හේමසිරි ප්‍රනාන්දුගේ ආත්මවංචාව

 ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත්වීමේදී එම තනතුරට වඩාත්ම සුදුසු පුද්ගලයා තමන් බව හේමසිරි ප්‍රනාන්දුට සිතුනේ මන්ද යන ගැටලුව කිසිවකු හෝ ඔහුගෙන් ඇසූවේද?  එසේම, ජනාධිපතිවරයා ඔහුට නොපණත්කම් කළේ තම තනතුරින් ඉල්ලා අස්නොවුණේ ඇයිද යන්න ඔහු පැහැදිළි කළේද? 

කතුවැකිය 

පසුගිය ආණ්ඩුව අන්ද-මන්ද වූ ආණ්ඩුවකි.  අන්ද-මන්ද ආණ්ඩුවක් බලයට පැමිණි පසු එමඟින් වාසි ලබා ගැනීමට බොහෝ පිරිස් බලාගෙන සිටිති. එය ඒ අකාරයෙන්ම පසුගිය ආණ්ඩුව සමයේදී සිදු විය. රාජකාරි කටයුතු සිදුකළ පිරිස්  ව්‍යාජ චෝදනා වලට ගොදුරු කරනු ලැබූ අතර කිසිවක් නොකර තම රාජකාරිය අපහරණය කළවුන් කිරුළු පළඳනු ලැබුහ. මීට කදිම නිදසුන මෙරට ආරක්ෂක අංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට සිදු වූ වින්නැහිය වේ. එම දිරා යෑමේ ප්‍රතිඵලය ඉතාම දරුණු විය. පාස්කු දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය  එම බිඳ වැටීම සංඛේතවත් කරන සිදුවීමකි. බොහෝ දෙනෙකු නගන චෝදනාව වන්නේ එම ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුණු ප්‍රහාරයක් බවයි . දෙයක් සිදු වූ පසු ඒ ගැන අර්ථකථනය කිරීම ඉතාම පහසුය.  සම්ප්‍රදායික කියමනක් වන, ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් දුරට පිළිතුර දාර්ශනික වේ. 2019 වසරේ පාස්කු දිනදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන බොහෝ දෙනෙකු සඳහන් කරන ප්‍රකාශ ගැන කීමට ඇත්තේද එයයි. එය රාජ්‍යය යාන්ත්‍රණයක සිදු වූ සාමුහික අසමත්වීමක් නිසා මුහුණ දීමට සිදු වූ කටුක සහ දරදඬු යථාර්ථයකි. 

ගහනවයි කියලා දැනගෙන හිටියා ආයුබෝන්වන්ඩ ~ එහෙත් මෙහෙම නෙළයි කියලා හිතුවේ නෑ!  ඒ වුණාට මම තමයි ආරක්ෂක ලේකම් හොඳේ? 

මෙරට රාජ්‍යය බුද්ධි සේවයේ හිටපු  අධ්‍යක්ෂකවරයා පසුගිය සති කිහිපය පුරාම මෙරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍යය නාලිකා වලින් ප්‍රසිද්ධ කරනු ලැබීය. ඒ පාස්කු ප්‍රහාරය ගැන විමසන රාජ්‍යය  කොමිසමකට පැමිණ, තම රාජකාරි කටයුතු ගැන හෙළිදරව් කරන ආකාරයයය.  එසේම, කොමිසමේ සාක්ෂි දීමට සිටි අනෙකුත් සාක්ෂි කරුවන්ගේ නීතිඥවරුන් තම ස්වාමිවරුන් සාදාරනීකරණය කිරීමට උපරිමයෙන් උත්සහ ගනු ලැබුණු ආකාරය ඒ ගැන පල වූ වාර්තා කියවීමෙන් පෙනේ. ඇතැමුන්ගේ හැසිරීම් අපුල දනවන්නේය. බුද්ධි සේවාවක විෂය පතය දන්නා කිසිවෙකු මෙම නීතිඥවරුන්ගේ හැසිරීම අනුමත නොකරන බව අපේ විශ්වාසයයි.  

