කළු ජූලියේ සිට පාස්කු දක්වා, දේශපාලනයට බෝම්බ බලපෑ හැටි…

 බෝම්බයක් තැනෙන්නේ මානව සංහාරයකට මය. දේශපාලනය යොදා ගැනෙන්නේ මානව ප්‍රගමනයකට ය. බෝම්බකරුවන් සිටිය හැක්කේ ත්‍රස්තවාදී හෝ සන්නද්ධ සංවිධානයක ය. දේශපාලඥයන් සිටින්නේ පක්ෂයක ය. බෝම්බකරුවන් දේශපාලනය නොකරන්නා සේම, දේශපාලඥයන් බෝම්බ පුපුරුවා ගන්නේද නැත.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ සලකා බැලීමේදී බෝම්බ සහ දේශපාලනය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබඳතාවකි. බෝම්බ හේතුවෙන් මෙරට දේශපාලනයේ ගමන් මග වෙනස් වූ තීරණාත්මක අවස්ථා එදා මෙන්ම අදත් මෙරට සමාජ සන්දර්භය තුළ පෙනෙන්නට තිබේ. 1983 යාපනයේදී පිපිරවූ බෝම්බයේ සිට 2019 දී පුපුරා ගිය පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව දක්වාම එම සත්‍යය වරින් වර අත් දැකීමට ශ්‍රී ලාංකේය ජනතාවට අවස්ථා හිමි විය.

ලංකා දේශපාලනයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යක් සනිටුහන් කරමින්, ළදරු එල්.ටී.ටී.ඊ.ය විසින් 1983 ජූලි 23 දා යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිපිරවූ බෝම්බය ලංකා දේශපාලනය කැලඹීමට සමත්වූ බෝම්බ සංස්කෘතියේ පළමු එක විය. මෙම ප්‍රහාරයෙන් ගුරුනගර් කඳවුරට අනුයුක්තව සේවය කළ සොල්දාදුවන් 13 දෙනෙක් ඝාතනයට ලක් විණි.

මෙසේ හමුදා සෙබළුන් ඝාතනයට ලක්වීම මුල් කොට ගනිමින් 1983 ජූලි 24 වැනිදා කොළඹින් ආරම්භ වූ සිවිල් ගැටුම අවසන් වූයේ සිය ගණනක් ජීවිතද, කොටි ප්‍රකෝටි ගණනින් දේපළද ගිනි බත් කරමිනි. මෙම සිදුවීම් මාලාව හේතුවෙන් ද්‍රවිඩ වැසියන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සරණාගතයන් ලෙස විදෙස් රටවල් කරා සංක්‍රමණය වූහ. ‘කළු ජූලිය’ ලෙස ප්‍රකට වූයේ මෙම සිදුවීම් මාලාවය.

කළු ජූලිය හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාව හුදෙකලා වූ අතර, අළු යට වූ ත්‍රස්තවාදී ගිනි පුපුරු වර්ධනය වෙමින් ජනසංහාරික යුද්ධයක් දක්වා එය වර්ධනය වූහ. එපමණක් නොව කළු ජූලිය දඩමීමා කරගනිමින් කළ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ තහනම හේතුවෙන් 1989 දී රටම අකර්මණ්‍ය කරමින් සිවිල් අරගලයකටද එය මග පෑදීය.

ඉන් අනතුරුව මෙරට දේශපාලනයට සෘජුව බලපෑම් කළ තවත් බෝම්බ ප්‍රහාරයක් වූයේ 1987 අගෝස්තු 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පුපුරා ගිය බෝම්බ දෙක විය. එය එල්ල කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පාර්ලිමේන්තු සේවකයෙකු විසිනි. මෙම ප්‍රහාරයෙන් මාතර දිස්ත්‍රික් අමාත්‍ය, කීර්ති අබේවික්‍රම හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු ඝාතනයට ලක්වූ අතර, ජාතික ආරක්ෂක අමාත්‍ය, ලලිත් ඇතුලත්මුදලි, අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස, සෞඛ්‍ය අමාත්‍ය ගාමණී ජයසූරිය මෙන්ම අමාත්‍යවරුන් වූ ඊ.එල්.බී. හුරුල්ලේ, මොන්ටේගූ ජයවික්‍රම ඇතුළු පිරිසක් තුවාල ලැබූහ.

