කළු රංජි

මිනිස්සු ජීවිතයට එබිකම් කරති, එති යති, නැවත එති, සැනෙන් අතුරුදන් වෙති. තවත් සමහරු බොහෝ කලක් රැඳෙති. එහෙත් යමකු හට සිය දිවිය පුරා මතකයෙහි රැඳෙනා, ප්‍රසන්න මතකයන් සමගින් රැඳෙනා මිනිසුන් සංඛ්‍යාව සීමිතය. ඉදින් එසේ මතකයෙහි රැඳෙනා සීමිත පිරිස අතරින් එක් පුද්ගලයකු පිළිබඳ සටහනක් මෙවන් ආකාරයකින් අරඹන්නට සිදුවන්නේ නම්? 

අවුල් වුණු කොණ්ඩයක්, අතරින් පතර පැසුණු උඩු රැවුලක් සහ මුහුණ පුරා බාගෙට ඉතිරි වුණු රැවුල් කොට වනයක්, එක් ඇලයකට බා ගත් උරහිසක්, නොවැරදීම විවිධ ලටපටවලින් පිරි කලිසමට උඩින් එල්ලෙන කමිසයක් සහ එල්ලා හැලෙන කලිසමක්, පයෙන් මිදී යන්නට වෙර දරන සෙරෙප්පු යුවලක් සමග කලබලකාරී වීදි හරහා දිවා කාලයේ මෙන්ම රැයෙහිද අසීමිතව සරණ හොණ්ඩා ට්වීන් යතුරු පැදියක්- ඔන්න උන් හිටි ගමන් ඒ යතුරු පැදිය පෙරළෙයි, විටෙක නාඳුනන බොහෝ විට හඳුනන කෙනකුද පටවාගෙන සරයි. වැස්සේ මෙන්ම පට්ට අව්වේද පිටුපස බැඳි පෙට්ටියක්ද බොහෝ විට එහි වෙයි. කාල වර්ණ රූපකායකට බද්ධ වූ කාල වර්ණ යතුරු පැදියක්. එහෙත් මේ චිත්‍රය අසම්පූර්ණය. බොහෝ දෙනකුට දැන් චිත්‍රය ගැන පැහැදිලි අදහසක් ඇතිවා නිසැකය. 

එහෙත් මම ඊට නමක් තබමි. රංජිත් දිසානායක. කවුරු, රංජිත් දිසානායක කිවුවා? මට මතක නෑ. මම නිවැරදි ලෙස චිත්‍රයෙහි නම උච්ඡාරණය කරමි. කළු රංජි! අම්මට හුඩු කළු රංජි, එහෙම කියන්න එපායැ. එද මේ සටහන අසම්පූර්ණය. ඉදින් මම ඔහු ගැන කිහිප ආකාරයකින් විමසන්නට තැත් තරමි. කළු රංජි හෙවත් අපිළිවෙළ සැබැවි, ඔහුගේ පිළිවෙළ යනු අපිළිවෙළමය. බාහිර ස්වභාවයෙහි සිට සිය කාර්යයන් දක්වා ඔහු අකුරටම අපිළිවෙළ රකියි. එහෙත් ඒ ඔහුටම විශේෂ වූ ආකාරයකටය. විවිධ පොත් ප්‍රදර්ශන වලදී දක්නට ලැබෙන රංජිගේ පොත් කුටියෙහි ඔබට පිළිවෙළකට අසුරන ලද පොත් දැකිය නොහැකිය. එහි උපකාරයට ඉන්නා සහෝදරයා සහ සහෝදරිය එය කෙතරම් පිළිවෙළකට තැබුවද රංජි එහි වන් සැණෙන් එහෙන් මෙහෙන් අවුස්සා යළි පොත් කුටිය තම ‘අපිළිවෙලේ පිළිවෙළට’ සකසන්නට නොපසුබට වෙයි. 