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාද සාක්ෂි ලබාදුන් නිලධාරීන්ගෙන් අයෙකි. ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත්වීමේදී ඔහු එම තනතුරට වඩාත්ම සුදුසු පුද්ගලයා බව ඔහුට සිතුනේ මන්ද යන ගැටලුව කිසිවකු හෝ ඔහුගෙන් ඇසූ බවක් නොපෙනේ. එසේම, ජනාධිපතිවරයා ඔහුට නොපණත්කම් කළේ නම් ඉල්ලා අස්නොවුණේ මන්ද යන්න ඔහු පැහැදිළි කළ යුතුය. 

ආරක්ෂක අමාත්‍යංශයට පත් කරනු ලැබූ අනෙකුත් ලේකම්වරුන් ඉතාම අසාර්ථක පුද්ගලයින් වූ නිසා හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මෛත්‍රිපාල මහතාගේ අවසන් තෝරා ගැනීම විය. එනම් හේමසිරි ප්‍රනාන්දු යනු වසර පහක් වැනි කාලයක් තුළදී  ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන පරිපාලන තනතුර සඳහා  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තෝරාගත් හතරවන ලේකම්වරයා වේ. ජාතික ආරක්ෂාව නමැති විෂය ගැන මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින්ගෙන් අයෙකු වන සිරිසේන මහතාට තිබු අවබෝධයේ ප්‍රමාණය මින් පෙනේ. එසේම, තනතුරු වලට පත්වූ අයවලුන් එම ධූරයේ ගරුත්වය රැකගෙන, ඔවුහුගෙන් රාජ්‍යය සහ එහි නායකත්වය බලාපොරොත්තු වූ කටයුතු සිදු කළේද යන්න විමසා බැලිය යුතු කාරණයකි. 

යහපාලනය යටතේ පරිපාලනය වූ ආරක්ෂක අමාත්‍යංශයේ පළමු ලේකම් ලෙස, බස්නායක මහතා පත්විය. ඔහුට එම ධූරය ලබා දෙනු ලැබුවේ පරිපාලන සේවයේ ඔහුගේ සේවා කාලය ගණනය කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා ඔහු වූ නිසාය. ඉන් පසු සිරිසේන මහතාගේ මිත්‍රයෙකු වූ, ආරක්ෂක කටයුතු ගැන කිසිම දැනුමක් නොමැති නමුත් පරිපාලන කටයුතු ගැන දැනුමක් තිබු හෙට්ටිආරච්චි මහතා පත් කරනු ලැබීය. ඉන් පසුව කපිල වෛද්‍යරත්න මහතා එම ධූරයට පත්කරනු  ලැබීය. ඔහු ජාතික ආරක්ෂාවට අදාළ සියලුම විෂය පථය තම නීති දැනුම පමණක් පදනම් කරගෙන අවබෝධ කර ගැනීමට උත්සහ කළේය. මොවුන් තිදෙනාම ශෝචනීය ලෙස අසමත් වූ ලේකම්වරුන් වූහ. ඉන් පසු එම ධූරයට පත් වූයේ නාවික හමුදාවේ කලක් සේවය කළ හේමසිරි ප්‍රනාන්දුය. ඔහු එම ධූරයට පත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දරනු ලැබීය. ඔහු එම ධූරයට ජනාධිපතිවරයා විසින් බලෙන් පත් කරනු ලැබූ අයෙකු නොවේ. එම තනතුර ලබා ගැනීම සඳහා හේමසිරි මහතා මහත්  පරිශ්‍රමයක් දරනු ලැබීය. 

