ලංකාව සෙසු රටවල අතවැසියෙක් වෙලා – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

අපේ රටේ පාලකයින්ගේ ණයට කන ප්‍රතිපත්තිය නිසා ලංකාව සෙසු රටවල අතවැසියෙක් වෙලා..
රාජපක්ෂලා චීනය, ඇමරිකාව ළඟ දණගහලා ‘අපි දේශප්‍රේමී’ කියලා වේදිකාවල කෑමොර දෙනවා. (ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා)

මේ කලාපයේ සහ ලෝකයේ ඉන්න ආර්ථික බලවතුන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට අපේ රට නතු වෙමින් තිබෙනවා. ලෝක බලවතුන්ගේ කෙළිබිමක් බවට පත්වීමේ අනතුරක අපි ඉන්නේ. මේ ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුවත් අනුගමනය කරන ලද විදේශ ප්‍රතිපත්තිය නිසා මේ තත්වය ඇතිකරලා තිබෙනවා.

කොරෝනා වසංගතය තුළම ඔක්තෝබර් 08වැනිදා චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් නිරෝධායන නීතිරීති පවා නොසලකා ලංකාවට ආවා. ඔවුන් පිළිගන්නවා හැර වෙන කිසිවක් ලංකාවේ ආණ්ඩුවට කළ හැකිව තිබුණේ නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට සෞඛ්‍ය ඇමතිවරිය අපහසුවට පත්වුණු තරම අපි දැක්කා. චීනයේ කොමියුනිස්ට් පක්‍ෂයේ දෙවැනියාත් එක්ක ඉහළ පෙළේ දූත පිරිසක් එන නිසා නිරෝධායන කටයුතු පවා නොතකා පිළිගන්නවා හැර කළ හැකි දෙයක් නැති බව ආණ්ඩුව කිව්වා. චීන දූත පිරිස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී චීනයට ගිය වහාම ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්ක හතරකට ඉන්දියානු කොන්සාල්වරයෙක් පත්කළා. මේ වනවිටත් යාපනය සහ මහනුවර කොන්සල්වරු පත්කර ඉන්නවා. දකුණේ දිස්ත්‍රික්ක හතරකට අලුතින් කොන්සල්වරයෙක් පත්කළේ ඇයි?

විශේෂයෙන් චීන ආයෝජන ලංකාව තුළ වැඩිපුරම තියෙන්නේ දකුණේ. හම්බන්තොට වරාය ප්‍රමුඛ ආයෝජන තියෙන නිසා මේ කොන්සල්වරයා පත්කළා. ඒ අතර ලංකාවේ ඉන්දීය තානාපතිවරයා හදිසියේ අගමැතිවරයාව හමුවී සාකච්ඡා කළා. ආණ්ඩුව ඒ ගැන කීව්වේ ඉන්දියාව මේ රටේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා කළ බවක්. ඒ එක්කම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහත්තයා ඉන්දියාවේ නිල සංචාරයකට එන අතර ඔක්තෝබර් 27වැනිදා ලංකාවට ඒවි කියන බලාපොරොත්තුවක් තියෙනවා. මේ විදිහට පිට පිට අපේ රටට ලෝක බලවතුන් මැදිහත් වෙන්නේ ඔවුන්ගේ කෙළිබිමක් බවට පත්කරගෙන අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය අහෝසි කර තිබෙන නිසා. මේ කිසිවෙක් එන්නේ අපේ දුකසැප බලන්න හරි තේ එකක් බීල යන්න හරි නෙවෙයි. තමන්ට අයිති ඉඩමක් බලන්න එනවා වගේ ලෝක බලවතුන් ලංකාවට එනවා. ඒ නිසා ඔවුන් හිතූ හිතූ වෙලාවට ඇවිල්ලා ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සම්බන්ධයෙන් බලපෑම් කරනවා.

