ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාවට මොකද වෙන්නේ?


වර්ග කිලෝමීටරයක් පමණ වන ඩීසල් තෙල් පැල්ලමක් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනිගත් තෙල් ප්‍රවාහන නෞකාවට එපිටින් නිරීක්ෂණය කර ඇති අතර එය කිසිසේත්ම නෞකාවේ ඇති බොරතෙල් කාන්දුවීමක් නොවන බව ශ්‍රී ලංකා නාවික හමුදා හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පැවසීය.

ඔහු පවසන්නේ, මෙම නෞකාව නාවික සැතපුම් 41ක් දක්වා ගෙන ගොස් ඇති බවය.

අඟහරුවාදා සවස්වරුවේ තෙල් පැල්ලමක් දර්ශනය වූ බවත් එය පසුගිය දින කිහිපය පුරාවටම මෙම නෞකාවේ පසුපස කොටසේ ඇතිවී තිබූ ගින්න පාලනය කිරීම සඳහා ආපදා කණ්ඩායම් මගින් අඛණ්ඩව නෞකාවට යෙදූ මුහුදු ජලය නෞකාවේ පිටිපස කොටසේ සහ යන්ත්‍ර කාමර තුළ එකතුවීම හේතුවෙන් නෞකාව සාමාන්‍ය පිහිටුමෙන් වෙනස් වී පිටුපසට මඳක් බර වීම නිසා නෞකාවේ ප්‍රයෝජනය සඳහා ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්‍රවීමට ඉඩ ඇති බවට ඔවුන් විශ්වාස කෙරන බවත් ආපදාවට පත් නෞකාවේ බොරතෙල් සංචිතයන්ට ගින්න පැතිරයාමේ හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් මේවන තෙක් පැන නැගී නොමැති බවත් කපිතාන් ඉන්දික සිල්වා පැවසීය.

ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන්යානයක් යොදා ගනිමින් අඟහරුවාදා සහ බදාදා ඩීසල් ඉන්ධන පැල්ලම් තිබූ ප්‍රදේශ වෙත විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කටයුතු කර එමගින් සාගර පරිසරයට වියහැකිව තිබූ බලපෑම අවම කිරීමට කටයුතු කළ බවත් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් එම මුහුදු ප්‍රදේශය වෙත ලඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු වල නිරතව සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන පරිදි, අදාල පරීක්ෂණ කටයුතු කරනු ලබන්නේ, මෙම නෞකාව ආසන්නයේ ඇති ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් පරීක්ෂණාගාරයක් සහිත නෞකාවක් මගිනි.

 නෞකාවේ නැවතත් හටගත් ගින්න නිවා දැමූ අතර, දැනට නෞකාවේ තත්වය තක්සේරු කිරීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගිනි නිවීම් සහ ආපදා කළමනාකරණ විශේෂඥ කණ්ඩායමක් ඉන්දීය වෙරළාරක්ෂක ඒකකයේ විශේෂඥයින් සමග නැව් සමාගම විසින් තෝරාගත් ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයන් පිරිසක් මෙම නෞකාවට ගොඩ වූ බව කපිතාන් ඉන්දික සිල්වා පැවසීය.

මෙයට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කරුවන් කණ්ඩායමක් ද නැව තිබෙන ස්ථානය වෙත පිටත්කර යවා ඇති බව පැවසූ ඔහු ඔවුන් විසින් නෞකාවේ ආකෘතියට ඇතිවී ඇති බලපෑම අධ්‍යයනය කර ඩීසල් ඉන්ධන කාන්දුවන්නේ කොතැනින්දැයි සොයාබලන බවත් පැවසීය.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනි ලහන්දපුර බීබීසී සිංහල සේවයට පැවසුවේ නැව් සමාගමට ශ්‍රී ලංකා රජය විසින් දැනුම් දී ඇත්තේ මෙම නෞකාව ඉතා ඉක්මනින් එහි මුල්ම ගමනාන්තය වන ඉන්දියාවේ ප්‍රදීප් වරාය වෙත රැගෙන යන ලෙසට බවය.

නාවික විශේෂඥයන් පවසන්නේ මෙවැනි තත්වයකදී අදාල නැව් සමාගමට අනුගමණය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පවතින බවයි.