මෙම බෝම්බ ප්‍රහාරය දකුණේ කැරලිකරුවන්ට එරෙහිව රජයේ අවි එසවීමට බලපෑ පළමු රුකුල් දීම විය. එහි කෙළවර ලෙස සනිටුහන් වූයේ හැට දහසක් පමණ තරුණ ජීවිත, මෙන්ම කෝටි ගණනක රාජ්‍ය හා පෞද්ගලික දේපළ ද ජාතියට අහිමි කරමිනි.

ශ්‍රී ලංකා භූමිය තුළ නොවූවද 1991 මැයි මස 21 දා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදූර්හිදී පුපුරා ගිය මිනිස් බෝම්බයද මෙරට දේශපාලනයට කෙළින්ම සම්බන්ධ වූවක් විය. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙහෙයවූ ධනූ නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියක් වූ අතර, ඉලක්කය වූයේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ය.

ඉන්දියාව විසින් බිහිකර, පුහුණුව ලබාදී, පෝෂණය කරමින් සිටි දෙමළ ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය තම නිර්මාතෘවරුන්ම ඉලක්ක කිරීම හේතුවෙන් එහි සියලු වාසි ශ්‍රී ලංකාවට හිමිවිය. එල්.ටී.ටී.ඊ.යට පක්ෂපාතී ඉන්දීය ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට මෙම බෝම්බ ප්‍රහාරය හේතුවූ අතර, එය සිව්වැනි ඊළාම් යුද්ධය ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට තීරණාත්මක සාධකයක් විය.

මෙරට දේශපාලනයේ තවත් තීරණාත්මක කඩඉමක් සනිටුහන් කළ බෝම්බයක් වූයේ 1993 මැයි 01 වැනිදා කොළඹ ආමර් වීදිය පොලිසිය ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි. එහිදී මෙරට දෙවැනි විධායක ජනාධිපති, රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු දහ හත් දෙනෙක් මහමගදී ඝාතනයට ලක් වූහ.

1977 දී බලය ලබා ගැනීමෙන් අනතුරුව වසර 17 කට ආසන්න කාලයක් පාලන බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයේ බලය වියැකී යාමට මුල්වූයේ රණසිංහ ප්‍රේමදාසගේ ඝාතනය විය. ඔහුගෙන් අනතුරුව ප්‍රබල නායකත්වයක් එ.ජා.ප.ය සතුව නොතිබූයෙන් විපක්ෂ සන්ධානය බලවත් වීමට මෙම ඝාතනය හේතු විය.

1994 ඔක්තෝබර් 23දා රාත්‍රියේ තොටළඟදී පුපුරා ගිය බෝම්බයද, මෙරට දේශපාලනය උඩු යටිකුරු කිරීමටත්, තවත් දශක ගණනාවකට එක්සත් ජාතික පක්ෂයට නායකයන් අහිමි කිරීමටත් සමත් වූ එකක් විය. මෙම බෝම්බ ප්‍රහාරයෙන් 1994 ජනාධිපතිවරයේදී එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ ගාමිණී දිසානායක ඇතුළු එ.ජා.ප. දෙවන පෙළ, තෙවන පෙළ නායකයන් 42 ක් අහිමි කර ගත්තේ ය.

1999 දෙසැම්බර් 18 දා කොළඹ ටවුන්හොල් පිටියේ පුපුරා ගිය මිනිස් බෝම්බය නොවන්නට එවර ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක දෙවැනි වරට සිය ජනාධිපති ධුරයට පත් නොවීමට සම්භාවිතාවක් තිබිණි.

සිය චරිතාපදාන ග්‍රන්ථයේ මේ පිළිබඳව සටහනක් තබන හිටපු අමාත්‍ය, මංගල සමරවීරට අනුව, එදා ටවුන්හෝල් බෝම්බය නොවන්නට එ.ජා.ප.අපේක්ෂක, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමේ අවදානමක් ඇති බව එවකට බුද්ධි අංශ පවා වාර්තා කොට තිබූ බවයි.

