දේශපාලකයන් විසින් මාධ්‍යවේදීන්ගේ හිතීමේ සීමාව ලකුණු කරලා!- අනිද්දා පුවත්පතේ කර්තෘ,  නීතිඥ කේ.ඩබ්. ජනරංජන

මම මේ වේලාවේ අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය සමාජයේ සාමාජිකයෙක් හැටියට 20 වැනි සංශෝධනය දකින්නේ කොහොමද කියන කාරණය ගැනයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක් වන නිසාත්, ඒක වෙන් කරලා සලකන්නට බැරි නිසාත් පොදුවේ  ප්‍රජාතන්ත්‍රවාදයට 20 වැනි සංශෝධනය නිසා ඇති වන බලපෑම තමයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියටත් බලපාන්නේ. ඒ වගේම මාධ්‍ය නිදහසටත් බලපාන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට කරන බලපෑම ගැන මුලික අවබෝධයක් තබා ගැනීම ප්‍රයෝජනවත්.

මාධ්‍ය සමාජයේ සාමාජිකයෙක් ලෙසට මේ අවස්ථාවේ මාධ්‍යවල ප්‍රමුඛත්වය ලැබිය යුතු පුධාන මාතෘකා දෙකක් මම දකිනවා. එකක් අපි මුහුණ පා සිටින කොවිඩ්-19 පිළිබඳ ප්‍රශ්නය. දෙවන කාරණය 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන්, ජනමාධ්‍යවේදයේ යෙදෙන මාධ්‍ය ආයතන, කර්තෘවරු, මාධ්‍යවේදීන්, ප්‍රවෘත්ති සංස්කාරකවරු මේ සියලු දෙනාම ප්‍රමුඛත්වයක් දිය යුතු කාරණයක්. හේතුව 20 වැනි  සංශෝධනය මේ තියෙන විදියට නීතිගත වුණොත් මේ තරම් කාලයක් අපි අසීරුවෙන් ආරක්ෂා කර‌ ගෙන පැමිණි, සීමා පුළුල් කරගත්  ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණය යුගයක් ආපස්සට හැරෙන්නට නියමිතයි. ඒ නිසා මේක මාධ්‍ය සමාජයේ වැදගත් ප්‍රශ්නයක් බවට පත් වීමට අවශ්‍යයි. සාකච්ඡා කළ යුතු, ස්ථාවරයක් ගත යුතු, මැදිහත් විය යුතු ප්‍රශ්නයක් ලෙස මාධ්‍ය සමාජය විසින් මේ කාරණය ගත යුතුයි.

අවසනාවකට අද ප්‍රධාන ධාරාවේ පුවත්පත් ගත්තත්, අනෙකුත් මාධ්‍ය ගත්තත් ඒ අයට වැදගත් මීට වඩා වෙනත් කාරණා.  අනිත් අතට මෙම ප්‍රශ්නයට මාධ්‍ය මැදිහත් වීම දේශපාලකයින් විසින් සීමා කොට තිබෙන බව මම කියන්න කැමතියි. වෙනත් ආකාරයකට ප්‍රකාශ කළහොත් මධ්‍ය වාර්තා කරන්නේ දේශපාලකයින් 19 හා 20 වැනි සංශෝධනය ගැන කියන දේවල්. එහෙම නැතිනම් පළ කරන්නේ ඔවුන් කියන දේවල්. ඊට කිසිම ප්‍රශ්න කිරීමක් ඇතුලත් නැහැ. මාධ්‍යකරුවාගේ විචාර බුද්ධිය ප්‍රදර්ශනය කරන්නේ නැහැ. තමන්ගේ ස්ථාවරය පිළිබඳ අදහසක් ද ඉදිරිපත් කරන්නේ නැහැ. මේ නිසා මාධ්‍ය සමාජයේ සිතීමේ පරිමණ්ඩලය දේශපාලකයින්ගේ සිතීම සහ අදහස් විසින් සීමා කොට තිබෙනවා.