අදාළ ප්‍රශ්ණකාරී නැව ප්‍රථමයෙන් ම ගින්න සම්පුර්ණයෙන්ම නිවා නෞකාවේ නියම තත්වය ඇගයීමකට ලක්කර ළඟම ඇති වරායක් කරා රැගෙන යාම පළමුවැන්නය. මෙම නෞකාව ලංකාවේ ත්‍රිකුණාමලය වරාය හෝ හම්බන්තොට වරායන් ආසන්නම වරායන් ලෙස පැවතුනත් ශ්‍රී ලංකා රජය මෙම නෞකාව ලංකා මුහුදු තීරයෙන් පිටමං කිරීමට තීරණය කර තිබේ.

තවත් විකල්පයක් වන්නේ ගැඹුරු මුහුදේ දී තවත් නැවකට මෙහි ඇති බොරතෙල් හුවමාරු කිරීමයි. නමුත් එයටද ලංකා රජය අවසර දී ඇත්තේ ලංකා මුහුදු තීරයෙන් එපිටට ගෙනයාමෙන් අනතුරුව බවට ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනි ලහන්දපුර බීබීසී සිංහල සේවයට පැවසීය.

ඊළඟ විකල්පය හැටියට නාවික විශේෂඥයන් පවසන්නේ මෙය ඉන්දියාවට, සිංගප්පූරුවට හෝ වෙනත් ආසන්න වරායකට රැගෙන යාමය. මෙම නෞකාව ද්විත්ව ගැබක් සහිත වූවක් බැවින් මෙම ගින්නෙන් නෞකාවට විශාල හානියක් සිදුවිය නොහැකි බවින් මෙය ලංකා මුහුදු තීරයෙන් ඉවතට ගෙන යා හැකි බව ඔවුහු පෙන්වාදෙති. ඒ අනුව මෙම නෞකාව අයත් සමාගම විසින් මෙය මැද පෙරදිග පිහිටි වරායක් වෙත ගෙනයාමට කටයුතු කරන බවට නාවික විශේෂඥයන් පවසන නමුත් එයට ලංකා රජය එකඟ වී නොමැති බව දර්ශනි ලහන්දපුර පැවසීය.

“නැව මැද පෙරදිග වරායකට ගෙනයාමට සාකච්ඡාවෙමින් පවතිනවා. ඒත් එය ආරක්‍ෂිත නැහැ. එය ගෙනයන අතර දී අනතුරක් වුනොත් නැවතත් බලපෑම එල්ලවෙන්නේ ලංකාවට. අපි නැව එහි මුල්ම ගමනාන්තය වන ඉන්දියාවේ ප්‍රදීප් වරාය වෙත රැගෙන යන ලෙසට දැනුම් දුන්නා,” සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනි ලහන්දපුර බීබීසී සිංහල සේවයට පැවසීය.

MT New Diamond නෞකාව ගැන

  • 2000 වසරේදී නිපදවූවකි.
  • පැනමා හි ලියාපදිංචි කර තිබේ.
  • දිගින් මීටර 333 කි.
  • අනතුර සිදුවන අවස්ථාවේදී කුවේට් හි මීනා අල් අහ්මදි වරායේ සිට ඉන්දියාවේ ඔඩිෂා හි ප්‍රදීප් වරාය බලා යාත්‍රා කරමින් තිබිණි.
  • නෞකාව තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 1700 ක් වූ බව නාවික හමුදාව පැවසීය.

නෞකාවේ ඇති බොරතෙල් හා ඩීසල් කාන්දු වුවහොත් ඇතිවිය හැකි විශාල ව්‍යසනයකට තනිව මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ මතයයි.

මෙම ආපදා තත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ටග් යාත්‍රා සහ ගුවන් යානා යොදා ගනිමින් ‍දිවයිනට පැමිණ සිටින විදේශීය මුදවා ගැනීමේ සහ ආපදා කළමණාකරණය කිරීමේ විශේෂඥ කණ්ඩායම්වලද සහභාගීත්වයෙන් සිදු කරගෙන යන බව නාවික හමුදාව පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views