ඒ අනුව මැනවින් පෙනෙන්නේ, ටවුන් හෝල් බෝම්බය මෙරට දේශපාලන දිශානතිය වෙනස් කිරීම සඳහා සෘජුවම දායක වූ මෙවලමක් බවයි.

යුද සමයේ කොළඹ ඇතුළු මෙරට තුළ පුපුරා ගිය බෝම්බ ප්‍රහාර අතරින් දේශපාලන හා සමාජ දිශානතිය වෙනස් මගකට ගෙන ගිය මීළඟ බෝම්බ ප්‍රහාරය වූයේ, 2006 වසරේ අප්‍රේල් 25 වනදා කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි.

මෙහි පැහැදිලි ඉලක්කය වූයේ එවකට යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඝාතනය කිරීම විය. සිය කාර්යාලයේ සිට බෞද්ධාලෝක මාවත පිහිටි නිල නිවස වෙත දිවා ආහාරය සඳහා පිටත්ව යාමේදී දැඩි රැකවල් සහිත අධි ආරක්ෂිත කලාපය තුළ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය ක්‍රියාත්මක විණි.

මෙම ප්‍රහාරයෙන් යුද හමුදාපති සරත් ෆොන්සේකා බරපතළ තුවාල ලැබීය. උදරය විවර වීමෙන් ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ද පිටතට පැමිණ තිබූ අතර කෙසේ හෝ ජීවිතය බේරාගැනීමට ඔහු සමත් විය. එහෙත් මෙම ප්‍රහාරයෙන් ඔහුගේ ආරක්ෂකයන් ඇතුළු 12 දෙනෙක් ඝාතනයට ලක්වූහ.

මෙරට වෛද්‍ය ප්‍රතිකාරවලට අතිරේකව විදෙස් රෝහලකදී සිදු කරන ලද ශල්‍යකර්ම ගණනාවකින් පසු ඔහුගේ ඇතැම් තුවාල සුව වීමටත් ප්‍රථම යළි දිවයිනට පැමිණි ඔහු නැවතත් යුද හමුදාපති ධුරයේ වැඩ ආරම්භ කළේය.

එවකට කොටි ත්‍රස්තවාදීන් විසින් වසා දමා තිබූ මාවිල්ආරු සොරොව්ව නැවත විවෘත කිරීමේ මෙහෙයුමෙන් ආරම්භ කළ මානුෂීය යුද්ධය අවසන් වූයේ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ පිරබාහරන්ගේ ජීවිතය මෙන්ම 30 වසරක යුද්ධයද අවසන් කරමිනි.

2006 දෙසැම්බර් 01 කොළඹ පිත්තල හන්දියේ පුපුරා ගිය බෝම්බයද මෙරට ක්‍රියාත්මක වූ 30 වසරක යුද්ධය නිමා කිරීම සඳහා සාධනීය පියවර ගැනීමට මෙරට දේශපාලනය පෙලඹවූ අනෙක් බෝම්බ ප්‍රහාරය විය.

එහි ඉලක්කය වූයේ එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ ය. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ ජීවිතය බේරුණේ ඔහු වෙඩි නොවදින රථයක එම අවස්ථාවේ ගමන් ගනිමින් සිටි නිසාය. එහෙත් ඔහුට ආරක්ෂාව සැපයූ ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් දෙදෙනකුගේ ජීවිත රටට අහිමි විය.

එදා එම බෝම්බ ප්‍රහාරය සාර්ථක වුණි නම්, මානුෂීය මෙහෙයුමේ ගමන්මග බොහෝ සෙයින් වෙනස් විය හැකිව තිබිණි. එමෙන්ම එසේ වුණි නම්, මෙරට යුද වාතාවරණය මැඬ පැවැත්වීමට ඉවහල් විය හැකි ආරක්ෂක ලේකම්වරයෙක් රටට අහිමි වන්නටද ඉඩ තිබිණි.