19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ගත්තත් මාධ්‍ය විසින් ජනසමාජය වෙතට ගෙන ගියේ දේශපාලකයින්ගේ ප්‍රකාශ පමණයි. මෙම පණිවුඩවල අඩංගු වුයේ 19 වැනි සංශෝධනය පිළිබඳ නිශේධාත්මක මතයක්. ඉන් එක් පණිවුඩයක් නම් 19 වැනි සංශෝධනය නිසා තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය ඇති වුණේ යන්න. එය අමුලික බොරුවක්. අපි හොඳටම දන්නවා මෙම සිදුවීම් අතර කිසිම සම්බන්ධයක් නැති බව. තවත් පණිවුඩයක් නම් 2015-2019 දක්වා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමක් ඇති වුණේ, 19 වැනි ව්‍යවස්ථාව නිසා කියන එක. ඒකත් අමුලික බොරුවක්. ඒ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ගැටුම ඇති වුණේ දෙදෙනාට බලය පිළිබඳ තිබු විජිගීෂාව, බලය පිළිබඳ තිබෙන තණ්හාව, පංති අතර තිබු පරතරය වැනි ප්‍රශ්න නිසා. 19වැනි සංශෝධනය සමඟ කිසිම සම්බන්ධයක් නැහැ.

කථානායක ධුරය වටා බල කේන්ද්‍රයක් නිර්මාණය වුණා යැයි කියන එක තවත් බොරුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙසට කථානායකවරයා ක්‍රියා කළාට කථානායකවරයා රාජ්‍ය බලකේන්ද්‍රයක් ලෙසට මතු වුණේ නැහැ. 2018 ඔක්තෝබර් 28 වන දින ඇතිවු ආණ්ඩුක්‍රම ව්‍යවසථා කුමන්ත්‍රණයේදි කථානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට ඉටු කළ කාර්යභාරය නිසා ඔහුට එකල විරුද්ධ පක්ෂ විසින් දැඩි චෝදනා එල්ල කළා. එක චෝදනාවක් තමයි කථානායකවරයා රට පාලනය කරන්නට පටන් ගත්තා කියන කාරණය. ඔහුට ඒ බලය ලැබුණේ ඔක්තෝබර් 28 වන දින ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා.

ඊළඟට ගෙන ආ තවත් චෝදනාවක් තමයි පොලිස්පතිවරයා 19වැනි සංශෝධනය නිසා ඉවත් කරන්නට බැරිය කියන කාරණය. මෙයත් අමුලික බොරුවක්. පොලිස්පතිවරයා ඉවත් කිරීම පිණිස 2002 අංක 02 නමින් වෙනම පනතක් තිබෙනවා. ඒ පනත අනුව ගිය ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව පොලිස්පතිවරයා ඉවත් කිරීමට ක්‍රියා කළේ නැහැ.

මේ ආකාරයට 19 වැනි සංශෝධනය නරක දෙයක් යැයි කියන්නට මතු කරපු සහ රෝපණය කරපු බොරු තමයි මාධ්‍යවේදීන් පුනරුච්චාරණය කරන්නේ. කවුරුත් මේක ප්‍රශ්න කරන්නේ නැහැ. මැති ඇමතිවරු මාධ්‍යයට වොයිස් කට් දිලා 19 වැනි  ව්‍යවස්ථා සංශෝධනය නිසා පොලිස්පතිවරයා ඉවත් කර ගන්න බැරි බව කියන කොට මාධ්‍යවේදීන්ට අනිත් පැත්තට හැරිලා ‘ඇයි ඒකට 2002 අංක 02 පනත තිබෙනවා නේද’ කියලා අහන්න බැහැ. අහන්න දන්නෙත් නැහැ. ඒ නිසා අවසානයට සිද්ධ වුණේ මාධ්‍යවේදීන්ගේ සිතීමේ සිමාව, මේ දේශපාලකයින් විසින් නියම කිරීමයි. මෙහි භයානක ප්‍රතිඵලය වුණේ මහජනතාව අතර 19 වැනි  ව්‍යවස්ථා සං‌ශෝධනයට විරුද්ධ ජනමතයක් රෝපණය වීමයි. නමුත් ඇයි විරුද්ධ කියලා ඔවුන්ගෙන් ඇහුවොත් ඊට හේතු කියන්න දන්නේ නැහැ. ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර පමණක් නොව නීතිඥවරු, ආචාර්ය මහාචාර්යවරු වැනි ඉහළ මට්ටමේ අය පවා විරුද්ධව කථා කරන තත්ත්වයක් ඇති වුණා. 19 වැනි සංශෝධනය පිළිබඳ දේශපාලකයින්ගෙන් ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන් ‘ගෙදර වැඩ’ කර නොතිබීම නිසා එහෙම නැත්තම් ඒ සඳහා අවශ්‍ය අවධානය සහ දැනුම තමන්ට නොතිබීම නිසා දේශපාලකයින්ගේ ප්‍රලාප ඒ ආකාරයෙන්ම සමාජ ගත කළා. මාධ්‍යවේදීන්ගේ පැත්තෙන් සිද්ධ වු බරපතළම අවුල මෙය යැයි මා සිතනවා.

