කරවල කෑල්ලෙනුත් පර්යේෂණ පත්‍රිකාවක්

වසර තුනකට පමණ පෙර මට ලංකාවේ පැවති පර්යේෂණ ක්‍රමවේද පිලිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීමට ආරාධනා ලැබුණි.  මෙහිදී මට හමුවූ බොහෝ ලාංකික විද්‍යාඥයන් තුල දකින්නට ලැබුණු කරුණක් නම් ඔවුන් පර්යේෂණ ගැටළුවක් සොයාගත නොහැකිව අතරමං වී ඇති බවයි. නමුත් ඒ කිසිවෙක් මේ බව කෙලින්ම පැවසුවේ නැත. 

ලංකාවේ වෙසෙන බොහෝ පර්යේෂකයන් කරන්නේ තමන් ආචාර්ය උපාධිය සඳහා අධ්‍යනය කල විෂය ඔස්සේම තව දුරටත් ගමන් කිරීමට උත්සහ කිරීමයි. එය ඔවුනට යම් සුරක්ෂිතබාවයක් ලබා දෙයි. එසේම විදේශීය රටක සිටින ඔවුන්ගේ PhD  සුපවයිසර්වරයාගේද අභිප්‍රාය එයමය. මන්ද එමගින් ඔවුනට තමන්ගේ මූලික පර්යේෂණ අවශ්‍යතා සපුරාගත හැකි බැවිනි.  එබැවින් මේ දේශීය පර්යේෂකයෝ රටට අවශ්‍ය වුවත් නැතත් එකම හොද්ද සදාකාලිකවම හැඳි ගාති. ඒ වෙනුවෙන් ඉඳහිට ලැබෙන  විදේශීය ගමනකින්, පර්යේෂණ පත්‍රිකාවකින්, සුළු පර්යේෂණ අරමුදලකින් ඔවුහු සෑහීමකට පත්වෙති. මේ රටාවෙන් ඉවත්ව ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුන්ගෙන්ද වැඩි පිරිසක් රට හැර ගොස් ඇත.

මේ තත්වය බොහෝ නොදියුණු රටවල මම පැහැදිලිවම දකිමි. ලංකාව ඉන් එකක් පමණි. මේ රටවල් නොදියුණු ලේබලයෙන් ගොඩ ඒ ගත නොහැකිව සිටින ප්‍රධාන හේතුවක් වන්නේද මෙයයි. 

ඔබට රටට සේවයක් කරන්නටත්, පර්යේෂණ පත්‍රිකා ඵල කරන්නටත් ඒ වෙනුවෙන් දැඩි ඇගයීමකට ලක්වීමටත් අවශ්‍ය නම් තමා සතු පර්යේෂණ උපකරණ වලින් පමණක් කල හැකි දේ පවා බොහෝ ඇත. 

මම උදාහරණයක් දෙන්නම්. 

ලංකාවේ කරවල සෑදීමේ ක්‍රමවේදය බොහෝ දෙනෙකුට නොරහසකි. විකුණා ගත නොහැකි කුණුවූ මාළුවන් ෆෝමලීන් සහ වෙනත් රසායනික ද්‍රව්‍යවල ගිල්ලා ඉන්පසු ක්ෂනිකව වේලා පිළියෙළ කරගන්නා මේ කරවල වලට මැස්සෙක් වත් වහන්නේ නැති බව බොහෝ දෙනෙකු අසා ඇත. 

මෙය කරන්නේ මුහුදු ගොස් දිවි පරදුවට තබා මත්ස්‍ය අස්වැන්න රැගෙන එන ධීවරයාද? බොහෝ විට උත්තරය නැත යන්නයි. මෙය දේශපාලන අධිකාරිය, පොලීසිය, පාතාලය යන ත්‍රිත්වයම එකතු වූ මහා පරිමාණ ක්‍රියාවලියක් බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ. 

මේ අවකල් ක්‍රියාවට එරෙහිව ගොඩනැගෙන අරගලයකදී  සහයවනවා නම්, රසායන විද්‍යාව හා සම්බන්ධ පර්යේෂකයෙකුට කල හැකි ඉතා සරල ක්‍රියාවලියක් ඇත. 

ලංකාවේ කරවල වෙළඳසැල් 100 කින් පමණ කුඩා කරවල නියැදි ලබාගෙන (ඔබට මේවා මිලදී ගත යුතු වනු ඇත), එහි ඇති සංඝටක පිළිබඳව විශ්ලේෂණය කරන්න. කරවල වර්ගය, කරවල කුරියාගේ අදාළ කොටස (හිස ආසන්නයේ, මාංශමය කොටස්, කටු, ආදී), තෙතමනය, එය ලබා ගත් ප්‍රදේශය, විකුණන ස්ථානයේ ස්වභාවය සහ  සොයාගත හැකිනම් කරවල සාදන ප්‍රදේශය සහ ඒවායේ කාලය  ආදී පරාමිති අනුව ඔබට කරවල වල ඇති රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ, ජීව කාරක ආදිය විශ්ලේෂණය කල හැක. මෙය අනිවාර්යයෙන්ම ඉහල IF (impact factor) අගයක් ඇති සඟරාවක පළ කල හැකි පත්‍රිකාවක් වනු ඇත. 

එසේම මෙවන් විද්‍යාත්මක සාක්‍ෂියක් මත පදනම්ව කටයුතු කිරීම මෙවැනි අවනීතික ක්‍රියාවලියකට එරෙහිව නැගී සිටීමට විශාල ශක්තියක් වනු ඇත. එය ඔබ සමාජ ජාලාවල පලකරන සහයෝගීතාවන්වලට වඩා ඉමහත් වටිනාකමක් ගනු ඇත. 

මේ ක්‍රමවේදය මේ ආකාරයටම කහ කුඩු, මිරිස් කුඩු, නොයෙකුත් පැණි බීම වර්ග, එළවලු-පලතුරු, සහල් සහ ධාන්‍ය වර්ග, මස් මාළු ආදී ආහාර වර්ග රාශියක් සඳහා ව්‍යාප්ත කල හැක. 

මෙය රසායනික විද්‍යාඥයන්ට පමණක් අදාළ කාරණයක් නොවේ.  ලංකාවේ විකුණන ගඩොල්, බ්ලොක් ගල්, උළු  කැට ආදියෙහි යාන්ත්‍රික ශක්තිය (mechanical strength), කල් පැවැත්ම, ජලය සමග හැසිරීම ආදිය පිළිබඳව කිසිවෙක් පත්‍රිකාවක් පළ කර ඇද්ද? ලී පදම් කිරීමට, කල් තබා ගැනීමට හා කෘමින්ගෙන් ආරක්ෂා කරගැනීමට ආලේප කරන තීන්ත සහ වෙනත් මිශ්‍රණවල සෞඛ්‍යමය බලපෑම ගැන හදාරා ඇත්ද? වෙළඳපොලේ ඇති සරල විද්‍යුත් උපකරණවල ආරක්‍ෂිත තත්වය පිළිබඳව පරික්ෂා කර ඇත්ද? මේ ලැයිස්තුව ඉතා දිගය.

ලාංකික පර්යේෂකයාගේ අදහස මේ සියල්ල ප්‍රමිති කාර්යාංශය මගින් කල යුතු බවද?  

හිතන්න යමක්. බලන්න දෑස් හැර අවට පරිසරය දෙස. ඔබේ රටට ඔබ අවශ්‍යය. ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය දෙය විතරද ?

 Chandima Gomes

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views