හේමසිරිගේ ඉතිහාසය දේශපාලන ආවතේවකම් සිදු කොට තනතුරු ලබා ගැනීමේ සිදු වීම් වලින් පිරිතිබෙන එකක් බව ඇතැමුන් කියති. එසේම, බොහෝ දෙනෙකු ඔහු හඳුන්වනු ලබන්නේ, අසමජ්ජාති අවිනීත හොරෙක් ලෙසය. එම චෝදනාවල ඇත්ත හෝ නැත්ත කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත් වූ පසු ඔහු විසින් සිදුකළ කටයුතු මොනවාද යන්න සොයා බැලිය යුතුය. එසේම, ඔහුගේ නියෝගය පරිදි සිදු වූ ගනුදෙනු ගැන වෝහාරික විඝණනයක් පැවැත්විය යුතුය. එවිට ජනාධිපති සිරිසේන පමණක් නොව ඔහුගේ බෑණා මෙන්ම හේමසිරි හෝ ඔහුගේ ඥාතියෙකු වන ශ්‍රී නිස්සංක ආදී පුද්ගලයින් විසින් සිදුකළ කටයුතු වල සැබෑව හෙළිවනු ඇත. මොවුන්ට අවශ්‍යය වූයේ රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දී ලාබ ඉපයීම පමණි. ඒ නිසා ඉහළ මිලකට ගෙවනු ලැබූ තුවක්කු නැති නැව් සහ වැසිකිලි කාමර ප්‍රමාණයේ මෙහෙයුම් මැදිරි ඇති නෞකා මෙරට නාවික හමුදාවට ලබා දී ඇත. මෙම ලැයිස්තුව බොහෝම දීර්ඝ එකකි.  . 

හේමසිරි වැනි පුද්ගලයින් රටේ තීරණාත්මක තනතුරු වලට පත්වූයේ කෙසේද? මෙලෙස පත්වූ බොහෝ දෙනෙකු ජනාධිපති සිරිසේනගේ අභිමතය පරිදි පත් වූයේද? එසේත් නොවේනම්, විවිධාකාර පන්දම්කාරයින්ගේ වුමණාවට පත්වූයේද? යන්න දන්නේ එලෙස පත් වූ අයවලුන් සහ පත්කරනු ලැබූ පුද්ගලයා පමණි. මොවුන්ට තනතුරු ලබා දීමේදී ඔවුහු විසින් සිදුකළ යුතු රාජකාරී කටයුතු ගැන අවබෝධයක් ඔවුහුට තිබුණේද යන්න සොයා බැලුවේද? යන ගැටළු වලට සාධනීය පිළිතුරු  අත්‍යවශ්‍යය වේ. පාස්කු ප්‍රහාරයට පසුබිම සකස් වූයේ කෙසේද යන්න සොයා ගත හැකිවන්නේ එවිටය. 

පාස්කුදින සිදු වූ ප්‍රහාරය ගැන හේමසිරි කියන කතාවක් තිබේ. ඔහුට අනුව එම ප්‍රහාරයේ වගකීම, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් භාරගත යුතුය. ඔහු එහිදී කියා ඇත්තේ, ඔහු පමණක් නොව වැඩතහනමට ලක් වී සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද තම රාජකාරී නිවැරදිව අකුරට සිදු කළ බවයි. රාජ්‍යය බුද්ධි සේවය අදාළ ප්‍රහාරය ගැන ස්ථීර වශයෙන්ම සඳහන් කොට ලිඛිත ලියවිල්ලක් තමන්ට නොදුන් බව ඔහු කියන්නේය. එසේම මෙහි සාක්ෂිදුන් බොහෝ දෙනෙකු  කියා සිටියේ,  අදාළ ප්‍රහාරය මෙහෙවනු ලැබූ ප්‍රධාන පුද්ගලයෙකු වන සහරාන් ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වීමට රාජ්‍යය බුද්ධි සේවය අසමත් වූ බවයි. (කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පළමුව නම් කරනු ලැබුවේ 1998 සිට 2002 දක්වා කාලය තුළදීය. ඉන් පසු යළිත් කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට නම් කරනු ලබන්නේ 2009 වසරේදීය.  නමුත් ප්‍රභාකරන් පළමු නිරායුධ මනුෂ්‍යය ඝාතනය කරන්නේ 1975 දීය. කොටින් ත්‍රස්තවාදී ලෙස නම් නොකළ බව කියමින් මෙරට ආරක්ෂක හමුදාව ඔවුන්ට එරෙහිව සටන් නොකරන ලෙස එකල සිටි ලේකම්වරුන් උපදෙස් දුන්නේද? ) මේ සියලුම කතා තනි තනි පුද්ගලයින් තමන්ගේ අසමත්කම් වසා ගැනීමට දරන උත්සාහයන් පමණි. 