20 වැනි  සංශෝධනය ගැන කතා කරන විට, තනි පුද්ගලයෙකුට ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල පවරා ගැනීමක් සිදු වෙලා තියෙන්නේ. මෙම සංශෝධනයෙන් විධායක බලය කේන්ද්‍රගත කරනවා පමණක් නොව වෙන් වෙන් වශයෙන් පැවතිය යුතු ආයතන තුනම විධායක බලයට නතු කරනවා. ඒ විතරක් නෙමෙයි, පවතින දේශපාලන සන්දර්භයට අනුව ඊට පවුලකුත් එකතු වෙනවා.  පවුල සහ පුද්ගලයා වටා විධායක බලය කේන්ද්‍ර ගත කරනවා.

රාජ්‍ය ආයතනවලට තමන්ට කැමැති කැමැති ආකාරයට පුද්ගලයින් පත් කරන්නට20 වැනි සංශෝධනය හරහා විධායකයට බලය ලැබෙනවා.  අධිකරණයට විනිසුරුවන් පත් කිරීමේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා විධායක බලතලවලට අමතරව අධිකරණ විනිසුරුවන් පත් කිරීමේ බලය ගත්තා. ඒ වගේම අපි දන්නවා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා මේ බලය භාවිතා කළ ආකාරය ගැන. මෙම බලය 19 වැනි සංශෝධනයෙන් ඉවත් කළා. දැන් යළිත් 20 වැනි සංශෝධනය හරහා අධිකරණයට විනිසුරුවන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් ලබා ගත් විට ඔහු ජනතා පරමාධිපත්‍යයට ඉහළින් සිටින සුපිරි පාලකයෙක් බවට පත් වෙනවා. මෙම ක්‍රියාවලිය සනාථ කිරීම පිණිස 1978 ව්‍යවස්ථාවට ආපසු යාමක් කියන තර්කය ඉදිරිපත් කිරීම  කිසිසේත්ම සාධාරණ වන්නේ නැහැ.

ඊළඟ වැදගත් කාරණය තමයි විධායක ජනාධිපතිවරයා නීතියට ඉහළින් ස්ථාපිත කරනවා. විධායක ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීමට තිබෙන ව්‍යවස්ථානුකූල මාර්ග නැති කරනවා. අවසාන වශයෙන් විධායක ජනාධිපතිවරයාට තමා යටතේ තිබෙන කිසිම ආයතනයක් පිළිබඳ වගකීමක් හෝ වගවීමක් පැවරෙන්නේ නැහ.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන්ම පැන නැගී ඇති විරෝධතාවලද විශේෂ ලක්ෂණයක් තිබෙනවා. ඔවුන් ප්‍රශ්න කරන්නේ 20වැනි සංශෝධනයේ හරය නෙමෙයි. ඔවුන්ගේ විරෝධය තිබෙන්නේ දවිත්ව පුරවැසිභාවය, විගණන කොමිසම අහෝසි කිරීම වැනි අංග සම්බන්ධයෙන්. මිනිසුන්ට ළඟා වීමට නොහැකි ඒකා-අධිපති පුද්ගලයෙක් 20 වැනි සංශෝධනය මඟින් නිර්මාණය කිරීමයි අප විසින් ප්‍රශ්න කළ යුත්තේ.