මෙයට හේතුව ආණ්ඩු අනුගනමය කරමින් තිබෙන විදේශ ප්‍රතිපත්තිය සහ නව ලිබරල් ධනවාදී ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියයි. මේ වනවිට ඉන්දු පැසිපික් කලාපය තුළ චීනයට එරෙහිව එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ටේ්‍රලියාව එකට වැඩ කරන්න පටන්ගෙන තිබෙනවා. චීනයේ වෙළඳ ආධිපත්‍යය සහ දේශපාලන ආධිපත්‍යය මේ කලාපයේ පැටවීමට එරෙහිව කාටත් නිදහසේ වෙළඳාම් කරන්න ඕනෑ කියන පදනමින් මේ රටවල් එකතු වෙනවා. පහුගය 06වැනිදා සිට 08වැනිදා දක්වා මේ රටවල් ජපානයේ ටෝකියෝ නුවර රැස්වුණා. චීන කණ්ඩායම හදිසියේ ලංකාවට එන්නේ ඒ අතර. මේ ආපු අය අතර කවදාවත් ලංකාවට නොපැමිණි ඉහළම දූත පිරිසක් ආවා. එයින් චීනය පෙන්නුම් කළේ ලංකාව ඔවුන්ට අයිති බවක්. ඒ දේශපාලන උපායමාර්ග පිළිබඳව කිසි අවබෝධයක් නැතිව හෝ ඇතිව එන එන එක්කෙනා පිළිගන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා.

ලෝකයේ රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕන නැහැ කියලා අපි කියන්නේ නැහැ. පුංචි රටක් වුණාට අපි ගනුදෙනු කළ යුත්තේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් හැටියට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාන තත්වයක් අපේ රටටත් තිබෙනවා. ඒනිසා ඕනෑම රටක් එක්ක සමාන තත්වයේ අයිතියක් ලංකාවටත් තිබෙනවා. නමුත් මේ විදියට යටවෙන්න සිදු වෙලා තිබෙන්නේ රට බරපතල ණය අර්බුදයකට හෙළා තිබෙන නිසයි. ඒ නිසා තව තවත් ණය ගන්න හෝ සම්පත් විකුණා දමන්න සිදු වෙනවා. පහුගිය ආණ්ඩුත් මේ ආණ්ඩුවත් අනුගමනය කරන ණයට කන ආර්ථිකය විසින් මේ හැම රටකම අතවැසියෙක් බවට ලංකාව පත්කර තිබෙනවා. ඇත්තටම ගත්තොත් අපේ රටට මේ එන්නේ ණය හිමියන්. ණය හිමියා එනකොට ණයගැතියා දෙකට නැමිලා ඉන්න ඕනෑ තමයි. එක ණය හිමියෙක් ඇවිල්ලා යනකොට තව ණය හිමියෙක් එනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දීපු ජනතාවට තේරුම් ගත නොහැකි වුනත් අපේ රට රුපියල් ටි්‍රලියන 13කට වැඩි ණය කන්දරාවක රට හිරවෙලා. මේ ණය ප්‍රමාණය වැඩිවීම නිසා මූඩිස් ආයතනය විසින් ලංකාව ණය දීමේ හැකියාව අඩුම රටක් හැටියට පහත හෙළුවා. තව ඒකකයක් පහත දැම්මොත් කිසිම රටකින් ණය ගන්න ලැබෙන්නේ නැහැ.

