දිල්ලියෙන් ලන්ඩනයට යන ලෝකේ දිගම බස් ගමන

ලෝකයේ දිග ම බස් ගමන ලෙස සැලකෙන අපූරු චාරිකාවක් පිළිබඳ කතාවක් පසුගිය දිනවල අසන්නට ලැබුණි. එය හඳුන්වා දී තිබුණේ ලෝකයෙන් අඩක් තරණය කරන බස් චාරිකාවක් වශයෙනි. මෙම අපූරු බස් ගමනේ දී මගියකු ට කි.මී. 20,000 ක පමණ දුරක් ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බැව් සඳහන් වේ.

ඉන්දියානු සංචාරක ආයතනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන මෙම චාරිකාව එරට දිල්ලි නගරයේ සිට එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය දක්වා දිවෙන්නකි. මෙම සම්පූර්ණ ගමන සඳහා දින 70 ක පමණ කාලයක් ගතවන අතර එහි අපූරුම කාරණය වන්නේ රටවල් 18 කට ආසන්න සංඛ්‍යාවක් හරහා ගමන් කිරීමට සංචාරකයකු ට අවස්ථාව හිමි වීමයි. එක් ගමන් වාරයක් සඳහා සහභාගි කර ගන්නේ මගීන් 20 දෙනකු පමණි. නවීකරණය කරන ලද ඉතා සුඛෝපභෝගී බස් රථ මෙහි දී යොදා ගැනෙන බව සංචාරක ආයතනය සඳහන් කර තිබේ. මෙවැනි චාරිකාවක් සැලසුම් කිරීම සඳහා ආභාසය ලැබුණේ 1950-60 දශකවල පැවැති හිපි සංස්කෘතිය තුළ දක්නට ලැබුණු බස් චාරිකාවලින් බව ද ඔවුහු පවසති.

දිල්ලියේ සිට ලන්ඩනය දක්වා යන ගමනේ දී බස් රථය බොහෝ විශේෂ ස්ථානවල නතර කරනු ඇති අතර එම තැන්වල දී බසයෙන් බැස එකී ස්ථාන නැරඹීමට මගීන් ට අවස්ථාව උදා වනු ඇත. චීනය, මියන්මාරය, නේපාලය, තායිලන්තය වැනි ආසියානු රටවල් හරහා මෙන්ම කසකස්තානය, කිර්ගිස්තානය ඇතුළු යුරෝපයේ රටවල් හරහා ද මෙම බස් රථය ගමන් කරයි. සංවිධායකයන් පවසන්නේ ආසියානු රටවල සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථාන, චීන මහා ප්‍රාකාරය, රුසියාවේ සහ යුරෝපයේ ඓතිහාසික ස්ථාන ඇතුළු බොහෝ දේ දැක බලා ගැනීමට මෙහි දී මගීන්ට හැකි වනු ඇති බවයි.

මෙම ගමන සඳහා යොදා ගන්නා බස් රථ ඉතා සුව පහසු ආකාරයෙන් නවීකරණය කරනු ඇති බව ද පැවසේ. තරු හතරේ හෝ තරු පහේ හෝටලයක ඇති පහසුකම්වලට සමාන පහසුකම් එහි දී භුක්ති විඳීමට මගීන් ට අවස්ථාව හිමි වනු ඇති බව සඳහන් වේ.