20 සම්බන්ධයෙන් කරන විවේචනවලට විරුද්ධව ඉදිරිපත් කරන තවත් තර්කයක් නම්,  20වැනි  ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය 18වැනි සංශෝධනයේ තිබු දෙයක්, එසේ නැතිනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතව තිබූ දෙයක් නිසා අළුත් දෙයක් නොවන බව. එහෙම නැත්නම් ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන තෙක් කරන තාවකාලක සංශෝධනයක් යැයි තවත් බොරුවක් කියනවා. ඒ ගැන අපි වෙනම කථා කරන්න අවශ්‍යයි.

තර්කයක් වශයෙන් 1978 ව්‍යවස්ථාවේ සහ 18 වැනි ව්‍යවස්ථාවේ මෙම කාරණා තිබුණායැයි කීමෙන් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ භයානකකම අඩු වෙන්නේ නැහැ. ඊට හේතුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් දැන් නැහැ. 17ක් හෝ 18 නැහැ. එම ව්‍යවස්ථා සං‌‌ශෝධන මඟින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වි දැන් අපිට තිබෙන්නේ මේ මොහොතේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මේ නිසා අපි විමසා බැලිය යුත්තේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධානවලට, ජනතා පරමාධිපත්‍යයට 20 වැනි සංශෝධනයෙන් හානියක් වනවාද නැද්ද යන කාරණයයි. අපේ ව්‍යවස්ථාවේ පාලන බලතල ඇතුලේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යනුවෙන් බල කේන්ද්‍ර තුනක් සහ මුලික අයිතිවාසිකම් සහ ඡන්දබලය යනුවෙන් ජනතා පරමාධිපත්‍ය ඇතුලේ බල කේන්ද්‍ර දෙකක් තිබෙනවා. ව්‍යවස්ථාදායක විධායක බලතල ජනතාවගේ නියෝජිතයින් හරහා ක්‍රියාත්මක කරනවා. නමුත් මුලික අයිතිවාසිකම් සහ ඡන්දබලය එසේ දෙන්නේ නැහැ. මෙම බලතල දෙක කිසි කෙනෙකුට පවරා නොදෙන්නේ ඒක ඒ තරම්ම වැදගත් නිසා.

20වැනි සංශෝධනය විසින් මෙම ජනතාව සන්තකයේ තිබෙන බල කේන්ද්‍ර දෙක පවා සීමා  කරනවා.  20 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක හා අධිකරණ  බලතල පමණක් නොව ජනතාව සන්තකයේ තිබෙන අයිතිවාසිකම් පවා සීමා කිරීමට හැකි වන බව අපි සැලකිල්ලට ගත යුතු වෙනවා. මෙය උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්. කලිනුත් කියපු විදිහට 20ට පක්ෂව ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය තමයි ”ජනාධිපතිට අසීමිත විධායක බලයක් 1978 ව්‍යවස්ථාවෙන් සහ 18 වැනි සංශෝධනයෙන් ලැබී තිබුණා, එය සීමා කළේ 19 යෙන්, ඒනිසා 19 ඉවත් කළාම අපි ආයෙත් 18ට යනවා.” කියන කාරණය. නමුත් මෙහිදි සැලකිල්ලට ගත යුතු කාරණය තමයි 19 දැන් අපේ ජනතා පරමාධිපත්‍යයේ කොටසක්. ඒනිසා 20න් කරන්නේ ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීමක් යන්න තේරුම් ගත යුතුයි.

