මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කීර්තිධරයන් අතරට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රිකට් පිටියේ තවමත් දස්කම් අතර සිටින ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් පිලේ මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කීර්තිධරයින් අතරට පසුගියදා එක්විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ මේජර් දිනේෂ් චන්දිමාල් ගේ සේයාරුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ක්‍රිකට් කමිටු සභාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා විසින් නිරාවරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදා පිල නියෝජනය කරමින් මෙරට දේශීය ක්‍රිකට් පිටියේ පිතිකරුවකු ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් ශ්‍රී ලංකා යුද හමුදාවට කීර්තියක් ගෙනදීම නිමිත්තෙන් මේජර් දිනේෂ් චන්දිමාල් ගේ සේයාරුවක් ක්‍රීඩාගාරයේදී නිරාවරණය කරමින් ඔහුට ගෞරවය ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළේය.

දකුණත් මුල් පෙළ පිතිකරුවක් ලෙසින් මේජර් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ක්‍රිකට් තරග 57කදී ශතක 11ක් සහ අර්ධ ශතක 18ක් සමගින් ලකුණු 3877ක් රැස් කර ඇති අතර, එක්දින තරග 146කදී ශතක 4ක් සහ අර්ධ ශතක 22ක් සමගින් ලකුණු 3599ක් රැස් කර ඇත. ජාත්‍යන්තර පන්දුවාර 20-20 තරගවලදී අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 800ක් රැස් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පසුගියදා නිමාවුණු ප්‍රමුඛ පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැති සුපිරි 8 වටයේ තරගයකදී පන්දු 391කදී හතරේ පහර 33ක් සහ හයේ පහර 9ක් සමගින් සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 354ක් රැස් කරමින් මෙම වාර්තාව තැබීමට මේජර් දිනේෂ් චන්දිමාල් සමත්විය.

දේශීය පළමු පෙළ තරග 121කදී (එන්.සී.සී. සහ යුද හමුදා ක්‍රීඩා සමාජය) ශතක 25ක් සහ අර්ධ ශතක 41ක් සමගින් ලකුණු 8877ක් රැස් කර ඇති දිනේෂ් චන්දිමාල් පසුගිය දිනකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් නිලයට පත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ක්‍රිකට් කමිටු සභාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා මෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදා සහ ක්‍රිකට් කමිටු උප සභාපති බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

ඉෂාන් පමෝද (Batsman.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

35 Views