අපේ රටේ ණය අර්බුදයේ ලොකුම ප්‍රශ්නය සමස්ත ණයවලින් විදේශ ණය පංගුව වැඩිවීම. රට ඇතුළෙන් ණය ගත්තාම ආපසු ගෙවන්න අමාරු නැහැ. රුපියල්වලින් ගෙවන්නේ. මුදල් අච්චු ගැහීම හොඳ වැඩක් නොවුණත් අච්චු ගහලා හරි ණය බේරන්න පුළුවන්. හැබැයි ඩොලර් අච්චු ගහන්න බැහැ. ලංකාවේ සමස්ත රාජ්‍ය ණයවලින් 48%කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඩොලර්වලින් ගත්තු ණය. මේ ණය ආපහු ගෙවන්න ලංකාවට ඩොලර් කෝ? අපේ අපනයන ආර්ථිකය බිඳවැටීම කොවිඞ් වසංගතය නිසා තවත් බරපතල වෙලා. මේ තත්වය යටතේ විදේශ ණය ගෙවන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් අපේ රටේ වටිනා සම්පත් විදේශ රටවලට විකුණා දාන එක. දැන් මේ කරමින් ඉන්නේ ඒක. පහුගිය මාසයේ ඩොලර් බිලිය එකක කල් පිරුණු ණයක් ගෙවුවා. ලබන අවුරුද්දේදී ජූලි මාසය වනවිට ඩොලර් බිලියන එකක් ගෙවන්න තියෙනවා. ඊට අමතරව ණය පොලී වාරිකය මාසයකට ඩොලර් මිලියන 400ක් විතර වෙනවා. අවුරුද්දක ණය පොලිය බිලියන 4.8ක් විතර වෙනවා. ඩොලර් බිලියන එකක ණය වාරිකයක් ගෙවන ගමන් පොලිය වශයෙන් ඩොලර් බිලිනය 4.8ක් එකතු වුණාම ලබන අවුරුද්දේදී බිලයන පහ පැනපු ණය වාරික ගෙවීමේ උගුලක අපි හිරවෙලා.

මේ ණය අරගෙන වැඩි ප්‍රමාණයක් කළේ වංචාව, දූෂණය නාස්තියයි. ණය යොදා සිදුකළ ව්‍යාපෘතිවලින් කිසිම එකක් දැනට ලාභ ලබන්නේ නැහැ. ඒ නිසාම තමයි හම්බන්තොට වරාය චීනයට ලබාදෙන්න සිද්ධ වුණේ. මේ ණය මත ජීවත්වන ආර්ථිකය වෙනස් කරන්නේ නැතිව ඉදිරියට යන්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ආවේ දේශීය ආර්ථිකයක් ගොඩනගනවා කියලා. ඒ ඔක්කොම වේදිකාවල කියන බොරු දේශප්‍රේමී කතන්දර විතරයි. ණය උගුලක හිරවීමෙන් පරාධීනත්වයට පත්වෙලා කටයුතු කරන්න ආණ්ඩුවට සිදුවෙලා. චීනයෙන් ලංකාවට ආව දූත පිරිස ඩොලර් මිලියන 16.5ක ආධාරයක් කර තිබෙනවා. මේක ඉතාම පුංචි ගාණක්. බස්එකකට නගින යාචකයෙක්ට දෙන ගාණක් වගේ. හැබැයි මේ අවුරුද්දේ මාර්තු මාසයේදී චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තා. තවත් ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලලා තියෙනවා. ඩොලර් බිලියන එකක ණය වාරික ගෙවනකොට චීනයෙන් විතරක් මේ අවුරුද්දේදී ඩොලර් බිලියන එකක ණය අරන් තියෙනවා. ඒවගේම ඉන්දියාවෙනුත් ඩොලර් බිලියන එකක ණයක් ඉල්ලලා තිබෙනවා. ඒ ණය දෙන්න බැරිනම් අපේ ණය ඩොලර් බිලියන එකක වාරිකය ගෙවන්න කල් දාලා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා.

ඉන්දියාව මේ ඩොලර් බිලියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඇපයක් සහිතව ලබාදෙන්න ඉදිරිපත් වී සිටින බව වාර්තා වෙනවා. රටවල්වලින් වානිජ බැංකුවලින් ණය ගන්නකොට පොලිය වැඩි වුණත් කොන්දේසි අඩුයි. නමුත් දැන් අඩු පොළියට දිගු කාලීන ණය ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහාට හැරිලා. එතැනට ගියාම කොන්දේසිවලට යටත් වෙන්න සිදුවෙනවා. මේකෙන් වෙන්නේ ණය අරබුදයකටත් යටවෙලා අධිරාජ්‍යවාදී දේශපාලන න්‍යාය පත්‍රයටත් යට වෙන එක. අධිරාජ්‍යගැති, නව ලිබරල්වාදී දුර්වල ආණ්ඩුව ණය ගැනීමට අපේ රට ලෝක බලවතුන් ඉදිරියේ යට කරන එක ඉතාම අනතුරුදායකයි.