20 වැනි සංශෝධනයට පක්ෂව ජනාධිපතිවරයාම ඉදිරිපත් කරන තර්කය නම් තමාට ලැබුණ ජනවරම ක්‍රියාත්මක කරන්නට 19 බාධාවක් වන බවයි. ජනාධිපතිවරයාට ලක්ෂ 69ක ජනවරමක් ලැබුණ බව ඇත්ත. තවත් ලක්ෂ 63 ජනතාවක් ඔහුට විරුද්ධව ඡන්දය දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අර ලක්ෂ 69 පමණක් නොවෙයි. අනෙක් ලක්ෂ 63ත් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටස්කාරයෝ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මුලික නීතිය වන නිසා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන කොට අර ලක්ෂ 69 ගැන පමණක් නොව ඉතිරි ලක්ෂ 63 ගැනත් බලන්න වෙනවා.

ජනමාධ්‍යකරුවන් මේ කාරණා අවධාරණය කරනවා ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.

මම හිතන්නේ දේශපාලකයින් විසින් මාධ්‍යවේදීන්ගේ හිතීමේ සීමාව ලකුණු කරන නිසා මාධ්‍යවේදින් එක් එක් දේශපාලකයා කියන දෙය වාර්තා කරමින් යනවා. නමුත් 20 වැනි සංශෝධනය පිළිබඳව තමන්ගේම මිනුම් දණ්ඩක් මාධ්‍යවේදීන්ට නොමැති බවයි පෙනෙන්නේ.

මාධ්‍යවේදීන් ලෙසට අපේ කාර්යභාරය මහජන සුභසිද්ධිය ( Public Interest)  වෙනුවෙන් පෙනී සිටිමයි. මාධ්‍යවේදීන්ට කවර ප්‍රශ්නයකදි වුවත් පොදු යහපත වන්නේ කුමක්ද යන්න පිළිබඳ තමන්ගේම මතයක් තිබිය යුතුයි. අපගේ වෘත්තීය ජිවිතයේදි කරන්නේ අපට ලැබෙන සෑම ප්‍රවෘත්තියක්ම මහජන සුභසිද්ධියට ගැලපෙන්නේ කෙසේද යන්න කිරා බලා තිරණය කිරිමයි. ජනමාධ්‍යවේදින්ට මහජන සුභසිද්ධිය පදනම් කොට ගත් ස්ථාවරයක් තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් කරනවා නම් හෝ ප්‍රජාතන්ත්‍රවාදයට සීමාවක් ඇති කරනවා නම් අපි එය සැලකිය  යුත්තේ මහජන සුභසිද්ධියට කරන හානියක් ලෙසටයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හානියක් වනවානම් අපි එය මහජන සුභසිද්ධියට වන හානියක් ලෙස සැලකිය යුතුයි. නීතියට ඉහළින් ඉන්න පුද්ගලයෙක් නිර්මාණය කරනවා නම් අපි එය සැලකිය යුත්තේ මහජන සුභසිද්ධියට හානි කර කාර්යයක් ලෙසටයි. මාධ්‍යවේදීන් ලෙසට මහජන සුභසිද්ධිය කියන මිනුම්දණ්ඩ අපේ අතේ තිබිය යුතුයි. තමන් කැමති දේශපාලකයා කවුද, තමන් කැමති දේශපාලන පක්ෂය කුමක්ද, තමන් කැමති දේශපාලන දර්ශනය කුමක්ද යන්න අදාළ කර ගත යුතු නැහැ අර ඉහත කී මුලික මිනුම්දණ්ඩට. ජනමාධ්‍යවේදීන් කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් නම් ඔවුන් අර මුලික මුලධර්ම මත පදනම්ව තම මාධ්‍ය ක්‍රියාකාරිත්වය තීරණය කළ යුතුයැයි මා යෝජනා කරනවා.

මේ අනුව 20වැනි සංශෝධනය ගැන අපි ප්‍රශ්න අහන්න වෙනවා.

  • 20 වැනි සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරනවා. ඔව් ද නැද්ද?
  • 20 වැනි සංශෝධනයෙන් තනි පුද්ගලයෙකුට බලයක් ලැබෙනවාග පවුලකට බලයක් ලැබෙනවා. ඔව්ද නැද්ද?
  • 20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට අධිකරණයට පත් කිරීම් කරන්නට බලයක් ලැබෙනවා. ඔව් ද නැද්ද?
  • 20 වැනි සංශෝධනය නිසා පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලය සීමා වෙනවා. ඔව් ද නැද්ද?

ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව සතු අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ලැබෙන්නේ කෙසේද යන්න මට නං ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව හරහා ජනතාව‌ගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වෙනවා නම් ජනාධිපතිවරයාට හිතු හිතු වේලාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන්න බැහැ. ජනාධිපතිවරයාට නව පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට තිබෙන බලය පිළිබඳ පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. 20 වැනි  සංශෝධනයේ දක්වා ඇති ආකාරයට නව පාර්ලිමේන්තුවක් වසරක කාලයක් තුළ ජනාධිපතිවරයාට විසුරුවා හැරිය නොහැකියි. නමුත් ඉන් අදහස් කරන්නේ ඊට පෙර පාර්ලිමේන්තුව සිය ධුර කාලයට පෙර විසුරුවා හැරිය පාර්ලිමේන්තුවක් නම් පමණයි ,ජනාධිපතිවරයාට නව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිණිස වසරක කාලයක බලා ගෙන සිටිය යුත්තේ. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පාර්ලිමේන්තු සිය ධුර කාලය අවසන් වීමට පෙර විසුරුවා හැරිය අවස්ථා විරලයි. සාමාන්‍යයෙන් බොහෝ පාර්ලිමේන්තු සම්පුර්ණ ධුර කාලයම කටයුතු කොට තිබෙනවා. එවැනි පාර්ලිමේන්තුවකට පස්සේ අළුතින් පත් වන නව පාර්ලිමේන්තු ඔනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට විසුරුවා හැරිය හැකියි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ලබා ගෙන තිබෙන බලය ජනතා පරමාධිපත්‍ය පැත්තෙන් ඉතාමත් අසාධාරණ බලයක්. කාරක සභා අවස්ථාවේ සංශෝධන ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අවුරුදු 2යි මාස 6ක් දක්වා ඉදිරියට ගෙන යන බව සඳහන් වෙනවා. නමුත් මම හිතන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැරීමට බලයක් තිබිය යුතු නැහැ. මෙය ඉතාමත් භායනක දෙයක්. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තිබෙන බලය නිසා පාර්ලිමේන්තුව ඔහුට අවනත කර ගත හැකියි. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අකමැති දේවල් කළහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රීරීවරුන් තමන්ගේම මරණ වරෙන්තුව තමන් විසින්ම ලියා ගන්න තත්ත්වයට පත් වී තිබෙනවා.

20 වැනි සංශෝධනය පිළිබඳ මෙම කාරණා සැලකිල්ලට ගත් විට අපි මුලධර්ම මත ප්‍රශ්න කළ යුතු  දේවල් තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා සහ අගමැති සහෝදරයෝ නිසා පාර්ලිමේන්තුව සහ ජනාධිපති අතර ගැටුම් නිරාකරණය කර ගනු ඇතැයි යන තර්කය භායනක වන්නේ මේ නිසයි. තමන් විපක්ෂයේ සිටින අවස්ථාවක මේ බලය තිබෙන ජනාධිපති කෙනෙක් බලයේ සිටියහොත් කුමක් විය හැකිදැයි  වත්මන් ආණ්ඩු පක්ෂය කවර හෝ අවස්ථාවක සිතනවාද? තමන්ට උසාවියකට යන්න බැහැ ජනාධිපතිවරයා තමයි විනිශ්චයකාරවරුන් පත් කරන්නේ. ජනාධිපතිවරයාට ඉහළ අධිකරණවලට පමණක් නොව පහළ මහේස්ත්‍රාත් අධිකරණවලට පවා විනිශ්චයකාරවරුන් පත් කිරීමට බලයක් ලැබෙන්නේ අධිකරණ සේවා කොමිසන් සභාව තමන් යටතට ගන්නා නිසයි. අධිකරණ සේවා කොමිසන් සභාව පත් කරන්නෙත් ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට එහි සාමාජිකයින් තමාට අවශ්‍ය අවස්ථාවල හේතු දක්වා ඉවත් කළ හැකියි. බලය තිබෙන ජනාධිපති කෙනෙක් පත් කරලා ඊළඟට ගිහින් විපක්ෂයේ වාඩි වුණාම අළුත් ජනාධිපති විපක්ෂයට ෆ්ල්ට් වෙන්ඩ ගහලා දමනු ඇත. මේක තේරුම් නොගෙන තමන්ට බලය තිබෙන වේලාවට මේ ආකාරයට හැසිරීම නිසා අපි විශාල අර්බුදයකට යන්නේ.

