ප්‍රශ්නයකි. එම කේවල් කිරීම හරි ගියහොත් වන්නේ පාස්කු ප්‍රහාරයට වගකීම දැරිය යුතු උදවිය ද අවසානයේ 20 වැනි සංශෝධනයේ පිහිටෙන් ගොඩ යාමයි. මෙය කැත සෙල්ලමක් වන්නේ ඒ නිසා ය.

විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිවරයා 20 වැනි සංශෝධනය විවේචනය කළේ ය. ටික දිනකින් වාර්තා වුයේ එම ඇමතිවරයා යටතේ තිබු බත්තරමුල්ල “අපේගම” ඔහුගෙන් ඉවත්කොට ඇති බව යි. එය ඇත්ත නම් එය ද තවත් ගේමකි. එය අනෙක් මැති ඇමතිවරුන්ට දුන් අවවාදයකි. 20 වැනි සංශෝධනයට විරුද්ධ වන්නාට අත්වන ඉරණම එමගින් දැනුම් දී තිබේ.

මේ අපට හොඳින් පෙනෙන සෙල්ලම් කිහිපයකි . තවත් බොහෝ දේ සිදුවන්නේ තිරය පිටුපස ය. ඒ සිදුවන දේ ජනතාවට පෙනෙන්නේ නැත. ගනුදෙනුවන මුදල් ප්‍රමාණ ගැන සොයාගත නොහැකි ය.  ජනතාවට සිදුව තිබෙන්නේ මතුපිටින් පෙනෙන දේ අනුව තිරය පිටුපස සිදුවන ගේම් ගැන සිතා  ගැනීමට ය.

තේරුම් ගතයුතු වැදගත් කාරණය නම් මේවා සිදුකොට දිනන්නට බැරි බවයි. මේ මොහොතේ ඡන්දයෙන් දිනුව ද  එය දිගුකාලීන දිනුමක් වන්නේ නැත. දැනටමත් ගොඨාභය ජනාධිපතිවරයා තම දේශපාලන මිතුරන් රාශියක් සතුරු කරගෙන අවසාන ය. එයින් ඇතැමුන් “මෙහෙම ගියොත් ආණ්ඩුව පෙරලනවා “ කියන තැනට ම ගමන් කොට ඇත. සමහරු කියා  ඇත්තේ මෙය මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව යි. වැදගත් ම කාරණය නම් එසේ කියන්නේ ආණ්ඩුවේ විරුද්ධවාදීන් නොව ආණ්ඩුව හදන්නට දර දිය ඇද්ද වුන් වීම ය.

ජේ ආර් ජයවර්ධන සුපිරි ජනාධිපති බලයක් නිර්මාණය කර ගත්තේ ය. සිය ප්‍රතිවාදී නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පුරවැසි අයිතිය අහෝසි කර ජනාධිපතිවරණය ද දින ගත්තේ ය. එහෙත් ඔහුට තම දෙවැනි නිල කාලය ගෙවන්නට වුයේ ගිනි කන්දක් නොව ගිනි කඳු දෙකක් උඩ ය. උතුරේත්, දකුණේත් ලේ හැලුනේ ප්‍රචණ්ඩ කැරලි වලිනි. තාප්පවල ලියවුණේ  “ජේ ආර් මරමු” කියා  ය. තවත් ජනාධිපතිවරණයකට තරග කිරීමට නීතියෙන් හැකියාව තිබුන ද ඔහුට එය ද කළ නොහැකි විය. ඔහුට සිදුවුණේ ජනතා විරෝධයට ලක් වී හකුලාගෙන ගෙදර යන්නට ය.

මහින්ද රාජපක්ෂ මහතා ද සුපිරි බලයක් නිර්මාණය කර ගත්තේ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි . ඔහුට ද සිදු වුයේ කල්තියා ම දැවී යන්නට ය. බලගතු ජනාධිපති ධුරයෙන් ඔහුට ලැබුණු ප්‍රතිලාභය ඒක ය.

දැන් තිබෙන්නේ ගොඨාභය රාජපක්ෂගේ වාරයයි. ජේ ආර් සහ මහින්ද මෙන් ම ගොඨාභය ද සිතා  සිටින්නේ ජයග්‍රහණයේ මාවත ඇත්තේ බලය මත බවයි. ඒ සඳහා කැත ගේම් ගහන්නට හා තම ඇමති මණ්ඩලයට සහ මන්ත්‍රී කණ්ඩායමට තග දමන්නට ඉදිරිපත් වන්නේ  ඒ විශ්වාසයෙනි . තමන් මේ පිය තබන්නේ විනාශයේ මාවතට බව ඔහුට තේරෙන බවක් පෙනෙන්නට නැත. එය තේරෙන්නේ නම් ඔහු මෙසේ කරන්නේ නැත.

මෙම තත්ත්වය යටතේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දිනුවත් ගොඨාභය පරාදය පැරදුනත් පරාදය. ඔහුට යම් ජයක් අත් වන්නේ කල්තබා ආපසු හැරුනොත් පමණකි. අඩු ම හානිය සිදුවන්නේ එවිට ය.

ඒ සඳහා ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිට සිහිය සැපත් වේවා යි අපි පතමු. ඒ එතුමා බෙරා  ගැනීමට පමණක්  නොවේ. රටට සිදුවන්නට යන විපතෙන් රට ගලවාගනීමටත් ය.

සී ජේ අමරතුංග

අනිද්දා

The post 20 වැනි සංශෝධනයේ කැත සෙල්ලම් – සී ජේ අමරතුංග appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views