ලංකාව පිහිටලා තියෙන්නේ ඉන්දියානු සාගරයේ නාවික, යුද ගුවන් සහ වෙළඳ මධ්‍යස්ථානයක. ඒ නිසා තමයි ඉතිහාසය පුරාමත් ලංකාවට විදේශ ආක්‍රමණ ආවේ. පෘතුගීසි, ලන්දේසි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ආවේ ඒනිසා. මේ බල අරගලයට මැදිහත් වීමෙන් මෑත ඉතිහාසයේ අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඉන්දු-ලංකා ගිවිසුම හොඳම උදාහරණයක්. එවකට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ පාලනය ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. ඒ වෙලාවේ එක්සත් ජනපදයට විරුද්ධව හිටි ඉන්දියාව අපේ රටේ බෙදුම්වාදීන්ට උදව්කරලා බලෙන් පරිප්පු දාලා ජයවර්ධන දණ ගස්වලා 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ඒ අහිතකර තත්වයන්ගෙන් තවම මිදෙන්න බැරිවෙලා. ඒ වගේම අදත් චීනයෙන් ණය අරන් ලංකාව ගැති වෙන්න ගියාම ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව සහ ඇමරිකාව දක්වන ප්‍රතිචාරය බරපතල වෙන්න පුළුවන්. දැනටමත් ඉන්දියාවත් එක්ක අත්සන් කර තියෙන වෙලඳ ගිවිසුම් රටට අහිතකරයි. ඒ වගේම එක්සත් ජනපදයත් එක්ක ගෝටාභය රාජපක්‍ෂ මහතත්යා 2007දී ඇක්සා කියන ගිවිසුම අත්සන්කළා. 2017දී කල් පිරුණු ඒ ගිවිසුම රනිල් වික්‍රමසිංහ මහත්තයා දීර්ඝ කළා. ඒ නිසා එක්සත් ජනපදයට ආරක්‍ෂක හමුදාවල මැදිහත්වීම් කරන්න ඉඩ ලැබෙනවා. දැනට කල් ගිහිල්ලා තියෙන සෝෆා ගිවිසුම අත්සන් කරන්නත් මේ වනවිට සූදානම් වන බව පේනවා. ඒ වගේම බරපතල එම්.සී.සී. ගිවිසුම මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා පැමිණීමෙන් බල කරන්න ඉඩ තිබෙනවා. ඩොලර් මිලියන 480ක් ලබාගන්න මේ ගිවිසුම අත්සන් කරයි කියලා පැහැදිලියි. ඊට අමතරව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමේ අනතුර තියෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දීමේ අනතුරත් හම්බන්තොට වරාය ආශ්‍රිත ඉඩම් ටික චීනයට දීමේ අනතුරත් තිබෙනවා.

මේ විදිහට අපේ රටේ වටිනා කියන සම්පත්, ඉඩම් විකුණාදීම ඇරෙන්න වෙන විසඳුමක් ආණ්ඩුවට නැහැ. මේ නිසා ලෝක බලවතුන් අපේ රටේ දේපොළ සහ දේශපාලනය පාලනය කරන තත්වයක් ඇතිවී තිබෙනවා. අපි අවධාරණය කරන්නේ ලෝක බලවතුන් එක්ක ගනුදෙනු කිරීමේදී ප්‍රතිපත්තියක් තිබිය යුතු බවයි. දැන් තිබෙන්නේ නොබැඳි ප්‍රතිපත්තිය වෙනුවට ගැති, පරාධීන ප්‍රතිපත්තියක්. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය අපේ රටේ ගරුත්වය රකින එකක් නෙවෙයි. සියලු දේ විකුණන තත්වයට පත්වෙලා. ඒ අය තමයි ජනතාවට දේශප්‍රේමය විකුණන්නේ. ඡන්ද කාලෙට ඡන්ද ගන්න වේදිකාවල දේශප්‍රේමය සහ ජාතිවාදය විකුණනවා. දේශප්‍රේමී නම් අපේ රටට ගෞරවයක් ඇතිවන ලෙස ක්‍රියා කරන්න ඕනෑ. ලංකාව පාවා නොදී ඉන්න ඕනෑ. ලංකාව යට කරන ණය නොගෙන ඉන්න ඕනෑ. ඒ නිසා ආණ්ඩුවවත් ආණ්ඩුවේ ඉන්න අයවත් දේශප්‍රේමීන් නෙවෙයි.