දේශපාලකයින් තමන් විපක්ෂයේ ඉන්න කොට විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. එළඹෙන මැතිවරණයකදි තමන්ට බලය ලබා ගැනීමට සුළු හෝ අවස්ථාවක් ඇතැයි තක්සේරුවක් තිබුණොත් මැතිවරණ ප්‍රකාශනයටවත් ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන ඇතුල් නොකරන බව පෙනී ගොස් තිබෙනවා. විරුද්ධ පක්ෂයේ ඉන්න කොට ජනාධිපතිවරයා ප්‍රහාර එල්ල කරන කොට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කථා කරනවා. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ කිසිම තැනක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන් කර නැහැ. සජිත් ප්‍රේමදාස තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පැහැදිලිව කියා නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නෙත් ‘සියලු පාර්ශවයන් විමසා බලා සුදුසු තීරණයක් ගනු ඇත’ යන දියාරු වගන්තියක්. ජනාධිපති ක්‍රමය එහි ආරම්භයේ සිටම විවේචනයට භාජනය වුණා වගේම, ජනාධිපති ක්‍රමය ජනතා පරමාධිපත්‍යයට හානි කරයි කියන්නා, වගේම එය වෙනස් කිරීම පිණිස අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය අපේ දේශපාලනඥයින්ට නැති බව කියන්න වෙනවා.

මෙම විෂය ගැන දිගින් දිගටම කථා කළ හැකියි.

නමුත් මට අවධාරණය කරන්නට සිදු වි තිබෙන්නේ මෙවැනි වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් මාධ්‍යකරුවන්ට ස්ථාවරයක් තිබිය යුතුයි. මම වාර්තා කරන කොට, සම්මුඛ සාකච්ඡා ගන්න කොට ඒවායින් පෙනී යනවා යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මම ඉන්න ස්ථාවරය කුමක්ද කියලා. ජනමාධ්‍යවේදීන් හැටියට ‘මහජන සුභසිද්ධිය’ කියන මුලික සිද්ධාන්තය මත නම් තීන්දු තීරණ ගන්නේ අපේ වෘත්තීය පවත්වා ගෙන යන්නේ; 20 වැනි සංශෝධනය විශ්ලේෂණය කරන කොට ප්‍රජාතන්ත්‍රවාදය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නීතියේ පාලනය තනි පුද්ගලයෙකුට බලය ලැබීම යන මේ සියලු කාරණා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ඉතා විනාශකාරි ප්‍රතිඵල ලබා දෙන බව කිය යුතුයි. ඒ වගේම 20 වැනි සංශෝධනය රටක් හැටියට ඉතාමත් විනාශකාරි ප්‍රතිඵල අත්කර දෙන ව්‍යවස්ථා සංශෝධනයක් යැයි කිව හැකියි.

ප්‍රමාද වි හෝ ජනමාධ්‍යවේදීන් සිය වගකීම සියතට ගත යුතුයි.

(”ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස සහ 20 වැනි සං‌ශෝධනය” යන තේමාව යටතේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සාකච්ඡා සභාවේ දී කළ අදහස් දැක්වීමකි )

 

The post දේශපාලකයන් විසින් මාධ්‍යවේදීන්ගේ හිතීමේ සීමාව ලකුණු කරලා!- අනිද්දා පුවත්පතේ කර්තෘ,  නීතිඥ කේ.ඩබ්. ජනරංජන appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

38 Views