එනයින් බැලූ විට, මෙම බෝම්බ ප්‍රහාරයද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වටිනා හැරවුම් ලක්ෂයක් බව කිව යුතුය.

යුද වාතාවරණය නිමා වීමෙන් බොහෝ කලකට පසු ත්‍රස්තවාදයේ බිය නැවතත් සමාජයට දැනෙන්නට වූයේ 2019 අප්‍රේල් මස 21 දා එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවත් සමගය.

මෙරට ක්‍රියාත්මක වූ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වූ තවුහිත් ජමාද් සංවිධානය විසින් එල්ල කළ මෙම බෝම්බ ප්‍රහාරයේ අනුග්‍රාහකයන් වූයේ ඉස්ලමික් ස්ටේට් ත්‍රස්තයන් හෙවත්, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය බව විශ්වාස කෙරේ.

මෙම බෝම්බ ප්‍රහාර මාලාවේදී ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්, කුඩා දරුවන් ඇතුළු සිවිල් පුරවැසියන් හා විදේශිකයන් 277 ක් ඝාතනයට ලක්වූ අතර, තුවාල ලැබූ සමස්ත ප්‍රමාණය 407 ක් විය.

දේශීය හා විදේශීය බුද්ධි අංශ විසින් වසරකට නොවැඩි කාලයක සිට ප්‍රහාරය එල්ල වීමට මොහොතක කාලයක් දක්වා මේ පිළිබඳව විවිධ අනතුරු හැඟවීම් හා දැනුවත් කිරීම් රැසක් සිදු කර තිබියදී සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය මෙරට දේශපාලන හා ආරක්ෂක අංශයන්ගේ සුවිසල් කඩාවැටීමක සංකේතයක් බඳුය.

එවකට පාලන බලය සතුවූ ආණ්ඩුවේ ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් සම්බන්ධයෙන්ද, ආරක්ෂක ප්‍රධානීන් සම්බන්ධයෙන්ද ජනතා සැකය ජනිත වූයේ පාස්කු බෝම්බය හේතුවෙනි.

වත්මන් රජය බලයට පත්වීම සඳහා ජනතා වේදිකාව සැකසූ ආසන්නතම සිදුවීමද, ජාතික ආරක්ෂාව පළමු තැන ලබා දෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂට ජය හිමි කරදීමට මුල් වූයේද පාස්කු බෝම්බයේ ප්‍රබලත්වයම විය.

පශ්චාත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වසරකටත් වඩා ගෙවී ඇති අවස්ථාවක වුවද ජනතාව එහි වගඋත්තරකරුවන් සම්බන්ධයෙන් වන නෛතික ක්‍රියාමාර්ග පිළිබඳව දක්වන උනන්දුව කොතරම්ද යන්න වර්තමානයේ සිදුවීම්වලින් වුවද මනාව විද්‍යාමාන වේ.

පසුගිය ආණ්ඩුව පහ කිරීම සඳහා හේතු සැපයූ පාස්කු බෝම්බය සම්බන්ධ නීතිමය කටයුතු නිසි පරිදි සිදුවනු දැකීම මෙරට සියලු ජනයාගේ ඒකායන අභිප්‍රාය වී ඇත. මෙරට ඉතිහාසයේ සමාව දිය නොහැකි වරදක් නැවතත් සිදු නොවීමට වගබලා ගැනීම වත්මන් රජයට ඇති අභියෝගයක් මෙන්ම, එකී බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සත්‍ය පසුබිම ජනතාව වෙත වාර්තා කිරීමත්, සිය වගකීම් ඉටු නොකළ සියලු පාර්ශ්වයන්ට නිසි දඬුවම් ලබා දීමත් ආණ්ඩුවේත්, රජයේත්, අධිකරණ අංශ හා පරීක්ෂණ අංශවලත් වගකීම වනු ඇත.

එසේ නොවුණහොත්, පාස්කු බෝම්බ සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන ප්‍රබල සාධකයක් වීම නොවැළැක්විය හැකිය.

•උපුල් ගලප්පත්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views