හේමසිරි පාස්කුදින ප්‍රහාරය සිදුවීමෙන් මොහොතකට පසු ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍යය හමුවේ කියා සිටියේ, ප්‍රහාරය සිදුවන බව දැනගෙන සිටි නමුත්, එය මෙතරම් බරපතළ ප්‍රහාරයක්වේ යැයි තමන් නොසිතු බවයි. ඔහුගේ අමනකම සහ අවිද්‍යාව තේරුම් ගැනීමට එම ප්‍රකාශයම ප්‍රමාණවත් වේ. නමුත්  ඔහු දැන් කියන්නේ තමන් වගකීම් නිවැරදිව ඉටුකළ බවයි. ඉන් ඔබ්බට යමින් ඔහු ප්‍රහාරයේ වගකීම, රාජ්‍යය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා මත පැටවීමට උත්සහ දරන්නේය. මෙය ඉතාම අවලස්න්න සහ අසමජ්ජාති කටයුත්තකි. 

හේමසිරි ප්‍රනාන්දු නාවික හමුදාවේ සේවය කළ අයෙකි. කොටින් අහවල් ස්ථානයට පහරදීමට නියමිත යැයි වාචිකව පණිවිඩයක් ලැබුණු පසු නාවික හමුදානිලධාරියෙකු වශයෙන් හේමසිරි මහතා දත-කට මැදගෙන උඩ බලාගෙන සිටිනු ඇතිද? එසේ නොමැතිනම්, නාවික හමුදාවේ බුද්ධි අංශයෙන් නිවැරදිව විශ්ලේෂණය කරනු ලැබූ  ලිඛිත  තොරතුරක් ලැබෙන තෙක්, නිහඬව සිටුනු ඇතිද? හේමසිරි ප්‍රනාන්දුගේ ව්‍යාජකම තේරුම් ගැනීමට එසේනම් නොහැකිද?  හිටපු ජනාධිපති සිරිසේන සමාව ගත යුත්තේ පාස්කු ප්‍රහාරය සාර්ථක කර ගැනීමට හේතු වූ මෙවැනි මෙගලමෙනියානු නිලධාරීන් රටේ වැදගත් ධූරවලට පත්කිරීම ගැනය.  

හේමසිරි මහතා සහ ඔහුගේ සගයින් කියන පරිදි බුද්ධි අංශයකට තොරතුරු ලැබුණු පසු එම තොරතුරු තහවුරු කරගෙන ලබා දීම පමණක් ප්‍රමාණවත් නැත. එම තොරතුරු විශ්ලේෂණය කොට ඒවා, ලිඛිතව ලියා තමන්ට ලබා දිය යුතුය. ඉන්පසු පමණක් ඔහු එම තොරතුරු මත පදනම් වී කටයුතු කරනු ඇත. මොන විහිලුවක්ද මේ?   මෙවැනි කතා කියන වාචාලයින් රාජ්‍යය සේවයට තබා මල්ශාලාවක ලේකම්ධූරයකට හෝ සුදුසු වන්නේද යන්නේ රටේ ජනතාව තීන්දු කළයුතුය.   

සමස්ථ සිදුවීම තුළ  එක් කරුණක් පැහැදිළිය. එනම්, හේමසිරි ඇතුළු කණ්ඩායමට ජාතික ආරක්ෂාව සහ ඊට අයත්  විෂයපථය  ගැන ප්‍රාමාණික දැනුමක් නැති බවයි. එසේම, බුද්ධි අංශයක කාර්යය භාරයය සහ ඉන් ලබාදෙන තොරතුරු මත පදනම් වී කටයුතු කිරීමේ වගකීම ඔවුහු නොගත් බවයි. ඔවුහු දන්නේ, කාගේ හෝ දෙපතුල  ලෙව කා තනතුරක් ලබාගෙන වැජඹීමට පමණි. නමුත් කුමන හෝ අභියෝගයක් එල්ල වූ විට තමන්ගේ ඇඟ බේරා ගෙන වෙනත් අයෙකු බිල්ලට දීමට ඔවුහු දනිති. අවලස්සන සහ දුර්ගුණ ආත්මවංචාවේ සැබෑ ස්වරූපය මෙයයි. පාස්කු ප්‍රහාරයෙන් විපත පත් වූ වින්ධිතයින්ට සාධාරණය ඉටු කිරීමටනම් මෙම ආත්මවංචාවේ යෙදෙන පුද්ගලයින් වගවීමට නතු කළ යුතුය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

74 Views