එක්සත් රාජධානිය සහ ඉන්දියාව අතර බස් සේවයක් ක්‍රියාත්මක වූ පළමු වතාව මෙය නොවන බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. 1957 තරම් ඈත කාලයක ද ලන්ඩන් නුවර සහ ඉන්දියාවේ කල්කටා නුවර අතර බස් සේවයක් ක්‍රියාත්මක ව තිබිණි. ඒ කාලයේ මෙම ගමන සඳහා එක් මගියකුගෙන් අය කර තිබුණේ පවුම් 85 ක පමණ මුදලකි. මෙවර ක්‍රියාත්මක කිරීමට යන චාරිකාව සඳහා මගියකුගෙන් ඇමරිකානු ඩොලර් 20,000 ක පමණ ගාස්තුවක් අය කරනු ඇත. එය ලංකාවේ රුපියල්වලින් ලක්‍ෂ 38 කට ආසන්න මුදලකි. කෙසේ වෙතත් මේ වනවිට ලොව පුරා පැතිර ඇති කොවිඩ් වසංගතය නිසා දැනට මෙම චාරිකාව සඳහා සුදුසු පරිසරයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නැත. ලබන වසරේ මෙම චාරිකාවල පළමු ගමන් වාරය දියත් කිරීමට බලාපොරොත්තු වන බව සංවිධායකයෝ පවසති. මෙහි ප්‍රධාන සංවිධායකයන් දෙදෙනා ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකි. ඒ, තුෂාර් අගර්වාල් සහ සංජේ මදන් ය. ඔවුන් මෙයට පෙර ද ඉන්දියාවේ සිට ලන්ඩනය දක්වා මෙවැනි අපූරු චාරිකා සංවිධානය කර ඇති දෙදෙනෙකි. නමුත් එම අවස්ථාවල සංචාරකයන් ගමන් කර ඇත්තේ ඔවුන්ගේ ම වාහනවලිනි. තමුන්ගේම වාහනවලින් ගමන් කළා වුව ද කණ්ඩායමක් වශයෙන් මෙම ගමන සිදු වූ නිසා එය බෙහෙවින් රසවත් අත්දැකීමක් වී තිබිණි. එමෙන්ම අයිස්ලන්තයේ සහ රුසියාවේ හිම මිදුණු ප්‍රදේශ හරහා ද තුෂාර් සහ සංජේ දෙදෙනා අමුතුම ආකාරයේ චාරිකා සංවිධානය කර තිබූ බැව් සඳහන් වේ. නමුත් මෙවර බස් චාරිකාව ගැන සඳහන් කරමින් ඔවුන් පවසන්නේ කලින් සංවිධානය කළ චාරිකා සියල්ලට වඩා වෙනස් විදියක චාරිකාවක් සංවිධානය කිරීමට තමුන් ට අවශ්‍ය වූ බවයි. ‘රට රටවල් හරහා දීර්ඝ සංචාරයන් හි යෙදෙන්නට ආසා කරන බොහෝ දෙනෙක් සිටිනවා. නමුත් ඔවුන් එතරම් දුරක් තමුන්ගේම වාහන පදවාගෙන යන්න කැමැත්තක් දක්වන්නේ නැහැ’ තුෂාර් අගර්වාල් පවසයි. ‘මේ ඔස්සේ කල්පනා කරද්දී තමයි අපිට මේ බස් ගමන ගැන අදහස ආවේ. මෙහි දී සංචාරකයන් ට කිසි වෙහෙසකින් තොරව, සුව පහසු ලෙස ආසනයක වාඩි වෙලා දීර්ඝ චාරිකාවක යෙදෙන්න අවස්ථාව ලැබෙනවා.’

ඔවුන් පවසන විදියට රට රටවල් හරහා කෙරෙන මෙවැනි දීර්ඝ චාරිකාවක් සඳහා හොඳම කාලය අප්‍රේල් සහ ජුනි අතර කාලයයි. ඒ කාලයේ කාලගුණය මෙවැනි ගමනක් සඳහා වඩාත් සුදුසු වන බැවිනි. මෙම චාරිකාව කොටස් හතරකට බෙදා ඇති බව ද තුෂාර් සහ සංජේ පවසති. ඒ නිසා යම් කෙනකු ට සම්පූර්ණ චාරිකාව සඳහා ම සහභාගි වීමට අවශ්‍ය නැත්නම් එයින් කොටසකට වුව ද සහභාගි වීමට හැකියාව තිබේ. මෙහි දී මගීන්ට එක්කෝ දිල්ලියෙන්, එසේ නැත්නම් ලන්ඩනයෙන් ගමනාරම්භ කළ හැකිය. දිල්ලියේ සිට ලන්ඩනය බලා යන බස් රථය එහි දී මගීන් බස්සවා ආපසු හැරී නැවත දිල්ලිය බලා පැමිණෙයි.

සහන් වික්‍රමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

45 Views