නව ලිබරල්වාදය වැලඳගත්ත ආණ්ඩුව රට ණය උගුලක ගිල්වීමෙන් අවසන් නොවී ලංකාව කලාපීය ආර්ථික සහ දේශපාලන බලවතුන්ගේ ගොදුරක් බවට පත්කර තිබෙනවා. තම තමන්ගේ වෙළඳපොළ වෙනුවෙන්, දේශපාලන බලය වෙනුවෙන් ගහගන්න කොට එහි මර්මස්ථානය බවට පත්වෙන්නේ අපේ රට.

පාර්ලිමේන්තුවට 20වැනි සංශෝධනය ගෙනත් සම්මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ තත්වය තුළ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයලා මේ උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවට වගකියන්නේ නැති, ජනතාවගේ මුදල්වලට වගකියන්නේ නැති ඇමති මණ්ඩලයට වගකියන්නේ නැති, අධිකරණයට වගකියන්නේ නැති ජනතාවට කොහොමවත් වග නොකියන තනි පුද්ගලයෙකුගේ ඒකාධිපති පාලනයක් හදාගන්න. ණය උගුලක හිරවෙලා ඉන් නිදහස් වෙන්න සම්පත් විකුණන්න හදනකොට ජනතාවගෙන් අහලා, පාර්ලිමේන්තුවෙන් අහලා ඒවා කරන්න බැහැ. ඒ නිසා තමන් කැමති ගිවිසුමක් අත්සන් කරන්න තනි බලයක් හදාගන්නයි පාවා දෙන්නයි, මුදල් විගණනය නොකර ඉන්නයි ඉඩ හදාගන්න උත්සාහ කරනවා. 20වැනි සංශෝනය ගෙන එන්නේ ඒ බලය තහවුරු කරගන්න.

ඉන්දියාව, චීනය, ඇමරිකාව, ඉල්ලන ඕනෑ දෙයක් ලබාදෙන්න බලය ගන්න රට පාවාදී බලය රැකගන්න උත්සාහ කරන අවස්ථාවල ජනතා විරෝධය පාලනය කරන්න කරන උත්සාහයක් 20වැනි සංශෝධනය තුළ තිබෙනවා. එක පුද්ගලයෙකුගේ සහ පවුලක තනි බලය වෙනුවෙන් රටක් පාවාදීලා ඒකාධිපතිත්වයක් පටවන්න දරන උත්සාහය අපේ රටේ ජනතාවගේ මැදිහත්වීමෙන් පරාජය කරන්න පුලුවන් කියලා අපි විශ්වාස කරනවා. චීනයේ එක පැත්තකත් එක්සත් ජනපදය ඉන්දියාව, ජපානය ඔස්ටේ්‍රලියාව එක පැත්තකත් ඉඳලා කරන මේ බල අරගලයේදී අපට ඉතාමත් හානිකර තත්වයන් ආණ්ඩුවෙන් ගොඩනඟමින් යනවා. ඒ නිසා කොරෝනා තර්ජය මධ්‍යයේ වුණත් මේ බරපතළ තත්වය ජනතාව හමුවේ පැහැදිලි කර වටහා දෙන්න අපි උත්සාහ කරනවා. ජනතාව දැනුවත් කිරීමට මැදිහත් වෙනවා. මේ පිළිබඳව අධ්‍යයනය කරන්න, කරුණු හොයන්න, දැනුවත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ සුරංගනා කතාවලට නොරැවටී අපේ රටට තිබෙන ඇත්ත අනතුර පිළිබඳව අවදියෙන් සිට එය පරාජය කරන්න මැදිහත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

35 Views