තිරසර නවීන සෞඛ්‍ය පනතක් ඕනේ..

ප්‍රජාතන්ත්‍රවිරෝධී 20 වැනි සංශෝධනය වෙනුවට තිරසර නවීන සෞඛ්‍ය පනතක් වෙනුවෙන් කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයිි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔක්තෝබර් 16 වැනි දා හෙතෙම ඒ බව ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දක්වන විපක්ෂ නායකවරයා –

ජන ජීවිත බරපතල පීඩාවකට ලක් ව තිබිය දී එම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවට සිය බල අරගලය සුරක්ෂිත කරගැනීමට ආණ්ඩුව වෙහෙසෙමින් සිටින අතර සෙසු සියල්ල පසෙක ලා ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරපින්නාගෙන යමින් සිටී. තම ජන ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනු ඇතැයි විශ්වාස කළ ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකකට ආසන්න සුවිශාල ජන වරමක් ලබා දුන් අතර,ආණ්ඩුව ඊට ලබා දෙන ප්‍රතිචාරය වන්නේ ඉතා වේගයෙන් ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති ගමනකට යොමුවීමයි. රටක් වශයෙන් බරපතල ව්‍යසනයක සිටිය දී වගකිවයුතු ජනතාවාදී රජයක් අවශ්‍යයෙන්ම ඉටුකළ යුත්තේ මොනවා ද?

කොවිඩ් වැනි අවාසනාවන්ත ව්‍යසනවලට මුහුණ දී ජයගත හැකි ශක්තිමත් සෞඛ්‍ය සේවයක් සහතික කිරීම යුගයේ කඩිනම් අවශ්‍යතාවයකි. ඒ වෙනුවෙන් නොවලහා කළයුතු වන්නේ බල වියරුව උදෙසා ගෙන එන්නට වෙහෙසෙන 20 වැනි සංශෝධනය වැනි කටයුතු වලට වඩා “තිරසර,නවීන සෞඛ්‍ය පනතක්” සම්මත කර ගැනීම ය.එවැනි ශක්තිමත් ජනතාවාදී පනතක අවශ්‍යතාව ඉදිරියේ දී වඩ වඩාත් දැඩිව දැනෙනු ඇත.

ලෝකයේ බිලියන ගණනක් ජනතාව කොරෝනා ව්‍යසනය හේතුවෙන් අන්න අසරණ වූ අතර එයින් පාඩම් උගෙන බොහෝ රටවල් සිය සෞඛ්‍යමය අණපනත් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කරන්නට පටන් ගෙන තිබේ.

එහෙත්,මෙරට තත්ත්වය සපුරාම වෙනස් ය.

බල ලෝභය සහ, හුදු ජනප්‍රිය දේශපාලන උපාය උපක්‍රම හේතුවෙන් ජනතා ප්‍රමුඛතාවයන් යට ගොස් පටු අපේක්ෂාවන් ඉස්මතු වී තිබේ. එහි කූඨප්‍රාප්තිය වත්මන් ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත තුලින් මනාව ඔප්පු වේ. පළවෙනි කොරෝනා රැල්ලෙන් බැට කෑ අපේ රට දෙවෙනි රැල්ල සමග තවත් බරපතල කඩාවැටීමක් අද්දර සිටී.එවන් කඩා වැටීමක් ඇස් ඉදිරිපිට තිබියදී ආණ්ඩුව සහ කතානායකවරයා උත්සාහ කරන්නේ විසිවෙනි සංශෝධනයට අදාල ශේෂ්ඨාධිකරණය තීන්දුව 20 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට දින දෙකක විවාදයකින් සම්මතකර ගැනීමට ය. ප්‍රජාතන්ත්‍රවිරෝධී පනතක් සම්මත කරගැනීමට ආණ්ඩුවට ඇති කඩිමුඩිය ,මේ මොහොතේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය පනතක් සම්මත කරගැනීම කෙරෙහි නැතිවීම පිළිබඳ අප කණගාටු වන අතර ආණ්ඩුව වහාම කළයුතු වන්නේ නිෂ්චිත අවශ්‍යතාව හඳුනාගෙන කටයුතු කිරීමය. ඒ වෙනුවෙන් අප ජනතාවගේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුවට බල කර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

49 Views