ඒ අතර පාසල් දරුවකු හෝ කණ්ඩායමක් නැතිනම් සිය මිතුරෙක්, මිතුරියක්, එසේත් නැත්නම් කිසිදාක හෝ නොහඳූනන එහෙත් පොතට ලැදි බවක් පළවෙන යමෙක් එහි පිවිසෙයි. රංජි ඒ තැනැත්තා හෝ තැනැත්තන් සමගින් කතාබහක පැටලෙයි. පොත් නිර්දේශ වෙයි. ඒ තැනැත්තා සිතට ඇල්ලුවේ නම් ඔහු හෝ ඇය මිලට ගත් පොත් අතරට සමහරවිට ඊටත් වඩා වටිනා පොත් සංඛ්‍යාවක් නොමිලේම එක් වෙයි. ‘අවශ්‍ය දෙයක් තියේ නං ගන්න, සල්ලි ගැන කරදර වෙන්නෙපා.’ රංජි අනේපිඬු සිටාණන් මෙන් පවසයි. ඒ අතරම පොත් සොයන්නන් ගේ සම්බන්ධීකාරක භූමිකාවද පවරා ගනියි. මේ සියල්ලෙහිම ඇත්තේ අපිළිවෙළමය. ගනුදෙනු වල සිට විවිධ කාර්යයන්හී ඔහු මේ අපිළිවෙළ මනාව පවත්වා ගනියි. මේ තමයි කළු රංජි ලොගෝව- නොකියා කියවෙන අනිවාර්යය සාධකය නම් එයයි. 

කළු රංජි හෙවත් කඬේ යන්නා රංජි සිය මවගේ මරණය දා මව් ගුණ ගී ඇතුළත් සිංදු හොය හොයා මළගෙදර වාදනය කළේය. කකුල පෑගු සැණින් මව් මතක් කරන ජනතාවක් ඉන්න රටක මවගේ මරණයේදී මව්ගුණ ගී අසන්නට ඉඩ සැලසිය හැක්කේ සැබෑවටම මව් හඳුනන්නෙකුට පමණි. ඒ මළගෙදරදී කතාබහක පැටළුණ අවස්ථාවෙක රංජිගේ ජීවන සහකාරිය තියුණු උත්ප්‍රාසයකින් යුතුව මෙසේ කියා සිටියාය. “මල්ලි, අපේ රංජි මුළු රටටම කඬේ යනව තමයි, හැබැයි අපිට පාන් කාලක් ගේන්නවත් එයා කවදාවත් කඬේ ගිහින් නෑ.” රංජිගේ කඬේ යාම පිළිබඳව ඇත්තේ කතා සරිත් සාගරයකි. සැබැවින්ම රංජි කඬේ ගියේම අනුන් වෙනුවෙනි. තවෙකකුට උපකාරයක් ඇවැසි යයි දැනුණු විට රංජි හට තමන් යමින් සිටි කාරිය අමතක වෙයි. ඉන්පසුව උතුරට ගිය රංජි හමුවන්නේ බටහිරිනි. පාන් ගේන්න ගිය රංජි කාටදෝ ගෑස් ටැංකියක් සිය දඬුමොණරයේ බැඳගෙන යනු දක්නට ලැබෙයි. තවත් විටෙක කාගේ හෝ බල්ලෙකුට බේත් ගෙන දීමට පේරාදෙණියේ පශූවෛද්‍ය පීඨයට සිය වියදමින් වාහන රැගෙන යයි. මේ රංජිගේ හැටි සොබාවයයි. 

රංජි නම් දුක්ගන්නා රාළ රංජිගේ පරම්පරාවේම ඒ ජාතියේම තවත් බඩුවක් වූ ෂෙල්ටන් පයාගලගේ අභාවයට පසුව ඔහුගේ ඥාතීන් වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීමට අසංක සායක්කාර නොමිලේ දුන් නාට්‍යයක් පෙන්නු දවස මට තවමත් මතකය. එදා රංජි ආවේ රෝද පුටුවක හුන් තරුණියක තල්ලු කරගෙනය. “මේ දරුවට බරපතළ අසනීපයක්. මං ඉතිං එයාට සතුටක් ලැබෙන වැඩක් කරන්න හිතුවා.” ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ පානදුර නගරයේ පෙන්වූ අවස්ථාවේදී රංජි මගේ අතට සල්ලි කොළ කිහිපයක් මිට මොළවා නාට්‍යය බලන්නට සල්ලි නැති කිහිප දෙනකුට ටිකට් අරගෙන දෙන්නැයි ඉල්ලා සිටියේය. “එතකොට කෙනෙකුට නාට්‍යය බලන්නත් ලැබෙනව ධර්මසිරි අයියට කීයක් හරිත් ලැබෙනව.” මේ ආකාරයට රංජි ඔම්බුඞ්ස්මන් කාරියෙහි නියැළුණ අවස්ථා නිමක් නැත. වෙනස මෙයයි. ඒ සෑම කටයුත්තකින්ම වැඩියෙන්ම සතුට ලබන්නේ ඔහු වීමයි. නොක්කාඩු නැත. අරූ මූ කර ඇරියා යයි චෝදනා නැත. ඔහු තම කාරිය කරයි. රංජි නම් විප්ලවකාරයා රංජි අයිති හැත්තෑ එකේ අරගලයටය. අසූනමයේ රංජි අයිති දෙවන පරම්පරාවේ සතුරන් ගොඩටය. එහෙත් අද රංජි මේ සියල්ලන් සමගම එකසේ ඇසුරු කරයි. ඔහු නන්දන මාරසිංහට පණ මෙන් ඇලුම් කරන ජීවියෙකි. 

හැත්තෑ එකේ අරගලය ජයග්‍රහණය කළා නම් රංජි කවර ආකාරයේ විප්ලවවාදියකු වෙනු ඇතිද? පෙරළු නැවුම් පසේ දවීදව්? මකාර්? ෂුකාර්? ගෝර්කිගේ පාවෙල්? ඔස්ත්‍රොව්ස්කිගේ පාවෙල් කොර්චාගින්? දෙකක් නැත. සියලු අනුමාන, පුරෝකථන බල්ලාට දමා රංජි රංජිම වනු ඇත. පියන්කාරගේ බන්දුල ජයවීර කවියා කීවාක් මෙන් සුදුම සුදු කළු රංජි. රංජිගේ විප්ලවයේ අත්දැකීම් කවදා හෝ ලියාගත යුතුය. එය කළ හැකිවනු ඇත්තේ ඔහු අල්ලා අර හොණ්ඩා පලංචියට බැඳ තැබීමෙන් පසුවම පමණි. රංජි නම් දැල් එලන්නා මිනිසුන් අතර සම්බන්ධතා ගොඩනැගීම පිණිස ෂෙල්ටන් පයාගලට මෙන්ම රංජිටද ඇත්තේ කිසිදා සුව නොවන ගායකි. ඔහු ඒ බී සමග ගැටගසයි. සී සහ බී ඒ සමග ගැටගසයි. එෆ්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් ඒබීසී සියල්ල සොයා යයි. 

හැත්තෑ එකේ සහෝදරයන් සහ අසූනමයේ සහෝදරයන් අතර සම්බන්ධතා ගොඩනැගීමට ඔහුට තිබූ වුවුමනාව තිබූ තවත් සගයකු අද අප අතර නැත. ඒ ප්‍රේමපාල හේවාබටගේ සහෝදරයාය. ඔහුත් රංජිගේ බයිසිකලයේ නැග තෙමි තෙමී මේ සම්බන්ධතා ජාල හදන්නට කරක්ගැසූ තැන් නිමක් නැත. අඳුනාගෙන තවම දවසක් වුවද අවශ්‍යතාවක් වෙනුවෙන් නම් ඔහු ඒ තැනැත්තා පදම් කරන්නට නොපැකිළෙයි. කිසිවිටක තමන්ගේ වාසිය වෙනුවෙන් අනෙකකු හමුවේ නොනැමනෙ රංජි වෙනකකුගේ දුකකදී කවර නැමිල්ලක් වුව නවන්නට නොපැකිළෙයි. සමහරු අඩියක් ගසන විට රංජි ඔයාට බ්ල්ඞ් ෂුගර් තියෙනවද අසති. රංජිට බ්ලඞ් ෂුගර් නැත. තිබේනම් ඒ ෂුගර්වල බ්ලඞ් පමණි. අනෙකා වෙනුවෙන් කකියන ලේ ඇති රංජිට මේ වෛද්‍ය උපදෙස් පළක් නැත. ඒ රංජිගේ හැටිය. ලොව කවරම උසස් ගුවන් සේවයක ගමන් කළද ඔහු රංජිගේ දඬුමොණරයෙහි වටයක් ගොස් නැතිනම් අර කවර ගමනකින් වුව පලක් නැත. ඒ ගමන නම් කරන්නට සුදුසු වචන නැත. රංජි සහ කළු පාට හොණ්ඩාව යනු අමුඩය සහ පුක මෙනි. මේ දෙක වියෝ නොවෙයි. එහෙයින් රංජිට වෑන් කාර් අරගෙන බයික් එක අතාරින්නයයි කියනවාට වඩා කට මහගැනීම හොඳය.

චූලානන්ද සමරනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views